ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව තුළ සාමාන්‍ය මිනිස් ස්වභාවය වෙළඳ පොලක් කරගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එපමණක් නොව තරගකාරී ස්වභාවයක් ඇති කිරීම තුළ මෙම වෙළ පොල ඉලක්ක අසීමාන්තික පමණක් නොව පාලනයකින් තොර ව්‍යුහයක් බවට පත්වෙමින් තිබේ. පිලිගත් ආකාරය අනුව දැනුම සම්පාදනය කරන සහ මනුෂ්‍යයා ඥාණනය කරන බව අ`ගවන මාධ්‍ය භාවිතාව හමුවේ මෙම ස්වභාවය කොපමණ දුරට යුක්ති සහගත එකක් දැයි විවේචනයක් අපට තිබිය යුතුය.
සාමාන්‍ය මිනිස් ස්වභාවය වශයෙන් සඳහන් කරන්නේ කුමක්ද? අප සියලූ දෙනා තුළ යටි සිතේ ඇති කැමැත්තයි. යටපත් කරගෙන සිටින මානුෂිකත්වය තුළ අමානුෂික දේ දකින්නට සහ අමානුෂික ආකාරයට ක‍්‍රියා කරන්නට යම් පෙළැඹවීමක් තිබේ. එය ආවරණය කරන්නේ උසස් ගුණ ධර්ම, විනය සහ සම්මතය යනාදී නොයෙක් කාරණා බව දැක්විය යුතුය. මෙම සියලූ සාරධර්ම රාමුව තුළ ජිවත්වන මිනිසුන් එක්තරා අවස්ථාවක ප‍්‍රචණ්ඩත්වය දකින්නට කැමැතිය. ලේ දකින්නට සහ ඒ තුළ භීෂණකාරී ස්වභාවය අත්විඳින්නට ලැදියාවක් ඇත. ඒ වෙනුවෙන් මෙරට රූපවාහිනී නාලිකා මරණයක් වාර්තා කිරීමේ දී එහි ඇති පිලිකුල පෙන්වන්නට සූදානම්ය. පුවත්පත එහි රූපය සමීප ලෙස දක්වයි. තාක්ෂණික ක‍්‍රම මගින් ඒවා අපැහැදිලි සහ කොටුකර දක්වන අවස්ථා ඇති නමුත් බහුලව කරන්නේ මිනිසාගේ යටි හිතේ ඇති කැමැත්ත උලූප්පා ඒ වෙනුවෙන් තොරතුරු සම්පාදනයයි. මෙම වාර්තාකරණය හිතා මතා කරන එකක නොවෙන්නට බැරි නැත. නමුත් එයට නැඹුරුවක් තිබේ. යුද්ධය පෙන්වන විට මල සිරුරු පෙන්වයි. ලේ පමණක් නොව එහි විනාශය පෙන්වන්නේ සංස්කරණයකින් තොර සෘජු රූප රාමු වලින්ය. මෙයින් ලැබෙන පණිවුඩය කුමක්ද? විනාශය සහ එහි තරම පෙන්වීම විය හැකිය.
ජාත්‍යන්තර මාධ්‍යයෙන් මේ සඳහා පාඩම් ඉගෙනගත හැකිය. ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිදුවූ ප‍්‍රහාරය අමුවෙන් පෙන්වන්නට බටහිර මාධ්‍ය ඉක්මන් වූයේ නැත. එම සිද්ධිය ඇමරිකානු සමාජය තුළ ත‍්‍රස්තවාදයේ කුරිරු බව පෙන්වන්නට හොඳ අවස්ථාවක් නමුත් සිරුරු ප‍්‍රදර්ශනය කර එහි වාසිය අත්පත් කරගන්නට පිළිගත් මාධ්‍ය සූදානම් වූයේ නැත. නොබෝදා ප‍්‍රංශයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පිලිගත් මාධ්‍ය වාර්තා කරන්නේ ද කිසියම් සංයමයක් ඇතිවය. එහි අමානුෂික මනුෂ්‍ය ඝාතන දර්ශන වෙනුවට පෙන්වන්නේ හැඟීම්ය. දරුවන් ගේ අන්ත අසරණ භාවයයි. වේදනාවට පත් මිනිසුන්ගේ සමීප ඉරියව් සහිත රූප රාමුය. යහපත් මිනිසුන්ගේ වේදනාව සහිත මනුෂ්‍ය පැත්තය. මෙම ප‍්‍රහාරය එල්ල කරන්නේ දරුණු ත‍්‍රස්තවාදීන්ය. ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය පෙන්වන්නට ඒ ආකාරයේම වාර්තාකරණයක් අවශ්‍ය නැති බව මෙම මාධ්‍ය භාවිතාව මැනවින් අඟවයි.
