» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/11/2015 - ඉරිදා ලංකාදීප
සංහිදියාව සහ ප‍්‍රතිසංධානය වෙනුවෙන් පෙනී සිටිය හැකි ආකාරය

යහපත් පැවැත්මක් ඇති කළ යුතු කොතැනක ද? පැවැතිය යුතු යහපත් පැවැත්ම නොතිබුණ තැනකය. ප‍්‍රතිසංධානයක් ඇති කළ යුතු ද එවැනි තැනකය. සංධානයක් නොතිබුණ අවස්ථාවකය. පැවැත්ම යහපත් ආකාරයට නොවූ සහ බෙදී වෙන්ව පවතින බවට පෙනෙන ශ‍්‍රී ලාංකේය ජන සමාජය නැවත එකතුකර එකමුතු කරන්නට වෑයමක් මේ වන විට තිබේ. මෙම උත්සාහය රට තුළින් පැන නැගෙන එකකි. එයට පදනම් වන්නේ බෙදිමය. ජාතීන් අතර බෙදීම් ඇති කළේ දශක තුනක කාලයක් රට තුළ බිහිසුණු යුද්ධයයි. එයින් සිදුවූ ජීවිත සහ දේපොල විනාශ වූ ප‍්‍රමාණය සැලකිය යුතුය. මෙම යුද්ධය ත‍්‍රස්තවාදය පරාජය කරන එකක් නමුත් එයින් බෙදී දුරස් වූයේ ශ‍්‍රී ලාංකික ජන සමාජයේ ස්ථර දෙකක එක්තරා කොටසකි.

යුද්ධයෙන් බෙදුනේ ජාතීන්ය. ආගමික වශයෙන් ද බෙදී තිබෙන බව රටට දැනෙන දෙයකි. අති පූජ්‍ය මාදුලූවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට අවසන් ගෞරව දක්වන්නට පැමිණි ජනතාව අතර අන්‍ය ආගමිකයන් සිටියහ. අන්‍ය ආගමිකයන් හිමිපාණන්ට ගෞරව දක්වන්නට පෝලිමේ සිටි වේදනාවට පත් බොදු ජනතාවට වතුර බෝතල් බෙදා දුන්හ. මෙම අන්‍ය ආගමිකයන් කෙබඳු ආගමික කොට්ඨාශයක්ද? ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් බහුතරය බෞද්ධයන්ය. බුදු රජාණන් වහන්සේ ගේ දහම අනුව සියලූ සත්වයන් විනා අන්‍ය ආගමිකයන් නැත. බුදු රජාණන් වහන්සේ මෛතී‍්‍ර කරන්නේ සියලූ සත්වයන්ටය. සියලූ සත්වයන් ගැන කතා කරන බුදු දහම තුළ අන්‍යාගමික යනුවෙන් කොටසක් නැති බව නොබෝදා ස`දහන් කළේ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාය. සාකච්ඡා සභාවල දී නිතර භාවිතා වන මෙම වචනය ගැන මම නොයෙක්වර අවධානයට ගත් එකකි. චන්දන ප‍්‍රධානත්වය දරන නාලිකාවේ කරුණු සාකච්ඡා කරන අතරවාරයේ ඔහු දරන මතය මාධ්‍ය මගින් ඉදිරිපත් කළේ සියලූ සත්වයන් හැර අන්‍යාගමිකයන් යනුවෙන් බෙදීමක් තිබිය යුතු නැති බව සඳහන් කරමින්ය. එය අපගේ අවධානයට යොමු විය යුතු කාරණයකි.

මාධ්‍ය ව්‍යවහාරයේ දී සිංහල නොවන කොටස සුළු ජාතිකයන්ය. බහුතර ජන කොටස යන අදහස ප‍්‍රකාශ කිරීම තුළ අධිපති බවක් පෙන්නුම් කරයි. බුද්ධාගමේ නොවන කොටස අන්‍යාගමිකයන්ය. අනය යනු තමන්ට බද්ධ නැති බව අඟවයි. සිංහල රටක් සහ බුද්ධාගමේ නොවන පිරිසක් වශයෙන් වෙනත් රාමුවකට කොටු කරන්නේ භාෂාවයි. එම භාෂා ව්‍යවහාරය මාධ්‍ය තුළ නැවත නැවතත් සමාජගත කරන විට රට තුළ තහවුරුවක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ උරුමයක් පෙන්වන්නේ බුද්ධාගම ආරක්ෂා කරන රට බවට ප‍්‍රතිරූපයක් නිර්මාණය කරගනිමින්ය.

වසර දෙදහස් පන්සියයක් බුද්ධ දහම ආරක්ෂා කරන ලද අතර දහම නිසා රට ආරක්ෂා වූ බව සමාජ විඥාණයේ තැන්පත්ව තිබේ. සිංහල බෞද්ධ චරිතය හැදෙන්නේ ආරක්ෂාව මුල් කරගනිමින්ය. ලෝකයේ නොයෙක් තැනින් සිදුවූ ආක‍්‍රමණ රටට හුරුය. එම ආක‍්‍රමණ වලින් ජාතිය සහ ආගම ආරක්ෂා කරගැනීම හරහා රටේ අනන්‍යතාවය සකස් විය. භාෂාවෙන් කරන්නේ මෙම අවශ්‍යතාවය තව දුරටත් තහවුරු කිරීම බව පෙනේ. පරම්පරාවෙන් පරම්පරාව ශ‍්‍රී ලාංකේය සමාජය ගොඩනැගෙන්නේ මෙම ආරක්ෂා කරගත යුතුය යන සංකල්පය සමග වන අතර අභියෝගයක් වන තැන් අභිබවා නැගෙන්නට මහ ජාතිය සහ අන්‍යාගමික වැනි පටු වචන පුලූල් වශයෙන් වහල් කරගනිමින් සිටී.

