» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/05/2016 - ඉරිදා ලංකාදීප
මහා සන්නිවේදනය අධ්‍යයනය කළ යුතු මොහොත

බෞද්ධ ජනතාව වාර්ශිකව සමරන වෙසක් මහෝත්සවය අදට යෙදී තිබේ. ගෞතම බුදුරජානන් වහන්සේගේ ඉපැදීම, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවීම සිහිපත් කරමින් පින්බර කාර්යන්හි නිරතව මෙලොව සතුට මෙන්ම නිවන ද ප‍්‍රාර්ථනා කරති. බුදු රජානන් වහන්සේ තෙවතාවක් මෙරටට වැඩම කර ඇති අතර තමන් ධර්මය පවතින්නේ යැයි දෙසා වදාල දේශය ශ‍්‍රී ලංකාව බවට මෙරට බොදු ජනතාව අතර මහත් විශ්වාසයක් තිබේ. බුදු දහම සමග මෙරට සමාජය, සංස්කාතිය හා පැවැත්ම විශාල පරිවර්තනයකට ලක්විය.

වෙසක් සමය තුළ ජනතාව ශීල, දාන ඇතුලූ විවිධ ආගමික වතාවත් වල නිරත වෙති. බොදුනුවන් පමණක් නොව සියලූ දෙනා එකතු වී තොරණ, වෙසක් කූඩු සහ දන්සැල් යනාදිය පතවත්වන බව නිරික්ෂණය කළ හැකිය. වර්තමාන මාධ්‍ය භාවිතාව තුළ බුද්ධ දේශනාව සන්නිවේදනය කරන්නේ කෙසේද? මාධ්‍ය එහි හරය වශයෙන් රාමු කරන්නේ බුදු දහම තුළ පෙන්වා දෙන යථාර්ථය ද?

අද පවතින සන්නිවේදන මෙවලම් තාක්ෂණික අතින් ඉතාම ප‍්‍රබලය. යම් සංවාදයක් විශ්ව ව්‍යාප්ත කරන්නට ගත වන්නේ ඉතාමත් සුළු කාලයකි. විසි එක් වැනි සියවසේ සන්නිවේදනය සතු බලය එහි ප‍්‍රබලත්වය සම්බන්ධව අවබෝධයක් වර්තමාන සමාජයට තිබේ. නමුත් බුදු රජාණන්වහන්සේ ජීවමානව විසූ වකවානුවේ මේ ආකාරයේ සන්නිවේදන බලයක් තිබුණේ නැත. බුදු දහම ලේඛණ ගත වන්නේ මාතලේ අලූ විහාරයේ දීය. අද ධර්මය පොත පතින් කියවා අධ්‍යයනය කළ හැකිය. ඒ දවස ධර්මය පවත්වාගෙන එන්නේ මුඛ ව්‍යවහාරයෙන්ය. ධර්මය සහ සූත‍්‍ර දේශනා කටපාඩමින් තබාගත හැකි දක්ෂ හිමිපාණන් වහන්සේලා එකී වගකීම ඉශ්ඨ කරන්නට ඇත. ධර්මය ගැන ගැටලූ තැන් මතු වූ විට ඒවා සම්බන්ධ විවාද පමණක් නොව ධර්ම සංගායනා පැවැති බව ඉතිහාසය සනාථ කරයි.

මේ ආකාරයට පවතින්නේ බුදු රජාණන් වහන්සේ ගේ සන්නිවේදනයයි. බුදු පදවිය ලැබ පසුව පසු වග තවුසන් ඇතුළු පළමු ශිෂ්‍ය හැට නම ධර්ම ප‍්‍රචාරය සඳහා ගමින් ගමට පිටත්කර හරියි. බෞද්ධ පොත පතෙහි සඳහන් ආකාරයට ‘දෙදෙනෙකු එක මග නොයන්න’ යන උපදේශය ද සහිතවය. සත්‍ය අවබෝධ කරගෙන එම අවබෝධ කරගත් දෙය සත්‍ය දැයි නැවත තහවුරු කරගත් බුදු රජාණන් වහන්සේ තමන් ගේ සත්‍යාවබෝධය ලෝකය පුරා පතුරවන සන්නිවේදනය ආරම්භ කරන්නේ එවැනි ආකාරයකටය. බුදු රජාණන් වහන්සේ ගේ එකී සංකල්පය මහා සන්නිවේදනයකි. සන්නිවේදන ජාලා සම්බන්ධ මූලික අවස්ථාවකි.

