» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/02/2016 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය ව්‍යුහය තුළ අලූතෙන් නිර්මාණය වන ඕපාදුප ආකෘතිය

ගොසිප් යනුවෙන් හඳුන්වන ආකෘතියක් තිබේ. මේවා ඕපාදුප යනුවෙන් සඳහන් වෙයි. තවත් අර්ථයකට අනුව එය කයිකතන්දරයකි. කටකතා නොඑසේනම් කඩුලූ කතා යනුවෙන් ද ව්‍යවහාරයෙහි වෙයි. ප‍්‍රලාප යනුවෙන් අර්ථ දක්වන්නට ද හැකිය. මෙම කවර අර්ථයක අනුව ද එයට සමාජයේ එක්තරා ඉල්ලූමක් තිබේ. සිදුවෙන්නේ කුමක්දැයි දැන ගන්නට නොනිත් ආශාවකින් පසුවන මිනිසුන්ට තොරතුරක් ලැබෙන එක් ආකෘතියක් වශයෙන් මෙම ඕපාදුප වශයෙන් හඳුනාගත හැකිය. මාධ්‍ය ආකෘතිය ප‍්‍රබල ව්‍යුහාත්මක එකක් වන්නට කලින් ගමක නොඑසේනම් සමාජයක කටකතා සුවිශේෂී සන්නිවේදන අවස්ථාවකි. ඉතාම ඉක්මනින් එම තොරතුර අවධානයක් දනවන ආකාරයට පතුරවන්නට සමත් වෙයි. වර්තමාන සංකීර්ණ තොරතුරු සන්නිවේදන සමාජය තුළ ද ගොසිප් ආකෘතිය ඉතාම ප‍්‍රබල ආකාරයකට නිෂ්පාදනය වන බව පෙනෙන්නට තිබේ.

එසේ දක්වන්නේ ඇයි? නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලද ආකාරයට ලෝකය පුරා වෙබ්, බ්ලෝග් සහ යූ ටියුබ් අති විශාල ප‍්‍රමාණයක් ගොසිප් වාර්තාකරණය වෙනුවෙන්ම පෙනී සිටියි. මේවා සම්ප‍්‍රදායික මාධ්‍ය තුළ පවතින වගකීම, සදාචාරය සහ පිළිතුරු දීමේ අයිතිය වැනි මූලික කාරණා කෙරෙහි විශේෂ අවධානයක් දක්වන්නේ නැති බව නිරීක්ෂණය කළ හැකිය. මෙම සමාජ තොරතුරු මාධ්‍ය ඉලක්ක කරගන්නේ ජනප‍්‍රිය චරිත සතු අභ්‍යන්තරයයි. සාමාන්‍යයෙන් අනාවරණය නොවෙන කාරණා හෙළිදරව් කිරීමයි. එකී අනාවරණය තුළ විශාල තොරතුරු වෙළද පොළක් සකස්වන අතර එය අද වන විට වේගයෙන් ව්‍යාප්තවන විවිධ ආකාරයේ පැති වලින් පාඨක අවධානය දිනා ගන්නා ආකෘතියක් බවට පත්ව තිබේ.

National Enquirer මේ ආකාරයේ ආන්දෝලනාත්මක පුවත්පතකි. ඇමරිකානු පුවත්පතක් වශයෙන් එය ආරම්භ කරන්නේ 1926 දීය. පුවත්පත පිටපත් මිලියන හයක් දක්වා ලෝකය පුරා විකිණෙයි. පසුකාලයක සෙසු මාධ්‍ය එනම් තරගකාරී විද්‍යුත් මාධ්‍ය එන විට එය අලෙවිය මිලියනය දක්වා පහත වැටේ. එයට විකල්පයක් වශයෙන් ලෝකයේ ප‍්‍රධාන මාධ්‍ය ජාලා වලින් දක්ෂ මාධ්‍යවේදීන් බඳවා ගන්නා මෙම ආයතනය තමන්ගේම ගොසිප් මාධ්‍ය ජාලයක් ස්ථාපිත කරන්නේ එය රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන තත්ත්වයට දියුණු කරමින්ය. එයින් පෙනෙන්නේ මෙම ආකෘතිය වෙනුවෙන් ඇති රාමුවක තරමයි.

