» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/01/2016 - ඉරිදා ලංකාදීප
පුවත් පත් ප‍්‍රකාශනය සමාජ මෙහෙවරක් වෙනුවෙන් වෙන් කිරීම

පුවත් පත් ප‍්‍රකාශනය භාරධුර කාර්යයකි. වර්තමාන සංකීර්ණ වානිජ සමාජ ව්‍යුහය තුළ එය අධික පිරිවැයක් සහිත එකකි. එනමුත් පුවත්පත සතුව විශාල බලයක් තිබේ. එම බලය නිර්මාණය වෙන්නේ සමාජ පැවැත්ම වෙනුවෙන් ඉටුකරන යහපත් සංවාදශීලී කාර්ය භාරය සමගය. පුවත් පත යන මාධ්‍යයෙහි කේන්ද්‍රය කර්තෘවරයාය. කර්තෘ භූමිකාව වටා පුලූල් මාධ්‍ය සංස්කෘතික ප‍්‍රවාහයකි. එය සමාජ අභිවෘද්ධිය වෙනුවෙන්ය. එහෙයින්ම අර්ථපතිත්වය එනම් අයිතිකාර භූමිකාව අභිබවා කර්තෘවරයා මතුවන්නේය.

මෑත කාලය තුළ ජාත්‍යන්තර සමාජය තුළ පුවත් පත හුදෙක් ප‍්‍රවෘත්ති පළ කිරීම, සමාජයට තොරතුරු සම්පාදනය සහ එකී ක‍්‍රියාවලිය ඔස්සේ සමාජ සංවාදයක් පවත්වා ගැනීමෙන් ඔබ්බට ගමන් කර තිබේ. මෙම කාර්යය ඇරඹෙන්නේ අසූව දශකයේ අග භාගයේ දීය. එය සමාජයේ සරණක් අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් පුවත්පතක් ප‍්‍රසිද්ධ කිරීමේ ව්‍යාපෘතියකි. ඇමරිකාවේ නිව්යෝක් හි ස්ටීට් නිවුස් යනුවෙන් පුවත් පතක් ඇරඹෙයි. එම ප‍්‍රවෘත්ති පත‍්‍රය පළ කරන්නේ නිවෙසක් අහිමි, ජීවත් වෙන්නට ආදායමක් නැති ජනතාව වෙනුවෙන්ය. පුවත් පත අළෙවියෙන් ලැබෙන ආදායම වෙන්වෙන්නේ මෙම දුප්පතුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කරන්නටය. දහ නම වන සියවසේ දී ලන්ඩනයේ දී ගැලවීමේ හමුදාව මෙවැනි විකල්ප පුවත් පතක් පවත්වාගෙන ගොස් තිබේ. එය ද සරණක් අවශ්‍ය පිරිසට යම් ආකාරයට උපකාර වනු ස`දහා පවත්වාගෙන ගොස් ඇති බව පෙනේ. 1989 දී ආරම්භ වූ මෙම පුවත්පතේ පැවැත්ම සමාජයේ අසරණ පුද්ගලයෙන්ගේ යහපත ස`දහාය යන සංකල්පය අද වන විට ලෝකයේ රටවල් තිහක පමණ ක‍්‍රියාත්මක වන බව අනාවරණය වෙයි. ඇමරිකාව සහ යුරෝපීය රටවල මෙම කාර්යය බහුලව සිදුවෙයි. නොබෝදා ඉන්දියාවෙන් වාර්තා වූයේ මේ ආකාරයේ ම පුවත්පතක් නඩත්තු කරන වීදි දරුවන් ගැනය. ඔවුන්ම පුවත් පත ලියා සංස්කරණය කර පළ කරන අතර එය අළෙවි කිරීමෙන් ලබන ආදායම වීදියේ සි`ගමන් යදිමින් ජීවත්වූ දරුවන්ට අලූත් ජීවිතයකට මග දක්වා තිබේ. එය හුදෙක් පුවත් පත විකිණීමක් පමණක් නොවේ. පුවත් පතක් හදන්නට මහන්සිවීමෙන්, ඒ වෙනුවෙන් තොරතුරු එකතු කිරීමෙන් අලූත් අත් දැකීමක් ලබන අතර තුරය. වැදගත් කාරණය එයයි.

