» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/06/2015 - ඉරිදා ලංකාදීප
සමාජ සම්මතයන්ට අභියෝග කිරීමේ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව

මෑතක දී විදේශීය රාජ්‍ය නායකයෙකු මෙරට සංචාරය කළේය. සංචාරය අතර තුර ප‍්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වැඳ පුදා ගන්නා අවස්ථාවක් ද ඇතුලත්ව තිබිණ. එය මාධ්‍යවලට වැදගත්ය. එකිනෙකට වෙනස් විශේෂිත අවස්ථා ආවරණය කරන තර`ගයක් මාධ්‍ය වලට තිබේ. තමන්ගේ පාඨකයන්ට අලූත් නැවුම් දෙයක් ඉදිරිපත් කිරීම එහි අරමුණයි. මෙම විදේශීය රාජ්‍ය නායකයා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මුණ ගැසෙන අවස්ථාව ආවරණය කිරීමේ දී ද සම්ප‍්‍රදායික ආගමික ද්‍රෘෂ්ටි කෝණය පරදවා මාධ්‍ය ද්‍රෘෂ්ටි කොණයෙන් බලන්නට තැත් දරා තිබූ බව පසුව ඇතැමි මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කරන විට පැහැදිලිව විය.

දෙස් විදෙස් රාජ්‍ය නායකයෝ මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා මුණගැසෙති. මෙම සිදුවීම් නිල මුණ ගැසීමකි. එහිදී කතා බහ කරන තොරතුරු මාධ්‍ය වලින් අනාවරණය කරන්නේය. දේශපාලන පක්ෂ නායකයෝ උන්වහන්සේලා මුණ ගැසෙති. සෑම දෙනාටම ශුභාෂිංසනය කිරීම මහ නායක හිමිපාණන්ගේ ස්වභාවයයි. යමක් නිරීක්ෂණය කළහොත් සඳහන් කරති. එහි කියැවෙන දෑ වහා අනාවරණය කිරීමෙන් අගෞරවයක් වන බව වගකිවයුතු ආකාරයට හිතන්නේ නැත්තේ මන්ද?

මාධ්‍ය ඡායාරූප ශීල්පීන් ගේ වගකීම එකිනෙකට වෙනස් කෝණ වලින් ඡායාරූප රැස්කර ගැනීමය. වර්තමාන තාක්ෂණික මෙවලම් වල තත්ත්වය එයට ඉඩකඩ සපයා ඇත. තත්ත්පරයකින් පංගුවක් ඇතුලත සිය ගණනක් ඡුායාරූප ගත හැකි කැමරාවකින් ගන්නා විවිධ පින්තූර අතරින් වඩාම සුදුසු දෙය පාඨකයන්ට ඉදිරිපත් කළ හැකි පසුබිමක් දැන් පවතී. වාර්තාකරුවන් ද එකිනෙකට වෙනස් නොයෙක් මානයන්ගෙන් තොරතුරු රැස්කරයි. එකතු කරගන්නා දත්ත සියල්ල පාඨකයන්ට කියවන්නට මුදාහරින්නේ නැත. වගකීම් සහගත කාර්ය මණ්ඩලයක් පුවත්පතකට අන්තර්ගත විය යුතු දේ මොවනවාදැයි තීරණය කරයි. එය ඉතාමත් වගකීම් සහගත කාර්යයකි.

එම කාර්ය දිනපතා සෑම අවස්ථාවකම සුපරීක්ෂා කාරීව නොබිදෙන අවධානයෙන් කළ යුතු නමුත් එක්තරා අවස්ථාවක වරදින්නට ඉඩ තිබේ. සියලූම දෙනාගේ අවධානය ගිලිහී එක නුසුදුසු දෙයක් නිකුත්වන්නට බැරි නැත. නමුත් මාධ්‍ය කලාවේ උගන්වන ආකාරයට නැවත නැවතත් පරීක්ෂා කර බලන්නට අවශ්‍යය. එවැනි අවධානයක් නොතිබුණ මෑත අවස්ථා දෙකක් මතකයට නැගෙයි. එකක් සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා ජීවතුන් අතර සිටිය දීම එතුමා දිවියෙන් සමුගත් බව ප‍්‍රබල මාධ්‍යයක් වාර්තා කිරීමයි. එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. දෙවැනි එලිසෙබෙත් රජින ද මියගිය බව නොබෝදා බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණේ වැරදීමකින්ය. මේවා බරපතල වැරදි සේ සලකා සමාව ගන්නට මාධ්‍ය ආයතන වලට සිදුවූ අතර එය මාධ්‍ය ආයතන වල කීර්තිය පලූදු කළ බරපතල සිදුවීමිය.