ඉතිහාසයට අනුව කයිකතන්දරයක් හැදෙන්නේ හොඳ පැත්තට නොවේ. ඕපාඳුපයක් පැතිරෙන්නේ සාධාරණ සැක සහිත කාරණයක් මුල් කරගෙනය. ඉතා ජනප‍්‍රිය පුද්ගලයන් ස්වකීය පුද්ගලිකත්වය අහිමි කරගෙන ඇත. ඔවුහු පොදු චරිත බවට පත්ව ඇත. විශේෂයෙන් රාජ්‍යතාන්ත‍්‍රිකයන්, දේශපාලනඥයන් නළු නිළියන් වැනි අය සමාජයේ පොදු චරිත හැටියට සැලකෙන අතර ඔවුන් හැසිරෙන, අඳින පළඳින, තීරණ ගන්නා ආකාරය නිතර අවධානයට ලක්වෙයි. පෞද්ගලික ජීවිතයේ සිද්ධියක් ඕපාඳුප අන්දරයකට පසුබිම් වෙයි.

වර්තමානයේ ගොසිප් ආකෘතිය ද එයට නොදෙවෙනිය. එහි මූලාශ‍්‍ර සම්බන්ධ ගැටලූ තිබේ. සකස් කරන ආකාරය ප‍්‍රශ්න සහගතය. තොරතුර පළ කරන්නට කලින් නැවත නැවතත් කරුණු සොයා බලා නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට දක්වන්නේ ඉතාම අඩු උනන්දුවකි. මෙම ගොසිප් පළ කිරීමෙන් රටට හෝ සමාජයට ලැබෙන යහපත කුමක් දැයි අවධානයට ලක් කරන්නේ නැත. තමන්ගේ අතට ලැබෙන කුඩා තොරතුරක් පවා සුවිශේෂී වචන, නිර්මාණය කරන ලද පින්තූර හෝ කිසිසේත් සම්බන්ධයක් නැති වීඩියෝ ආශ‍්‍රය කරගෙන සමාජයට නිකුත් කරන්නට අද වන විට තාක්ෂණික හැකියාවක් තිබේ. මෙම තොරතුරු විහිදෙන ආකාරය අනුව එය විහිදෙන්නේ කුමන රටාවක් අනුව ද පමණක් නොව එය කොතැනින් ලියැවෙන්නට ඇති එකක් දැයි සොයා ගැනීමද පහසු නැත. වර්තමාන ප‍්‍රබල ගොසිප් වෙබ් අඩවි ඒ වෙනුවෙන්ම මෙහෙයැවෙයි. එක්තරා වෙබ් අඩවියක් එය පුරවැසි මාධ්‍ය කරණය දක්වා විහිදුවා තිබේ. එයට අනුව ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕපාඳුපයක් සේ තමන් හිතන දෙයක් එම වෙබ් අඩවියට යොමු කළ හැකිය. ඒවා තෝරා ගතහොත් පළ කෙරේ. වේගයෙන් ලොව පුරා පැතිර යයි. ඉතාම ආකර්ශණීය ඕපාඳුප මුදල් ගෙවා අයිතියට ගන්නට මෙම වෙබ් අඩවිය සූදානම්ය. සමාජයට වැදගත් නැති එක්තරා ආකාරයට ආන්දෝලනයක් ඇති කරන ඕපාදූප මුදල් ගෙවා තනි අයිතියට ගෙන පළ කරන තරමට මෙම ක්ෂේත‍්‍රය ව්‍යාප්තවී ඇති අවස්ථාවකි. එය අද වන විට පත්ව ඇති සලකා බැලිය යුතු පැත්තකි.