නූතන මාධ්‍ය භාවිතාව තුළ මෙම සමාජයේ ආදායමක් රහිතව අසරණ වූ ජන කොට වෙත පුවත් පත් ආකෘතිය නොයෙක් ආකාරයෙන් පිටිවහලක් වන බව පෙනේ. එය හුදෙක් පත්තරයක් විකුණා ජීවත්වීමේ ප‍්‍රයත්නයක් පමණක් වී නැත. පුවත් පත විකුණන්නේ ඔවුන්ගේ ඛේදවාචකය අනාවරණය කරමින්ය. එහි ඇති විශේෂාංග වල ඔවුන්ගේ ජීවිත වල අන්ධකාර පැත්ත ලියැවෙන අවස්ථා තිබේ. එය එක්තරා ආකාරයකට අනුවේදනීය හෙළිදරව්වක් බව ස`දහන් කළ යුතුය. සමාජය සිතන්නට පටන් ගනී. සිද්ධියක පසුබිම සහ එම සිද්ධි හෙයින් අසරණ වන ජීවිත හුදෙක් කීයක් හෝ අතමිට මොලවා දීමෙන් පමණක් විස`දන්නට නොහැකි බව තේරුම් ගනී. එය පුවත්පතක පළ කරන ප‍්‍රවෘත්තියකින් අනුවේදනීය තත්ත්වයක් ඇති කරනවාට වඩා හාත්පසින්ම ඉදිරි පියවරකි.

මහ මග ජීවත්වන යාචකයන් වෙනුවෙන් පුවත්පතක් ප‍්‍රසිද්ධවන විට එය සමාජය සම්බන්ධ වන එකකි. ප‍්‍රාග්ධනය සපයන්නේ සමාජයයි. ඇතැම් පුවත් පත් ගැන අධ්‍යයනය කරන විට ඒ පිටුපස සිටින්නේ පරිත්‍යාගශීලීන්ය. ඔවුහු මුදල් සපයන අවස්ථා ඇත. දැන්වීම් වලින් අනුග‍්‍රහය දෙයි. මුද්‍රණය හා බෙදාහැරීමට උදව් කරයි. එය නිකම් දී සි`ගමන් තත්ත්වයට හුරු කිරීමක් නොව නිර්මාණශීලී ආකාරයට කොන් වූ සමාජයක් නැවත එසවා තබන්නට ගන්නා උත්සාහයකි. ඒ වෙුනවෙන් සියලූම දෙනා ඉදිරිපත් නොවන නමුත් යම් යම් ආකාරයට උදවු කරන කරුණා සහගත පිරි හෙයින් ලෝකයේ නොයෙක් නගර වල මෙම සුවිශේෂී පුවත් පත් මුද්‍රණය කෙරෙමින් තිබේ. නිතිපතා දස දහස් ගණනින් අළෙවි වෙයි. ඒවායේ නිරත සාමාජිකයෝ අසරණව සමාජයෙන් ඉල්ලන්නේ නැති අතර ජීවත්වීමේ අවශ්‍යතාවයට වෙනස් ආකාරයට වටිනාකමක් සම්පාදනය කර ගනිති. පුවත් පතක පළ වන ප‍්‍රවෘත්තියක් කියවා යමක් දැනගැනීමට වඩා වෙනස් ව්‍යුහයක අත් දැකීමක් පාඨකයන්ට අත්පත් කරදෙන්නට සමත් වෙති.

