» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/05/2016 - ඉරිදා ලංකාදීප
කියන දේ ඇත්ත දැයි හොයාබලන මාධ්‍ය භාවිතාවක්

පිනෝකියෝ නිර්මාණාත්මක චරිතයකි. ඉතාලියේ ළමා කතාන්දරයක පිනෝකියෝ බොරු කියන විට නාසය දිගට වැඩේ. මෙම ළමා කතාව දේශ සීමා පසුකර ලෝකයේ නොයෙක් රටවල සංස්කෘතීන්ට එකතු වී තිබේ. අද එය වර්තමාන සමාජ දේශපාලන විවේචනය තුළ භාවිතාවට ගන්නා සංකේතයකි. වොෂින්ටන් පෝස්ට් පුවත් පත ජාත්‍යන්තර දේශපාලනයේ ‘‘කටේ තොලේ නොගෑවී’’ අසත්‍ය කියන දේශපාලනඥයන් ශ්‍රේණිගත කර ඔවුන් හෙලිදරව් කරන්නට පටන්ගෙන තිබේ. අතේ පැලවෙන බොරු කියා සමාජය තුළ අන්‍යාර්ථ මවන නායකයන් හෙළිදරව් කරන උත්සාහයකට අවතීර්ණ වී තිබේ. Washington Post’s fact-checker blog සඳහන් කරනෙ අන්දමට ඉතාමත් නරක ආකාරයට අසත්‍ය කාරණා සමාජගත කරමින් සිටින දේශපාලනඥයන්ට උපරිම ශ්‍රේණිගත කිරීම හැටියට පිනෝකියෝ සංකේත හතරක් නමට ඉදිරියෙන් එකතු වෙයි. වොෂින්ටන් පෝස්ට් බ්ලොග් අඩවිය, දේශපාලනඥයන් වේදිකාවේ කියන්නේ ඇත්ත දැයි සොයාබලා තීරණයක් ගන්නට පොදු ජනතාවට ලැබෙන හොඳ අවස්ථාවකි.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ බලවත් විශ්වාසයකි. මාධ්‍ය වාර්තා කරන දේ තුළ යම් පදනමක් තිබේ යැයි සාමාන්‍ය ජනතාවට අදහසක් ඇත. මාධ්‍ය කරුණු සොයා බලා තොරතුරු ඉදිරිපත් කරන බවට ඇති විශ්වාසය එයට හේතුවයි. නමුත් මෑත කාලය තුළ මාධ්‍ය ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙහි කැපී පෙනෙන වෙනස්කමක් සිදුවිය. තමන් දකින දේ වාර්තා කිරීම එයින් එකකි. ජනමාධ්‍ය සමාජයට කියන්නේ සිද්ධි ඉදිරිපත් කරන අතර තීන්දු කිරීම එම තොරතුරු පරිභෝජනය කරන සමාජයට භාර වගකීමක් බවය. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය කරන්නේ තොරතුරක පැත්ත - දෙපැත්ත පෙන්වා දීමයි. ප‍්‍රවෘත්ති වාර්තාකරණය තුළ සිද්ධියක මෙම දෙපැත්ත අහන දකින පොදු ජනතාවට ඇත්ත කුමක්ද යන්න වටහා ගැනීමට හැකියාවක් තිබේද? නැත. ඔවුන්ට තොරතුරු විමර්ෂණය කර ගවේශනශීලී ආකාරයට හිතන්නට කාලයක් නැත. තමන් පසුවෙන ආස්ථානය අනුව එය තේරුම් ගනී. එයින් ඇති කරන සමාජ විඥාණය සාධාරණ එකක් නොවේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට අද පවතින සමාජ ආර්ථික ව්‍යුහය තුළ දේශපාලනඥයන් ‘‘අතේ පැලවෙන ඇත්ත’’ කියන්නට පටන්ගෙන තිබේ. වේදිකාවේ දි කියන විට ඒවායේ බරක් පතලක් - හයක් හතරක් ගැන හිතන්නේ නැත. මන්ද මෙම තොරතුරු කියන්නේ තමන්ගේ අනුගාමිකයන්ටය. අනුගාමිකයෝ උද්දාමයට පත්වෙති. එය ප‍්‍රමාණවත්ය. පසුව මෙම ‘‘අතේ පැලවෙන ඇත්ත’’ ඇත්තක් නොව මහා බොරුවක් බව අනාවරණය වෙයි. නමුත් එය ප‍්‍රශ්නයක් නොවේ. ඒ වන විට දේශපාලනඥයන් තමන්ගේ ජනප‍්‍රියත්වය නඩත්තු කරගෙන හමාරය. ජන අවධානය අවශ්‍ය වන්නේ මැතිවරණය වැනි තමන්ට අවශ්‍ය කාලයේ දීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ ඡන්දයක් එන විට ජනතාව අතර ආන්දෝලනයට ලක්වන ඕනෑම දෙයක් කියන අතර එය ඔස්සේ දැවැන්ත ප‍්‍රතිරූප හදාගන්නා නායකයෝ ආකර්ශණීය චරිත බවට පත්වන අතර මිනිසුන් ක‍්‍රමය වෙනස් කරනු ඇතැයි මහා බලාපොරොත්තු තබන්නේ ඔවුන් කෙරෙහිය. නමුත් කාලයාගේ ඇවෑමෙන් හැබෑව කුමක්දැයි වැටහෙන විට ප‍්‍රමාදය. අසත්‍ය තොරතුරු නිර්මාණය කරන දේශපාලනඥයෝ ඒවායෙන් තමන්ගේ ජය මාවත පාදා ගනිති.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත පිනෝකියෝ චරිතය ඔස්සේ උත්සාහ කරන්නේ ඇමරිකානු දේශපාලනඥයන් ගේ යථා ස්වභාවය හෙළිදරව් කිරීමටය. එයට අනුව ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයට පත්වන අරමුණෙන් ප‍්‍රතිරූපයක් හදා ගනිමින් සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප් කරන ප‍්‍රකාශ වලින් සියයට හැත්තෑවක් පමණ ලෝකුම බොරු බවට පත්ව තිබේ. කිසිම ලජ්ජාවක් බයක් නැතිව අසත්‍ය ප‍්‍රකාශ කරන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකානු මාධ්‍ය තුළ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යයේ ද විශාල චරිතයකි. පෙනෙන ආකාරයට ඔහු රිපබ්ලිකන් අපේක්ෂකයා පමණක් නොව මීළඟ ඇමරිකානු ජනාධිපති වන බව වැඩි දෙනෙකු ප‍්‍රකාශ කරන බව නිරීක්ෂණය කළ හැකිය. ඇමරිකාවේ ඉහළම තනතුර අතේ පැලවෙන බොරු කියන පුද්ගලයෙකුට දෙන්නට සූදානම් වන තරමට ජනමතය හැදෙන්නේ කෙසේද? බලය වෙනුවෙන් ජනතාවට බොරු කියන දේශපාලනඥයන්ගේ හැසිරීමෙන් කලකිරී ඉන්නා ජනතාව හිතන්නේ ඇත්ත කියා බලයට පත්වී බොරු කරන පාලකයන්ට වඩා බොරුවෙන්ම හැසිරීම අවංක කාරණයක් බවය. ඒ අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්, වැනි දේශපාලනඥයන් කියන දේ ඒ තරම් බරපතල තත්ත්වයේ ලා සලකන්නේ නැත.