පුවත්පත ආරම්භ වූ වකවානුවේ පැරණි පුවත් පත් වල පවා ඕපාදුප ආකෘතියේ තොරතුරු අන්තර්ගතව තිබූ බව පැරණි පුවත් පත් ගවේශණය කරන විට පැහැදිලිව පෙනෙන කාරණයකි. නමුත් එහි දී උපහාසය, හාස්‍යය නොඅඩුව තිබිණි. අගෞරවය සහ චරිත ඝාතනය තිබුණේ අඩුවෙන්ය. තවත් අවස්ථාවල ජාතික වගකීමක් ඇති ඉලක්ක ගත අරමුණක් තිබූ පුවත් පත් මෙම ඕපාදූප ආකෘතියට ගොදුරු වෙන්නේ නැත. බටහිර රටවල මෙම ඕපාදූප තොරතුරු පළ කරන්නට වෙනම පුවත්පත් පළ කරන ලද අතර ඒවා ප‍්‍රසිද්ධියට පත්ව තිබුණේ අන්‍යයන් ගැන නොවැදගත් දේ ඉතා වැදගත් ආකාරයට උලූප්පා පළ කරන මාධ්‍ය භාවිතාවක් වශයෙන්ය. මෙම භාවිතාව ගැන බරපතල විවේචන තිබූ නමුත් ඒවා සම්බන්ධයෙන් තිබූ ඉල්ලූමෙහි අඩුවක් තිබුණේ නැත. ජාතික මාධ්‍යයෙන් තොරතුරු කියවන පාඨකයෝ තමන් රුචි කරන තවත් දේ දැනගන්නට මෙම ඕපාදූප පුවත් පත් ද මිලදී ගනිමින් සිටියේය. ගොසිප් නොඑසේනම් ඕපාදූප වර්තමාන මුද්‍රිත මාධ්‍යයට ද එකතු වී ඇති ජනප‍්‍රිය අංගයකි. එය අද වන විට නිරීක්ෂණය කළ හැකි සියුම් තත්ත්වයකි. එය ක්ෂණිකව සිදු වූ දෙයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ භාවිතාවෙන්ය. තොරතුර අතරතුර ඕපාඳූප තිබේ. කටකතාව ඇත. අන්‍යාලාපයකින් කියන දෙයක වැඩිපුර ඇත්තේ ඉතාම වැදගත් කාරණයක් නොවේ. මාධ්‍ය පර්යේෂකයන් මෙම ස්වභාවය අධ්‍යයනය කරන්නට අවශ්‍යය. වගකිවයුතු මාධ්‍ය තුළ ඕපාඳූප වැදගත් ස්ථානයක් ගැනීම පර්යේෂණයකට ලක් කළ යුතු අතර එයින් අනාවරණය කරන කරුණු සහ සමාජය එයින් තෘප්තිමත් ද යන්න විමසා බලන්නට අව්‍යශ්‍යය.

මාධ්‍ය තුළින් සමාජයට ඉටු කළ යුතු වගකීමක් තිබේ. එය සම්ප‍්‍රදායිකව පැවරුණ එකකි. සමාජය දැනුවත් කළ යුතු අතර බුද්ධිය ජනනය කරන සහ සියලූ පැති වලින් හිතන්නට හැකි ජන සමාජයක් බිහි කිරීම මාධ්‍යයේ වගකිමකි. සමාජයට ඉදිරියෙන් සිට සමාජය යාවත්කාලීන කරන්නට අවශ්‍යය. සම්පාදනය කරන තොරතුරු වලින් සමාජ යහපත අපේක්ෂා කරන වගකීමක් තිබේ. වගකිව යුතු මාධ්‍යට ගොසිප් එකතුවන විට හැසිරෙන ආකාරය ගැන බිහිවෙන මාධ්‍ය භාවිතාව ගැන අලූත් අවධානයකට යා යුතුව තිබේ. සාමාන්‍ය වැදගත් තොරතුරු නාවරණය කරන සම්භාව්‍ය සංවාදයට ඉඩ දෙන මාධ්‍ය භාවිතාව තුළ ගොසිප් නොඑසේනම් කයිකතන්දර වලට ඉඩ සැපයීම තුළ සිදුවන කෘත්‍ය ගැඹුරින් විමසා බලන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.