ගෙවී ගිය ඉතිහාසය තුළ පෙරදිග රටවල් වලින් පැමිණි ආගන්තුක සංස්ංකෘතිය සමාජයට මුහු වී තිබේ. බටහිර රටවල් වලින් නොයෙක් අංග මිශ‍්‍ර වී ඇත. මෙම එකිනෙකට වෙනස් දේ අනන්‍යතාවයට එකතු වෙන්නේ සමාජ ව්‍යුහය තුළ සිංහල බෞද්ධ රටක් යන පදනම ආරක්ෂා කරගැනීමට බලවත් සටනක් සිදුවන අතරවාරයේ වීම විශේෂයෙන් අවධානයට ගත යුතුය. අද වන විට අප සියලූ දෙනාටම ප‍්‍රශ්නයක් තිබේ. ප‍්‍රතිසංධානය හොයන්නේ ඒ ප‍්‍රශ්නය ඇතුළතය. සංහිදියාවක් අවශ්‍ය බව කියන්නේ එහි ප‍්‍රතිපලයක් වශයෙන්ය.

සංහිදායාව ඇති කරන්නට නම් මෙපැති අවබෝධ කරගත යුතුව තිබේ. සමස්ථ සමාජය ආකල්ප වෙනසක් සිදුවිය යුතු මොහොත කරා පැමිණ ඇත. එම ආකල්ප වෙනස් කළ යුතු එකක් ම පමණක් නොව නිවැරදි දේ නිවැරදි ආකාරයට දැකීමකි. නිවැරදි අර්ථය භාවිතා කරන්නට කරන පෙළඹවීමකි. එහි දී මාධ්‍ය භූමිකාව ඉතාම තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය.

සමාජ ගෝලීයකරණය වන වකවානුවක අනන්‍යතාවය සම්බන්ධව ගැටලූ නිරාකරණය කරගැනීම හමුවේ සියුම් තාර්කිකත්වයක් අවශ්‍යය. ජාත්‍යන්තරය තුළ පවා මෙම තත්ත්වය තේරුම්ගෙන තිබේ. කිතුණු නොවන අය හීදන් යනුවෙන් හඳුන්වන ස්වභාවය අද බටහිර සමාජයේ නැත. එහි දී දේශපාලනික වශයෙන් නිවැරදි (politically correct) යන ආස්ථානයක් බිහිව තිබේ. ජාත්‍යන්තරය තුළ සුදු කලූ බේධයක් තිබිණ. එම බේධය ඉතා අන්තවාදී තැනක සිට අද පවතින භාවිතාව දක්වා පරිවර්තනය වෙන්නේ දේශපාලනික වහයෙන් නිවැරදි තැනකට විශ්ව භාවිතාව කැඳවමින්ය. වර්තමානයේ ජාතිකත්වය ප‍්‍රශ්න කරන්නේ නැත. ඇමරිකාවේ ජීවත්වන කලූ ජාතිකයන් අද හඳුන්වන්නේ අප‍්‍රිකානු උරුමයක් ඇති ඇමරිකානුවන් වශයෙනි. වචන භාවිතාව ඉතා සියුම් පරෙස්සම් සහගත තැනකට ප‍්‍රවේශ වී තිබෙන අතර එයින් ගරු කරන්නේ අනෙක් පුද්ගලයාටය. එම පුද්ගලයාගේ අනන්‍යතාවයටය.

සංහිදියාව බලහත්කාරයෙන් ඇති කළ නොහැකිය. ජාතීන් සහ ආගම් අතර විශ්වාසය තහවරු කරන්නට කාලාන්තරයක් ගත වෙයි. මෙම කාලය තුළ නිවැරදි සන්නිවේදනයකට කළ හැකි වගකීමක් තිබේ. නිවැරදි හුරුව ඇති කරන්නට සමාජය හුරු කරන්නට අවශ්‍යය. පුලූල් ආධ්‍යාත්මයකින් තොර සමාජයකට ඉදිරි ගමනක් නැත. මේ දනක්වා පැමිණි ගමන තුළ සිංහල සහ බෞද්ධ ආරක්ෂාව අපේක්ෂා කරන ලද නමුත් අද දකින්නට නැති කාරණය ද එයයි. අලූත් යුගයක් ඇති කරන සහසියලූ ජන කොටස් වලට එක රටක එක අනන්‍යතාවයක් ඇතිව ජීවත්වන පසුබිම ඇතිකරන වගකීමේ බලවත් කාර්ය භාරයක් මාධ්‍ය සන්නිවේදනයට උසුලන්නට සිදුවෙයි. සුළු ජාතිකයන්ගේ ප‍්‍රශ්න ගැන කතා කිරීමෙන්ම සුළු ජාතියක් ඇති කරන අතර අන්‍යාගමිකයන් ගේ සම්බන්ධය ගැන සඳහන් කරන සෑම අවස්ථාවකම තමන්ට වඩා අනුන් මතුවන යටිපෙලක් නිර්මාණය වන බව සැලකිල්ලට ගත යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.