අද වන විට මෙරට යාචකයන්ට බස් රථ වල සි`ගමන් යැදීම තහනම් කරන බව ප‍්‍රකාශ වෙයි. මහ මග අනුන්ට අත පොවමින් ජිවත්වන යාචකයන්ට යම් යම් බාධා පමණුවන පියවර ගන්නා බව විටින් විට අනාවරණය කරයි. නගරයක් ලස්සන කරන විට මුලින් ඉලක්කකරන්නේ යාචකයන්ය. මෙම ජන කොටස සමාජයෙන් ඉල්ලාගෙන ජීවත්වෙන තරමට පිරිහෙන කාරණය සියලූ දෙනාගේ අවධානයට යොමු විය යුතු එකකි. පාරට පැමිණ අත පාන ජීවිත දෙස වෙනස් ආකාරයකට සලකා බලා ලෝකයේ සිදුවන ආකාරයට පුවත් පතක් පළ කිරීමට හෝ වෙනත් ව්‍යවසායකට යොමු කිරීම සුදුසුය. එවැනි කි‍්‍රයාමාර්ග යෝජනා කරන අතර සි`ගමන් යදින සමාජය දිනකට එකතු කරගන්නා මුදල් ප‍්‍රමාණය, ඒ වෙුනවෙන් යාචකයන් සංවිධානය ගතව ඇති ආකාරය පර්යේෂණ වලට පවා මාතෘකා සම්පාදනය කර ඇති බව අමතක කළ යුතු නැත. එසේ නමුත් එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් ආදායමක් උපයා ගැනීමට පුවත්පත් පවත්වාගෙන යන අවස්ථා ගැන අවධානය යොමු කර ඒ වෙනුවෙන් යම් ප‍්‍රයත්නයකට රට තුළ අවකාශයක් නිර්මාණය කළ හැකිය. එය ගෞරවාන්විත ප‍්‍රයත්නයකි. පාරේ සි`ගමන් යදිනවා වෙනුවෙට පුවත් පතක් ප‍්‍රකාශයට පත් කර එය විකුණා හ`ඩක් මතු කර ජීවත්වන ආකාරයට පසුබිම පරිවර්තනය කිරිමකි.

මෙම සංකල්පය රටට අලූත් එකක් විය හැකිය. සංවිධාන ගත කරන සි`ගමන් යදින සමාජයක් වෙනුවෙන් පුවත් පතක් ආරම්භ කරන්නට මග පෙන්වීම සංකීර්ණ කාර්යයකි. ඒ වෙනුවෙන් මෙහෙයැවීම, මුද්‍රණය කිරීම ඒ වෙනුවෙන් පිරිවැය පමණක් නොව වඩාත් භාරධුර කාර්යය මෙම පුවත් පත අළෙවි කර එයින් ආදායම බෙදා ගන්නා ව්‍යුහයක් සංවිධානගත කිරීමයි. එකී කාර්ය වෙනුවෙන් කැපවූ කොටසක් වෙන් කර පුහුණු කිරීයි. සමාජයේ තර`ගකාරී ක‍්‍රමය තුළ ව්‍යාපාර පවත්වාගෙන යන පිරිසට ඔවුන්ගේ කැපවීම තුළින් යම් වෙනසක් කරන්නට හැකියාව තිබේ. තමන්ගේ ආයතනයෙන් දැන්වීමක් දිය හැකිය. තවත් පාර්ශවයකට පුවත් පත සකස් කර දිය හැකි අතර තවත් කණ්ඩායමකට මුද්‍රණ අනුග‍්‍රහය සම්පාදනය කළ හැකිවෙයි. දුර පලාත වලට බෙදාහැරීම, ගිණුම් පවත්වාගෙන යාමට උදව් කරන්නට අවස්ථාව තිබේ. මෙම සියලූ දේ මගින් පුවත්පතක කාර්ය භාරය තවත් පැත්තකින් සමාජ උන්නතිය ස`දහා බලපවත්වන්නේය යන පණිවුඩය සන්නිවේදනය කරන අතර එය සුවිශේෂී කාරණාවකි. නමුත් අසංවිධිත සමාජ රටාවක සිටින ජන කොටසක් පොදු අරමුණක් වෙනුවෙන් රාමු කිරීම පහසු නැත. එහෙත් ඒ වෙනුවෙන් පෙනී සිටීම අප සියලූ දෙනාගේ වගකීමකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.