» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/09/2015 - ඉරිදා ලංකාදීප
රූපවාහිනී විකාශය විහිදෙන අලූත් පැති වලින් මතුකරන තතු

සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් රූපවාහිනිය භාවිතාවට එන්නේ මැත කාලයේදී ය. කියවා තේරුම් ගනිමින් සිටි පාඨකයන්ට අහන්න සැලැස්වීම පමණක් නොව අහන දේ දකින්නට ද පසුබිම සකස් වන්නේ තාක්ෂණයේ දියුණුව සමගය. රූපවාහිනී තාක්ෂණය එතැනින් නතර වන්නේ නැත. අලූත් සීමා මායිම් සොයමින් එයින් ඔබ්බට ගමන් කරමින් සිටී. එයින් ඇති කරන මාධ්‍ය භූමිකාව ජන සමාජයට බලපාන්නේ කෙසේදැයි විමසා බැලීම වැදගත්ය.

රූපවාහිනිය ආරම්භක යුගයේ එහි තාක්ෂණය සරලය. විශාල ප‍්‍රදේශයකට පැහැදිලි රූපරාමු විකශය කරන්නට අසමත්ය. පැහැදිලිව දර්ශන බලන්නට අතිරේක ඇන්ටෙනා සවිකරන්නට සිදුවෙයි. වර්ණ පින්තූර නොවේ. කලූ සුදු වලින් පෙණුන දර්ශන ඒ තරමට ආකර්ශණීය ඒවා නොවීය. නමුත් අද රූපවාහිනිය වේගයෙන් දියුණු වූ මාධ්‍ය ක්ෂේත‍්‍රයකි. එසේම එයින් ඉටුකරන මාධ්‍ය බලපෑම ඉතාමත් ප‍්‍රබල බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවාව පසුගිය කාලයේ මාධ්‍ය පර්යේෂණයක් කර තිබේ. ඒ අනුව මේ තරමට බලපෑමක් කළ හැකි රුපවාහිනී මාධ්‍ය ඉතාම වේගයෙන් අලූත් පරම්පරාවේ අවධානයෙන් ඉවත්වෙමින් පවතින දක්වයි. තරුණ පරම්පරාව තුළ රූපවාහිනියට තිබූ තැන ආක‍්‍රමණය කරන්නේ අන්තර් ජාලයයි. වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා තරුණන් ගැවසෙන ස්ථාන බවට පත්ව ඇති අතර සමාජයේ තරුණ කොටස සිය තොරතුරු ලබාගැනීමේ දී රූපවාහිනිය සහ ගුවන් විදුලිය අභිබවා අන්තර්ජාලයට නැඹුරුවන බව එයින් දක්වයි. මෙම පර්යේෂණය අනුව 18-24 අතර වයසේ ජීවත්වන තරුණ කාණ්ඩයේ අය රූපවාහිනි නරඹන ප‍්‍රතිශතය සියයට 27 කි. නමුත් වැඩිහිටි එනම් වයස අවුරුදු 55 ට වැඩි අයගෙන් සියයට පනස් හතරක්ම රූපවාහිනිය නරඹයි.

එම පර්යේෂණය කෙසේ වෙතත් එම ඉලක්කම් අනුව රූපවාහිනිය සමාජයේ බුද්ධිමත් ඇසූ පිරූ තැන් ඇති පිරිස අතට පත්ව ඇතැයි සිතන්නට හැකි පසුබිමක් නැත. අලූත් තාක්ෂණික යුගයේ දී එය තවත් සංකීර්ණ ව්‍යුහයකට මග පාදා තිබේ. සාමාන්‍ය රූපවාහිනී ක‍්‍රමය අභාවයට යන බව නිරීක්ෂණය කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රක්ෂකයන් පවා පැහැදිලි වැඩසටහන් නරඹන්නට තමන්ගේ ඇන්ටෙනා නොයෙක් පැතිවලට හරවමින් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය. ඒ සාමාන්‍ය ක‍්‍රමයටය. දැන් නගරයෙන් බැහැර ප‍්‍රදේශ වල පවා රූපවාහිනී බලන්නේ ඇන්ටෙනා වලින් නොවේ. ඉතාම වේගයෙන් කේබල් සහ සැටලයිට් ක‍්‍රමයට හැරෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ පද්ධති සැපයුම්කරුවන් තිදෙනෙක් රැහැන් සහිත සහ රැහැන් රහිත ක‍්‍රම මගින් රුපවාහිනි සංඥා සිය ග‍්‍රාහකයන් වෙත සපයයි. එම සැපයුම කරන්නේ මුදල් ආයකරන ක‍්‍රමවේදයකටය. ඉදිරියේදී මෙම සැපයුම්කරුවන් තවත් වැඩිවිය හැකි අතර ඒ වෙනුවෙන් ද, යම් තරගයක් ඇතිවනු ඇත. තර`ගකාරී ස්වභාවය හමුවේ අලූත් වැඩි පහසුකම් නරඹන්නන්ට හිමිවෙයි. මෙරට ක‍්‍රියාත්මක එක් සැපයුම් කරුවෙකුට අනුව රූපවාහිනිය නැරඹීමේ වෙලාව වෙනස් කරන්නට හැකිය. රූපවාහිනී ආයතනය විකාශය කරන වේලාවට නොව තමන්ට උවමනා වෙලාවට රුපවාහිනිය නරඹන්නට හැකියාව ඇත. ඒ අනුව ප‍්‍රවෘත්තිය තමන්ට උවමනා අවස්ථාවට ලබාගන්නට හැකියාවක් තිබේ. එම පහසුව ලැබෙන්නේ තාක්ෂණයේ පහසුකමක් වශයෙනි. මග හැරෙන්නට ඉඩ නැති ආකාරයට තමන් රුචි කරන වැඩසටහන් නරඹන්නට එයින් ඉඩ කඩ සැලසෙයි. රටට අලූත් නමුත් අද පවතින ස්වභාවය අනුව හදිසි අවස්ථා ගැන ඉක්මනින් දැනුම් දෙන්නට විනා රූපවාහිනිය ඒ මොහොතේ ම නැරඹීම විශාල ජන අවධානයට ලක් නොවූ එකකි. හදිසි අවස්ථා දැනුම් දීමේ කාර්යය පවා සමාජ වෙබ් සහ වෙනත් සන්නිවේදන මෙවලම් වලින් ද, සිදු කෙරෙන විට එහි ඇති වගකීම ද සීමා සහිත එකක් බවට පත්වෙමින් තිබේ.