බුදුන් වහන්සේ අද වැනි දිනයක ලොව පහල වූවා නම් හෝ ශ‍්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ නම් ඇති වන්නට ඉඩ ඇති ස්වභාවය කෙබඳුද? ධාතු ප‍්‍රදර්ශන, ශීල ව්‍යාපාර, වෙසක් කලාප, බොදු බැති ගී සංදර්ශන අනාවරණය කරන්නේ එයයි. ජන මාධ්‍ය ආයතන මෙම කාර්යයන් හි නිල ප‍්‍රචාරකයෝ බවට පත්ව සිටිති. මාධ්‍ය ආයතන කරන්නේ තරඟයකි. තම ආයතනයෙන් සිවිධානය කරන ලද බෞද්ධ වැඩසටහන සාර්ථක වූ බව පෙන්වන කාර්යයකි. අති විශාල ශ්‍රාවක, පේ‍්‍රක්ෂක පිරිසක් කරා තමන්ගේ නාලිකාව යොමු වෙන්නට හැකි වූ බව දක්වා මාධ්‍ය ආයතනයේ බලය පෙන්වීමකි. මාධ්‍ය යේ වෙසක් සන්නිවේදනයට අති විශාල ධනස්කන්දයක් වියදම් කරන අතර එකී පිරිවැය අනුග‍්‍රාහකයන් මගින් ආවරණය කර ගනියි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ජීවිතය සම්බන්ධ සත්‍ය දැවැන්ත වානිජ වෙළඳ පොළක් බවට පත්ව තිබේ. මෙයින් මිදෙන්නට හැකියාවක් නැත. ධර්මය ප‍්‍රචලිත කිරීම, බුද්ධ දේශනාව සමාජගත කිරීම යනාදී කවර විඥාණයක් මතු පිටින් පෙන්වන්නට උත්සාහ කරන නමුත් එයින් කරන්නේ මාධ්‍ය ආයතන වල ද්‍රෘෂ්ඨිවාදය යටි පෙලක් වශයෙන් පවත්වාගැනීමය.

මාධ්‍ය සන්නිවේදන ජාලා සංවිධානාත්මකව කරන දෙයින් ඇති කරන්නේ බෞද්ධ ප‍්‍රබෝධයකි. ඒවා සංවිධානාත්මක ව්‍යාපාර තරමට වැඩි දියුණුය. පින් කැමැති පිරිස් මෙන්ම නොයෙක් කණ්ඩායම් එකමුතුවී පවත්වන දන්සැල්, තොරණ හා වෙසක් කූඩු සහ සැරසිලි මගින් ලෞකිකත්වයට වඩා විනෝදකාමී අවස්ථා නිර්මාණය වී තිබේ. දන්සැල් සංවිධානය කරන්නේ කුස ගින්නේ ඉන්නා ජනතාවට නොවේ. සිසිල් පැන් දන් සැල් සංවිධානය කළේ රට තුළ වැඩි ම දාහයක් තිබූ කාලයේ නොවේ. වසරින් වසර මෙම අංග තව තවත් සංකීර්ණවීමක් දැකිය හැකිය. ඇතැම්විට සංවේගශීලී හැඟීම් ඇති කරන ආකාරය තෙක් මෙම අවස්ථා වර්ධනය වීම නිසා බෞද්ධ ජනතාව තුළ සංවේගයක් ඇති කරන බවක් ද පෙනී යයි. දන් සැල පැවැත්වීම, බෞද්ධ කොඩිය භාවිතා කිරීම, වෙසක් කාඩ් නිර්මාණය කරන ආකාරය වැනි දේ ගැන නීති පනවන්නට පවා සිදුවන්නේ එහෙයින්ය.

