ඇමෙරිකාවේ මැසුචෙස්ටර් ප‍්‍රාන්තය වඩාත් ජනාකීර්ණ සහ අවධානයට ලක් වූ ප‍්‍රදේශයකි. එහි බොස්ටන් නගරය කේන්ද්‍ර කරගෙන පුවත් පතක් ප‍්‍රකාශයට පත්වෙයි. ද බොස්ටන් ග්ලෝබ් පුවත් පත ආරම්භ කරන්නේ 1872 තරම් ඈත කාලයේ දීය. පසුව එහි කොටස් නිකුතුවක් කරන අතර 1973 දී එහි අයිතිය නව පාර්ශවයක් අත් පත් කරගනී. බොස්ටන් ග්ලෝබ් පුවත්පත සහ එහි පසුබිමට අලූතින් එකතු වෙන්නේ ‘ස්පොට්ලයිට්’ චිත‍්‍රපටියයි. 2016 අවුරුද්දේ ඔස්කා චිත‍්‍රපට සම්මාන උළෙලේ දී ස්පොට්ලයිට් සම්මානයෙන් පිදුම් ලබන අතර හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය බවට පත්වන්නේ මෙම චිත‍්‍රපටයයි. එය මුද්‍රිත මාධ්‍ය භාවිතාව සම්බන්ධ ඉතාම වැදගත් අනාවරණයක් කරන හෙයින් අතිශය අවධානයට ලක් විය යුතු බව පෙනේ.
බොස්ටන් ග්ලෝබ් පුවත් පත ගවේශණාත්මක ප‍්‍රවෘත්ති පළ කරන අතර එම ගවේශණාත්මක තොරතුරු හෙළි කරන විශේෂාංශය හැඳින්වෙන්නේ ස්පොට්ලයිට් යන නමින්ය. එම කණ්ඩායම වැඩ කරන, තීරණගන්නා සහ ගවේශණාත්මක කාරණයක් පාඨකයන් අතට පත්කරන්නට වෙහෙසෙන ආකාරය ජාත්‍යන්තරයේ අවධානයට ලක්වන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ස්පොට්ලයිට් කණ්ඩායම ජාත්‍යන්තර පුලිස්ටර් ඇතුළු සම්මාන දිනාගන්නා අතර අවසානයේ දී පුවත්පතක කණ්ඩායමක් ගවේශණාත්මක කාර්ය භාරයක නිරතවන ආකාරය චිත‍්‍රපටියකට කතාවක් බවට පත්වෙයි. එහි පිටපත ලියන්නේ ටොම් මැකාර්ති සහ ජෝෂ් සිංගර්ය. එම චිත‍්‍රපටය ඔස්කා සම්මානය අත්පත් කරගැනීම දක්වා ඉදිරියට පැමිණෙන කාරණය මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ සියුම් ලෙස සාකච්ඡුාවට ලක් විය යුතු කාරණයකි.
පුවත්පත තුළ ගවේශණාත්මක කාර්ය භාරයක නිතර ස්පොට්ලයිට් කණ්ඩායම එකවතාවක් තෝරා ගන්නේ ඉතාම ආන්දෝලනාත්මක කාරණයකි. එය බොස්ටන් හි රෝමානු කතෝලික පල්ලිය තුළ සිදුවන ළමා ලිංගික අපචාර කේන්ද්‍ර කරගෙන කරන ගවේශණයකි. මෙම කණ්ඩායම මෙහෙයවන්නේ මාර්ටින් බැරක් නැමැති හසල අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙකි. හෙතෙම 2001 අවුරුද්දේ සිට නොකඩවා බොස්ටන් ග්ලෝබ් හි කර්තෘවරයා වශයෙන් සේවය කරන ලද අතර පසුව ඔහුගේ සාර්ථකත්වය පදනම් කරගන වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කර්තෘවරයා බවට තෝරා ගනී. ආන්දෝලනාත්මක ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති කලාව පමණක් නොව ඔහුගේ සිද්ධි තෝරා ගැනීම, අද ජාත්‍යන්තරයේ බලවත් කතාබහට ලක්ව ඇති අතර රෝමානු කතෝලික පල්ලියේ අභ්‍යන්තරය හෙළිදරව් කරන ළමා ලිංගික අපචාර සිදුවීම එහි එක් අනාවරණයකි.