බැරක් ඔබාමා ඇමරිකාවේ ඉපදුන කෙනෙකු නොවේ යැයි කියන්නේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය ඉල්ලන ටම්ප් ය. එය ඇත්ත කතාවක් නොවේ. බැරක් ගේ ජීවන පසුබිම ගැන විද්‍යාත්මකව කරුණු සෙවූ විශේෂඥයෝ හෙතෙම ඇමරිකානු පුරවැසියෙකු බව තහවුරු කර තිබේ. එය නොතකා වේදිකාවේ දී වෙනත් යමක් කියන විට එය විශාල අවධානයකට ලක්වෙයි. එපමණක් නොව එහෙම කිව්වේ තම ප‍්‍රතිවාදී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් බව ඩොනල්ඞ් ටම්ප් දක්වයි. හිලරි ක්ලින්ටන් කියා නැති දෙයක් පමණක් නොව සම්පූර්ණයෙන්ම අසත්‍ය දෙයක් කියා දෙපැත්තකින් ජනතාව රවටන්නට ලෝකයේ බලවත්ම රටේ ප‍්‍රධානම පුරවැසියා වෙන්නට තැත් දරන ඩොන්ලඞ් ට‍්‍රම්ප්ට ආත්ම ශක්තිය ලැබෙන්නේ මාධ්‍යවල හයිය හෙයින් බව අමතක කළ යුතු නැත. අපේක්ෂකයා මොනවා ප‍්‍රකාශ කළත් ඒවා ප‍්‍රමුඛ තැනක් දී පළකරන පුවත්පත්, රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඒ වෙනුවෙන් පෙනී සිටී. සමාජ මාධ්‍ය එම තොරතුරු විකාශය කරන්නේ සෙවිල්ලක් බැලිල්ලක් නැතිවය. විශේෂයන් දේශපාලනඥයන් කරන අතේ පැලවෙන බොරු අති විශාල ප‍්‍රසිද්ධියක් දෙන ආකාරයට පළ කිරීමෙන් දේශපාලනඥයන් උපයා ගන්නා ප‍්‍රචාරක වාසිය මිල කළ නොහැකි එකකි. ඒවා සාධාරණ තත්ත්වයන්ද?