වෙසක් කාඩ්, භක්ති ගීත මෙරට බොදු සංස්කෘතියට එකතු වූයේ යටත් විජිත සමයේදීය. බුදු දහම යටපත් කර අන්‍ය ආගම් ඉදිරියට පැමිණීමට වලක්වන ව්‍යාපාරයක් වශයෙන්ය. බොදු පුනරුදය අඛණ්ඩව පවත්වාගෙන යන්නට එහි ඇති හරය වෙනුවට ප‍්‍රචාරකවාදී ආකල්පයක් ඇතිවය. හෙන්රි ස්ටීල් ඕල්කොට්, මාරි මියුසියස් හිගීන්ස් වැනි බටහිර රටවලින් බුදු දහම ගැන පැහැදී මෙරටට පැමිණි පිරිස ස්වදේශික, කැක්කුමක් ඇතිව ක‍්‍රියා කරමින් සිටි පිරිස සමග එකතු වී බෞද්ධ ප‍්‍රබෝධය අඛණ්ඩව පවත්වාගෙන යන්නට බලවත් උත්සාහයක් දැරූහ. නත්තල සමරන අවස්ථාවේ ඇති ආකර්ශනීයත්වය හා සමාන යමක් වෙසක් උත්සව වෙනුවෙන්ද ආරෝපනය කරන්නට එයින් උත්සාහ කළේය. එමගින් මහත් උත්සව ප‍්‍රබෝධයක් ඇති කරන්නට බෞද්ධ ජනතාව පෙළැඹෙන්නනේ යටත් විජිත යුගයෙන් මිදී ඉදිරියට එන සමාජ යේ සිදුවීම් අනුව ගමන් කරමිනි. එවකට අධිරාජ්‍යවාදී පසුබිම තුළ අන්‍ය ආගම් මතු කරන්නට ඇතැම් කණ්ඩායම් බලපෑම් කළේය. යටත් විජිත සමයේ බුදු දහම යටපත් කරන්නට දරන ලද ප‍්‍රයත්නයට එරෙහි ව්‍යාපාරයක් වශයෙන්ය. අනෙක් ආගමි පතුරවන අවස්ථා හමුවේ බුද්ධ ධර්මයේ යථාර්තය ගවේශනය කරනවා වෙනුවට එහි ඇති සාටෝප ලක්ෂණ හුවා දක්වා ඇතැම් ජන කොටස් බිඳීයාම වලක්වන්නට මෙම අංග ප‍්‍රයෝජනවත් වන්නට ඇත.

බුද්ධ දේශනාව එහි දර්ශනය හා හරය අනුව මෙවැනි භෞතික හා නච්ච, ගීත වාදිත විසූක දස්සන ගැලපෙන්නේ නැත. නමුත් වෙසක් මහෝත්සවය හා එකතු වී හමාරය. දැන් සමාජය විසින් ඉදිරියට ගෙන යන්නේ එහි මතුපිටින් ඇති පෙනුම පමණකි. මාධ්‍ය සන්නිවේදනය කරන්නේ ධර්මයෙහි හරය වෙනුවට පසුව එකතු වූ අලාකෘතයන්ය. යටත් විජිත කාලයේ දී බොදුනු ප‍්‍රබෝධය පවත්වාගෙන යන්නට මෙකී අංග වලින් ඉතා වැදගත් මෙහෙවරක් කරන ලද බව නිසැකය. බටහිර ආගමික පරිසරය තුළ බුද්ධාගමට ආරක්ෂා කරගන්නට එවැනි දේ මහත් ප‍්‍රයෝජනයක් අත් කරන්නට ඇත. නමුත් අද වැනි යුගයක ජන සන්නිිවේදය තුළ තුළ පැවැතිය යුතුතත්තවය එය නොවේ. මෝහාන්ධකාරය තුරන් කර ජීවිතයට ආලෝකය දක්වන්නට මාධ්‍ය භාවිතාව සූදානම් විය යුතුය. කාලයක් වැදගත් වූ නමුත් අදට නොගැලපෙන අනවශ්‍ය දේ පසෙකින් තබා ධර්මය හා එහි ගැබ්ව ඇති ලක්ෂණ ජීවිතයට සමීප කරන්නට මාධ්‍ය භාවිතාව පෙරට පැමිණිය යුතුය. බුද්ධ දේශනාවේ හරය සම්බන්ධ සාකච්ඡාව වැදගත්ය. මිත්‍යාව වෙනුවට සත්‍ය අනාවරණය කළ යුතුය. නියම බුද්ධ පූජාව කුමක්දැයි පෙන්වා දෙන්නට අවශ්‍යය. තාවකාලික සතුටක් ලබා ගැනීම වෙනුවෙන් කරන කාර්යයන් හි ප‍්‍රයෝජනය කුමක්ද? එසේ කරන්නේ ඇයි. ධර්මය මතුපිටින් සිතා එහි අනුගාමිකයන් බව පෙන්වන්නට ප‍්‍රයත්න දැරීම සාධාරණ සමාජයක පැවැත්මට සුදුසුද? මෙවැනි කාරණා ප‍්‍රශ්න කරන්නට මෙය සුදුසු වකවානුවකි.