මුලින් ස`දහන් කළ ආකාරයට විදේශීය රාජ්‍ය නායකයා නායක හිමිනමක මුණ ගැසිමේ දී සිදුවන සිද්ධි සම්ප‍්‍රදායට අනුව වාර්තා කිරීමේ ක‍්‍රමවේදයක් ඇති කරන්නට අවශ්‍යය. ආගමික නායකයන් පමණක් නොව රාජ්‍ය නායකයන්ට ද එය එසේම විය යුතුය. ජාතික නායකයන් ගේ නිල කාර්යයකට සිදුවන දේ වාර්තා කිරීමේ දී නොනිල ආකාරයට සිදුවන දේ වාර්තා කිරීමෙන් අගෞරවයට පත්වන පැති ගැන සියුම්ව විමසා බලන්නට අවශ්‍යය.

නිග්‍රෝධ සාමනේරයන්ට සුදුසු අසුනක් බලා හි`ද ගන්නැයි ධර්මාශෝක රජු ආරාධනා කළ විට සාමනේරයන් තෝරා ගත්තේ සිංහාසනයයි. බෞද්ධ සාහිත්‍යයෙහි එය ස`දහන්ය. නරපතියන්ටත් වඩා භික්ෂුවකගේ කසාය වස්ත‍්‍රයට ඇති ගෞරවය මෙයින් පැහැදිලි කරයි. එවැනි බෞද්ධ සංස්කෘතියක් ඇති අවස්ථාවක සංස්කෘතික අභිමානය වෙනුවෙන් වාර්තාකරණය වැදගත්ය. තොරතුරු අප‍්‍රමාණව පවතින නමුත් සංඝ ගෞරවය තකා අනාවරණය නොකරන ගුණයක් සමාජයේ පවතී. බුදු දහමට පමණක් නොව සියලූ අනෙක් ආගම් වලට ද අප ගරු කරන්නේ ඒ ආකාරයෙන්ය. නුගුණ ස`ගවා යහගුණය පතුරවා එයින් සමාජ විනය ඇති කරන්නට ධර්මය පදනමක් කරගන්නා භාවිතාවක් අපට තිබේ. එය අඛණ්ඩව අනුගමනය කරන්නට හැකිවීම වැදගත්ය.

ෆැන්ක්ලින්ට් රූස්වේල්ට් ජනාධිපතිවරයා පෝලියෝ රෝගයෙන් පීඩා වින්දේය. එම පීඩාව මාධ්‍ය ප‍්‍රවෘත්තියක් කරගත්තේ නැත. ඔහු ගැන ඇතුලත් පින්තූර සහ චිත‍්‍රපට වල ඔහු නැගිටින්නට දරන වේදනා සහගත වෑයම හෝ එයට පිරිසක් අත් උදවුදෙන ආකාරය අනාවරණය කළේ නැත. වීරයෙකු ගේ ප‍්‍රතිරූපය ඇති කරන්නට විනා නැති කරන්නට සන්නිවේදනය මෙවලමක් කර නොගන්නේය. වීරයන්, ජාතික සංකේත, ආගමික නායකයන් හෝ ජාතික නායකයන් අපකිර්තියට පත් කරන මාධ්‍ය වලින් සමාජ සම්මත තත්ත්ව අනතුරට පත්වන බව අවධානයට ගත යුතුය. විවේචනය එකකි. නමුත් අපකීර්තිය අනෙකකි. මාධ්‍ය භාවිතාව ඉතා සියුම් සහ සමාජයේ සෑම ස්ථරයක්ම සන්නිවේදනයට සෘජුව සම්බන්ධවන පසුබිමක වාර්තාකරණයේ දී බලපවත්වන සම්ප‍්‍රදාය කෙරෙහි නතුවීම ඉතාම අවශ්‍යය.