චිත‍්‍රපටය තුළ නැවත ප‍්‍රතිනිර්මාණය කර පෙන්වන්නේ එම ගවේශනය කරන ලද ආකාරයයි. සමාජයේ ඉහළම පිළිගැනීමක් සහිත ආගමික සිද්ධස්ථානය, එහි පූජකවරුන් ගෙන් ඇතැමෙකු හැසිරෙන ආකාරය අතිශය ආන්දෝලනාත්මක ආකාරයකට පුවත් පත හෙලිදරව් කරන අතර එය ඉතාමත් වගකීමකින් යුතුව පමණක් නොව සමාජ බලවේග පාලනය වන අන්දමට අනාවරණය කළ යුතු එකකි. තියුණු අවධානයට ලක්වීම වැලැක්විය නොහැකි අතර හැම පැත්තකින්ම ඉතාම නිවැරදි සාක්ෂි සහිතව අනාවරණය නොකළහොත් පුවත්පත අවදානමකට පත්වීම වැලැක්විය නොහැකිය. මාර්ටින් බැරන් එය කදිමට පාලනය කරයි. මාධ්‍යවේදීන් ගවේශණයෙන් එකතු කරගන්නා තොරතුරු සමාජ ගත කරන්නට ඔහුට හදිස්සියක් නැත. නැවත නැවතත් තහවුරු කරගනී. චිත‍්‍රපටියෙහි පෙන්වන්නේ එය කරන සංවේදී ආකාරයයි. තරුණ ගවේශණාත්මක මාධ්‍යවේදීන්ට මෙම තොරතුරු හෙලිදරව්කර ආන්දෝලකයක් ඇති කරන්නට උවමනා නමුත් තරුණ ජවයට ඉඩ දෙන්නේ නැත. නියම මොහොතේ කිසිදු හිඩැසක් ඇති නොකරන සම්පූර්ණ ගවේශණාත්මක තොරතුරක් බවට පත්වූ අවස්ථාවේ දී සිදුධිය ගැන අංශක තුන්සිය හැටක චක‍්‍රයක් සහිතව බලන ලෙස එය රටට අනාවරණය කරයි. චිත‍්‍රපටියේ දැක්වෙන්නේ යම් යම් අවස්ථාවල කර්තෘ මණ්ඩලය තුළ වාද විවාද ඇතිවන ආකාරයයි. තරුණ මාධ්‍යවේදීන්ගේ හැඟීම්බර බව සහ කර්තෘවරයාගේ පුලූල් දැක්මක් සහිත අති විශිෂ්ඨ පරිනතභාවයයි. ප‍්‍රවෘත්තිය සමබරව ඉදිරිපත් කරන්නට දක්වන ශූරත්වයයි.
නූතන මාධ්‍ය භාවිතාව තුළ සිදුවන ගවේශණාත්මක අනාවරණ දෙස බලන විට මෙම ගවේශණය අහසට පොලව මෙන් පරතරයක් ඇති එකකි. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ ගවේශණාත්මක මාධ්‍ය භාවිතාව තුළ අපේක්ෂා කළ යුතු කාර්ය භාරය ස්පොට්ලයිට් මැනවින් පෙන්වා දෙන බව සඳහන් කළ යුතුව ඇත. වගකීමක් ඇතිව හෙළිදරව් කිරීම පමණක් නොව අනාවරණ කාරණය වෙනුවෙන් පෙනී සිටින කර්තෘවරයාගේ පරිචය සම්බන්ධයෙන් අද බරපතල සාකච්ඡාවකට යා යුතුව ඇති අවස්ථාවක මෙම සිනමාපටය දෙන ආදර්ශය ඉතාම වැදගත් එකකි.