සිද්ධියක් වාර්තා කිරීමේ දී එය පොදුවේ එල්ල කරන බලපෑමක් තිබේ. දරුවන්ට බලපාන්නට ඉඩ ඇත. සමාජය සලිත විය හැකිය. අසාමාන්‍ය ආකාරයට විකෘති හටගන්නට බැරි නැත. එපමණක් නොව මෙම දේ පෙන්වීමෙන් ලැබෙන සමාජ වටිනාකම කුමක්ද යන්න සාකච්ඡුා කළ යුතුය. වැදගත්ම කාරණය එයයි.
එක පැත්තකින් බලන විට ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් අත් විඳිමින් සිටින්නේ යථාර්ථයයි. ඔවුන් උත්තර දෙමින් සිටින්නේ ඔවුන්ම ඇති කළ තත්ත්වයකටය. මැද පෙරදිග සමාජ වලට ඇති කරන ලද පීඩනය පුපුරන්නේ පැරිස් නගරයේය. මෑත කාලය තුළ මානව අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බව දක්වමින් යුරෝපා රටවල් සම්ප‍්‍රදායික සමාජ ක‍්‍රම වෙත තමන්ගේ බලපෑම වැඩි කරන ලද බව පෙනේ. එම සමාජ ක‍්‍රම වෙනස් කරන්නටත් තෝරා ගත්තැන් වලට ගුවන් ප‍්‍රහාර එල්ලකර තමන්ට අවනත ආකාරයට වෙනස් කරන්නට ත් සූදානම් වූයේය. එහි අභ්‍යන්තරයට ප‍්‍රවේශවීමේ අවසාන ප‍්‍රතිඵලය වූයේ යම් ආකාරයකට එම මැදපෙරදිග රටවල පැවැත්ම අභියෝගයට ලක්වීමය. තවත් ප‍්‍රජාවක් එල්ල කරන එකී පීඩනයට ගොදුරු විය නොහැකි සීමාව කරා එන විට එය එළියට එන්නේ නිරායුධ අහිංසක ජනතාවගේ ජීවිත භීතියට ලක් කරමින්ය. එය සාධාරණීකරණය කළ නොහැක.
අපරාධ වාර්තාකරණය ගැන උසස් අවබෝධයක් තරුණ මාධ්‍යවේදීන්ට අවශ්‍යය. සිද්ධියට වඩා හැඟීම් වාර්තාකරණය උසස් එකකි. කෙලින්ම කරන සෘජු වාර්තාකරණයකට එපිටට ගිය අවබෝධාත්මක එකකි. ඒ වෙනුවෙන් ඉවසිල්ලක් අවශ්‍යය. කොළඹ ටෙලිකොම් මධ්‍යස්ථානයට එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරයක් එල්ල වූ විට එය වාර්තාකරන්නට ගිය ප‍්‍රවීන මාධ්‍යවේදී දිවංගත පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා එදින මුලින්ම කියන්නේ එතැන තිබූ ඔරලෝසුව නතර වී තිබූ වෙලාවයි. එය රූප මාධ්‍ය බහුලව නැති වකවානුවක ගුවන්විදුලියෙන් ජනතාවගේ සිතතුළ සංකේතාත්මකව සිද්ධියේ භීතිය මතුකරන ලද ආකාරයයි. උසස් ආකාරයට මාධ්‍ය වාර්තාකරන ආකාරය ගැන අත්දැකීම් රටට තිබේ. හොඳ සංස්කෘතියක් සහ හැදියාවක් තිබූ රටට ඒ ගැන අවබෝධයක් ඇති බව අමතකකළ යුතු නැත. එදා මෙන්ම වර්තමානයේ ද මාධ්‍ය භාවිතාව තුළ ඉතාම මෘදු සහ සැනසිලිදායක තත්ත්ව තිබේ. නමුත් ඒ අතර වාරයේ කරන දරුණු වාර්තාකරණය තුළ සමාජ ප‍්‍රසාදයක් ඇති කරන්නේ නැත. සමාජ ප‍්‍රගමනයක් ඇති කරන්නේ යැයි පෙනෙන්නේ නැත. මෙවැනි වාර්තාකරණයක් මගින් ඇතැමි මාධ්‍ය භාවිතාවන් උත්සාහ කරන්නේ මාධ්‍ය පරිභෝජනය කරන කණ්ඩායම ආකර්ශනය කරගෙන ඉහළම වෙළඳ පොලක් දිනා ගැනීමට නම් එයින් ඇති කරන මතු ප‍්‍රතිඵලය ගැන ද අවධානය යොමු කිරීම වැදගත් කාරණයකි.
මාද්‍ය භාවිතවේ මෙම අලූත් ප‍්‍රවනතා මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ සාකච්ඡා විය යුතුය. එහි නිරත විද්වතුන් අවධානයට ගත යුතය. පරිවර්තනයක් තුළින් සාධනීය තත්ත්වයක් ඇති කරන්නේ එවිටය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|