රාජ්‍ය නායකයන් නිල ප‍්‍රවෘත්ති සේවා නඩත්තු කරන නමුත් ජාතික නායකයන්, පන්සල, පල්ලිය හෝ කෝවිල නිල පුවත් නිවේදන නිකුත් කරන්නන් නැත. එවැනි පසුබිමක නිල ප‍්‍රවෘත්තිය බවට පත් විය යුතු කුමක්දැයි මාධ්‍ය පරිහරණය කරන සියලූම මාධ්‍යවේදීන්ට සම්පූර්ණ අවබෝධයක් නැත. නොනිල ආකාරයට උපටු ගන්නා දර්ශන වලින් සහ තොරතුරු වලින් ආගමික සහ ජාතික පැතිවලට සිදුකරන අපකීර්තිය ගැන සන්නිවේදකයන් පූර්ව අවබෝධයක පිහිටිය යුතුය. වරද පෙන්වා දිය යුතු අතරම වැරදි දේ අනාවරණය කිරීමෙන් ජාතික සහ ආගමික තත්ත්වයන්ට සහ සම්මතයන්ට සිදුවන හානිය බරපතල බව ද වටහා ගත යුතුය.

මෙවැනි තත්ත්වයක් මතුවන්නේ ඇයි ද යන කාරණය ද විමසා බැලීම වටී. අද සමාජය පවතින්නේ සන්නිවේදන යුගයකය. සෑම පුද්ගලයෙකුම බලවත් සන්නිවේදකයෙක්ය. යම් සන්නිවේදනයක් ගෝලියකරණයට ලක්වූ සමාජයේ සෑම තැනෙකටම පැතිරෙන්නට වැඩි වේලාවක් ගන්නේ නැත. පුවත්පත, ගුවන් විදුලිය හෝ රූපවාහිනයට අමතරව ජංගම දුරකථනයකින් කළ හැකි සන්නිවේදනය බලවත් එකක් බවට පත්ව ඇත. එහෙයින් මාධ්‍ය තර`ගය පමණක් නොව මාධ්‍ය බවට සමස්ථ සමාජයම මාධ්‍යකරණයට පත්ව ඇති ආකාරය සුවිශේෂී එකකි. එවැනි පසුබිමක අප කතා කරන සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීම පහසු කාර්යයක් නොවේ. ප‍්‍රතිරූප ගොඩ නැගීම විනා ප‍්‍රතිරූප විනාශ කිරීම නුසුදුසු බව තේරුම් කර දීම පහසු නැත.

මාධ්‍ය හමුවේ හැසිරෙන ආකාරය ජාතික සහ ආගමික නායකයන් අධ්‍යයනය කළ යුතු අලූත් පැත්තකි. ආගමික නායකයන් පනවා ඇති නීති රීති වල ඇත්තේ මෙයින් සියවස් ගණනකට කලින් සන්නිවේදන ආකෘති අනුවය. මේවා කාලීනව වෙනස්කරගත යුතු බව ආගමික නායකයන් සිතන්නට අවශ්‍යය. ජනප‍්‍රියත්වය උදෙසා තමන්ට ගැලපෙන සහ නොගැලපෙන සියලූම දේ මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීම නුසුදුසුය. එවැනි පැති ගැන ගැඹුරින් සලකා බැලීම අවශ්‍යය. නුසුදුසු සහ නොගැලපෙන දේ කරන අතරතුර එය වැරදි ආකාරයට විකාශය කිරීම හෝ සන්නිවේදනය කිරීම ගැන අසතුට පළ කිරීම ද වරදකි.

මාධ්‍ය ව්‍යුහයට ස්වකීය සන්නිවේදනය සම්බන්ධයෙන් ප‍්‍රමිතියක් ඇති කරගැනීඹ හා සමානවම ආගමික නායකයන්, ජාතික නායකයන් සහ දේශපාලනඥයන් ආදර්ශවත් ආකාරයට ක‍්‍රියා කරන්නට අවශ්‍යය. ජනප‍්‍රිය බවට වඩා මහජන ගරුත්වය වැදගත්ය. ජනප‍්‍රියත්වය හඹා යා හැකිය. එය කෙටි කාලීන එකකි. ගරුත්වය ඇති කරගැනීමට වෙහෙසෙනේනට සිදුවෙයි. ගරුත්වය ජනතාවගේ සිත් සතන් වලින් දුරු වන්නේ නැත. සම්මතයන්ට අභියෝග කීරීම මාධ්‍ය භාවිතාවේ එක පැත්තකි. අලූත් දේ සොයා යන අතර නොදුටු නොඇසූ කතා ජනතාවට සන්නිවේදනය කිරීම ප‍්‍රවෘත්තියක වටිනාකමයි. නමුත් මේ පැති දෙක අතර වගකීම සහ එක් එක් පාර්ශව අතර සහ සම්බන්ධය ලිහිල් වුවහොත් මතුවන විකෘතිය සමාජයට හානිකර බව ස`දහන් කිරීම අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.