ශ‍්‍රී ලංකාවේ වගකීමක් නැති මාධ්‍ය ප‍්‍රවාහයක් තිබේ. විශේෂයෙන් වෙබ් අඩවි, විශේෂිත අරමුණු සහිතපුවත් පත්, ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ඒ අතර වෙති. නමුත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය වලට තමන් හෙළිදරව් කරන තොරතුරු සම්බන්ධයෙන් අති විශාල වගකීමක් ඇත. ප‍්‍රවෘත්තියක ඇති අකුරු, විශේෂාංගයක ඇති ඉලක්කම් පමණක් නොව ඇති කරන මතය ද පදනමක් ඇති එකක්වීම ඉතාම වැදගත්ය. වර්තමානයේ මාධ්‍ය ප‍්‍රවෘත්ති වශයෙන් ඉදිරිපත් කරන්නේ දේශපාලනඥයන්ගේ ප‍්‍රකාශ බව පෙනේ. දේශපාලනඥයන් කිසිම පදනමක් රහිතව ඉදිරිපත් කරන කරුණු ඒ ආකාරයටම විකාශය කිරීම මාධ්‍යයෙහි කාර්ය භාරය ද යන්න අද පුලූල් සාකච්ඡාවට ගැනීම වැදගත්ය.
දේශපාලනඥයෙකුගේ අදහසක් අති විශාල අකුරින් මුද්‍රණය කරන විට හෝ දේශපාලනඥයෙකුගේ ප‍්‍රකාශයක් විකාශය කරන විට එයින් කියන කාරණය ඇත්ත එකක් ද නැද්ද යන්න විමසා බලන්නට කර්තෘවරයාට වගකීමක් තිබේ. මන්ද මේවා කර්තෘවරයාගේ තෝරා ගැනීම්ය. පාඨකයා විශ්වාස කරන්නේ කර්තෘවරයා විනා දේශපාලනඥයා නොවේ. මෙරට පක්ෂ දේශපාලනඥයා යනු පිරිහී ගිය චරිතයකි. ඔහු සියල්ල කරන්නේ බලය වෙනුවෙන්ය. බලය ආරක්ෂා කරගන්නට හෝ බලයට එන්නට ඕනෑම ආකාරයක කාරණයක්, ඉලක්කමක් විකෘති කරන්නට සමත්වන දේශපාලනඥයන්ට මාධ්‍ය භාවිතාව තුළ ඒ වෙනුවෙන් වේදිකාවක් තැනෙන බව වටහා ගැනීම වැදගත්ය. ජනතාව විශ්වාස කරන පුවත්පත් කලාව තුළ දේශපාලනඥයන් අතාර්කික, අසත්‍ය සහ පදනම් විරහිත කාරණා ගොඩනගන විට එයින් මෙරට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත පාඨක විශ්වාසය පලූදුවන ආකාරය ගැන තක්සේරුවකට යා යුතුය. දේශපාලනඥයන් කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැතිවීම ඔවුන්ගේ බලය සම්බන්ධ කාරණයකි. නමුත් මාධ්‍ය ආයතනයක විශ්වාසය පිරිහෙන ආකාරයකට තොරතුරු සහ මතවාද සකස්වීම භයානක බව තේරුම් ගැනීමට ස්පොට්ලයිට් ගවේශණ කණ්ඩායමේ මෙහෙයුම ඉතාම වටිනා පාඩමක් කියා දෙයි.
යුද්ධය පවතින කාලයේ මෙරට පුවත් පත් මරණ වාර්තා කරන ලද ආකාරය ගැන ජනතාව විශ්වාස කළේ නැත. ආණ්ඩුව සම්බන්ධ ප‍්‍රකාශකවරු කියන දේ ඒ ආාකරයටම පිළිගන්නට සමාජය සූදානම් නැත. මන්ද මෙම අවස්ථාවල තමන්ගේ වාසිය වෙනුවෙන් වාර්තාකරණයක් සිදුවන බව පාඨකයන් තේරුම් ගැනීමයි. කර්තෘවරයාගේ කාර්ය භාරය පාඨකයන්ට වාසිය අත්පත්කර දීම බව ස්පොට්ලයිට් සිනමා පටය ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්නේය. එම සිනමා පටය නිර්මාණය වෙන්නේ සැබැ සිද්ධියක් වාර්තා කරන්නට ගවේශණ මාධ්‍යවේදය ක‍්‍රියාකරන ලද ආකාරය තුළ කතාවක් තිබුණ හෙයින්ය. එම කතාවේ වැදගත්ම චරිතය පුවත්පතක කර්තෘවරයා බවට පත්වීම සමාජය අවශ්‍යයෙන්ම බලාපොරොත්තු වෙන කරුණක් බව සඳහන් කළ යුතුය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|