වර්තමාන මාධ්‍ය භාවිතාව තුළ සිද්ධියක් වාර්තා කරන්නට කලින් එහි ඇත්ත නැත්ත සොයා බලා වගකීමක් ඇතිව කිරීම වැදගත් බව පිළිගන්නා කාරණයකි. දේශපාලනඥයන් කටින් පිටකරන ඕනෑම දෙයක් ප‍්‍රවෘත්තියක් විය යුතු නැති බව මෙම මාධ්‍ය තක්සේරුවෙහි අරමුණයි. දේශපාලනඥයන් කියන කතා වල අභ්‍යන්තරය දත්ත සහිතව ඔප්පු කරන්නට බ්ලෝග් එකක් වොෂින්ටන් පෝස්ට් පුවත් පත විශේෂයෙන් සකස් කර තිබේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔබාමා ගැන කියන විට ඇමරිකානු පුරවැසියන්ට මෙම බ්ලොග් එක කියැවීමෙන් එය ඇත්තදැයි දැනගත හැකිය. ඉරාකයට එරෙහිව ඇමරිකානු හමුදා මෙහෙයවන විට තමන් එයට විරුද්ධව අදහස් දැක්වූ බව බොරිස් ජොන්සන් කියන විට එම ප‍්‍රකාශය ගැන කරුණු හොයන වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ බ්ලොග් අඩවිය ඔහු කිසිම දිනයක හෝ එසේ කතා කර නැති බව එහි අවධාරණය කර තිබේ. මේ අනුව එරට වර්තමාන දේශපාලන ධාරාව තුළ ජීවත්වන චරිත මනින මිනුමක් බවට පිනෝකියෝ සංකේතය නිර්මාණය වී තිබේ. ජනතාවට බොරු කියන දේශපාලනඥයන් දිග නාසයකින් යුක්ත පුද්ගලයන් බව මෙයින් දක්වයි.

දේශපාලන වේදිකාවේ දී කවර හෝ අසත්‍ය ප‍්‍රකාශයක් කර බලයට පත්වන්නට තැත්කරන නායකයන් සිටින පසුබිමක් තුළ ජන මාධ්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ ඒවා ශ්‍රේණිගත කිරීම අවශ්‍යය. ඇත්තදැයි සොයා බලන්නට නැඹුරු විය යුතුය. දේශපාලනඥයන් ජනතාවගේ අත් පොලසන් මැද බරපතල යමක් කියන විට මෙය ඇත්ත එකක්දැයි හොයා බලා පළ කරන්නට මාධ්‍යයට වගකීමක් තිබේ. අහවල් දේශපාලනඥයා මේ ආකාරයේ ප‍්‍රකාශයක් කළා මෙන්න තොරතුර ඇත්ත ද එහෙම නැත්නම් අසත්‍යය ද හොයා ගැනීම ඔබේ වගකීමක් යැයි කියන මාධ්‍ය වාර්තාකරණය ශෛලිය අවසන් කළ යුතුය. ජනතාවගේ මාධ්‍ය වශයෙන් ප‍්‍රවෘත්ති නිෂ්පාදනයේ දී එවැනි භාවිතාවක් ඉතාම වැදගත්ය.

ජනතාව මුලා කරන ප‍්‍රකාශ දේශපාලන වේදිකාවේ දී එකිනෙකාට විරුද්ධව කරන බල අරගලයේ ඉතා විශාල කොටසක් බවට පත්ව ඇත. ඒවා වාර්තා කරන විට ජනතාව හිතන්නේ මේ තුළ ඇත්තක් ඇති බවය. ඇත්ත සොයා ගන්නට බලපෑමක් කරන්නට හැකිවන ආකාරයේ මාධ්‍ය ව්‍යුහයකට සූදානම් වීම සියලූම දෙනාගේ වගකීමකි. එය වොෂින්ටන් පෝස්ට් පුවත් පත ආරම්භ කර තිබේ. එයට අනුගතවීම අවශ්‍යය.