ලාංකේය ප්‍රෙක්ෂකයන්ට පවා ලෝකයේ ඕනැම රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් නැරඹිය හැකි ආකාරයට තාක්ෂණය වෙනස් වෙමින් පවතින බව පෙනේ. විකාශය කරන වැඩසටහන් ගොනුකර තබා ඒවා විකුණන්නට ව්‍යාපාර බිහිවී ඇත. සම්පූර්ණයෙන් ඔන් ලයින් ක‍්‍රමයට විකාශ කරන රූපවාහිනී නාලිකා තිබේ. ඒවා තවමත් රටට අලූත්ය. නෙට් ෆ්ලික්ස් ටී.වී මගින් මුදල් ගෙවා වැඩ සටහන් නැරඹීම ඇතැම් රටවල ඉතාම බහුල ක‍්‍රමයකි. අන්තර් ජාලයේ ඇති යූ ටියුබ් මගින් වැඩසටහන් නැරඹිය හැකිය. ඉන්දියාවේ සාමාන්‍ය ආකාරයට රූපවාහිනි විකාශය නාලිකා එකකට සීමා වී තිබේ. එය දූරදර්ශන් පමණකි. අනෙක් සියලූ නාලිකා කේබල් හෝ සැටලයිට්ය. සිංගප්පූරුවේ එකම නාලිකාවක් හෝ සාමාන්‍ය ආකාරයට විකාශය නොවේ. තාක්ෂණයෙන් කරන පරිවර්තනය එයයි. මෙයින් පෙන්වන්නේ නරඹන්නන්ට පෙන්වන දේ වෙනුවට උවමනා දේ තමන්ට ගැලපෙන ආකාරයට නරඹන ක‍්‍රමයක් කරා රූපවාහිනිය නැඹුරුවන ආකාරයයි.

මෙම අලූත් නැඹුරුවට ඔරොත්තු දෙන අන්දමට හැඩ ගැසෙන්නට ජාත්‍යන්තර රූපවාහිනි සේවා උනන්දු වෙන බවක් නිරීක්ෂණය කළ හැකිය. බි‍්‍රතාන්‍ය බී.බී.සී ආයතනය වානිජ නොවන නිර්මාණාත්මක වැඩසටහන් පවත්වාගෙන යන ආයතනයකි. මෙතෙක් පැවැති වැඩසටහන් විකාශනය වෙනස් කරන්නට එම ආයතනය මේ දිනවල සූදානම් වෙයි. ඒ අනුව බී.බී.සී යූත් නමින් අලූත් නාලිකාවක් හ`දුන්වාදෙන අතර එය සම්පූර්ණයෙන්ම තරුණන් ඉලක්ක කරගෙන ඔන්ලයින් විකාශයක් වශයෙන් පවත්වාගෙන යනු ඇත. සාමාන්‍ය සංඛ්‍යාත වලින් සාමාන්‍ය ආකාරයට නැරඹීම වෙනුවට තරුණ පෙළ අන්තර් ජාලයට එකතුවන ආකාරය නිරීක්ෂණය කර එම නාලිකාව සැලසුම් කර තිබේ. එපමණක් නොව බී.බී.සී ආයතනය තමන්ගේම ප‍්‍රවෘත්ති විකාශයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය දැයි විමසන්නට පටන්ගෙන තිබේ. එයට හේතුව ලෝකයේ ඉතාම ප‍්‍රකට නාලිකා ගණනාවක් ඉතාම සාර්ථක ආකාරයට ලෝකය පුරා ප‍්‍රවෘත්ති විකාශය කරමින් ඒවා ඕනෑම වේලාවක දැනගන්නට හැකි ආකාරයට පරිවර්තනය වන පසුබිමක තමන් තවත් ප‍්‍රවෘත්ති සේවාවක් පවත්වාගෙන යාම වැදගත් ද, යන කාරණය අවධානයට ගැනීමයි. මේවා අලූතින් සිදුවන දේ බව සැලකිල්ලට ගැනීම වටී.

පෙන්වන දේ නොව තමන්ට උවමනා දේ බලන්නට හුරුවන සමාජ ව්‍යුහයක් තුළ රූපවාහිනී සේවාවන්ට අලූතින් හිතන්නට පසුබිමක් සකස්ව තිබේ. රූපවාහිනිය ඉදිරිපිට වාඩිවිය යුතු කාලය තීරණය කරන්නේ පේ‍්‍රක්ෂකයා වීම විශාල වෙනසකි. මෙම ව්‍යුහාත්මක වෙනසට ඔරොත්තු දෙන ආකාරය ගැන හිතන්නට අපටත් වගකීමක් තිබේ. එය රූපවාහිනිය නරඹන්නන්ට ගරු කිරීමකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.