බුදු රජාණන් වහන්සේ ගේ මග පෙන්වීම අනුව ජීවිතය සකස්කර ගන්නට අවංකවම කැපවුන ගිහි පැවදි පිරිසක් වර්තමානයෙහි සිටින බව පැහැදිලිය. නමුත් මේ යථාර්තයට වඩා කැපී පෙනෙන්නේ තන්හාව හා ආශාව අනුව සමාජයේ වඩා මතුවී පෙනෙන්නට බුදු දහම පදක්කමක් සේ පැළඳගෙන සිටින සුළු පිරිසයි. අද සමාජයට අනුව පැතිරවීමට වඩා අවශ්‍ය බුද්ධාගම සම්බන්ධයෙන් ඇති පෙනුම නොව එහි ගැබ්ව ඇති දර්ශනයයි. බුදු දහමේ සමාජ උවමනාව සාකච්ඡුා කර එය සමාජ ගත කරන්නට ජන මාධ්‍යයට පුලූල් වගකීමක් තිබේ.

පසුගිය දිනවල පැවැති අධික රස්නයෙන් පීඩා විඳි ජනතාවට නොතිබුණ සිසිල් පැන් දැන් මග තොට දී කුමකටද? අලූත් අවුරුද්ද දිනවල තමන්ගේ දරුවන්ට ඇඳුමක් පැළඳුමක් ගන්නට, කිරිබතක් පිසගන්නට වත්කමක් නැතිව සිටි ජන කොටසක් සිටියේ නම් ඔවුන්ට නැති දන්සැල් අද සියලූ මංසන්ධිවල මහ ජයට පවත්වන්නේ කුමටද? දුකට පත් කෙනෙකුගේ නිවසක විදුලිය බිලක් ගෙවන්නට ඉදිරිපත් වන්නට නොහැකි සංවිධානයක් පවත්වන මංඤොක්කා දන්සැලක වටිනාකමක් නැත. කොතැනක හෝ දුකට පත්වී සිටින අසරණ පවුලකට නිවෙසක් හදන්නට උපකාර විය නොහැකි තැනකින් වෙසක් කූඩු සංදර්ශන වැදගත්ද? අද වන විට ත් රට පුරා දස දහස් ගණනින් වකුගඩු රෝගීහු වාර්තා වී සිටී. ඔවුහු නිතිපතා රුධිර කාන්දු කරන යන්ත‍්‍රවල පිහිටෙන් ජීවත්වෙති. තවත් බොහෝ පිරිසක් පිරිසිදු ජලය නැති පමණක් නොව එම ජලය පාවිච්චි කිරීමෙන් රෝගී වන බව දැන දැනම අසරණ වී සිටිති. මෙම පිරිස වෙනුවෙන් යමක් කරන කණ්ඩායමක් ඇත්නම් ජනමාධ්‍යයේ ඉහළම ආවරණය ලැබිය යුත්තේ ඔවුන්ටය. මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය වන යන්ත‍්‍ර මිලදී ගන්නට, රෝගීන්ට තවාතැනක් ඉදිකර ගන්නට ආධාර අවශ්‍ය බව ප‍්‍ර‍්‍රචාරය වෙයි. එවැනි දේ වෙනුවෙන් වෙසක් දිනයේ දී ජන අවධානය යොමු කරන්නට නොහැකි මන්ද?

ධර්මය මතුපිටින් දැක පැහැදී බුදුන්, දහම් හා සඟුන් සරණ ගිය කාලයක් තිබිණ. නමුත් වර්තමානයේ බුදු හිමියන්ගේ දේශනාවේ සත්‍ය සාකච්ඡා කරන තාක්ෂණික යුගයක් උදා වී තිබේ. තර්කයෙන් හා භාවිත කරුණු මත අවබෝධ කරගෙන ජීවිතයට සමීප දහම ලෙස පිළිගනිමින් තිබේ. ඒ අනුව අලූතින් බුදු දහම ඉගෙන ගන්නා සාකච්ඡා කරන හා ඒ අනුව ජීවිතය සකස්කර ගන්නා පරපුරක් ලොව පුරා බිහිවන බව පෙනේ. බුදු රජානන් වහන්සේ ගේ දේශනා අකාලික යැයි කියු වදන සාක්ෂාත් කරන්නට මෙය එක් මොහොතකි. ධර්ම දේශනාව, භාවනාව, මහා සංඝරත්නයේ පිළිවෙත් සම්බන්ධයෙන් නොයෙකුත් ප‍්‍රමිතීන් තමුන් විසින්ම සකස් කර ගනිමින් සිටින අවස්ථාවක පසුවෙයි. එය සුදුසු ද නොසුදුසු ද යන්න ප‍්‍රශ්න කළ යුත්තේ බොදු දනන්මය. ජනමාධ්‍ය ඒ සඳහා මාධ්‍ය සංගායනාවකට ඉඩ දිය හැකිය. ලොව පුරා බුද්ධිමතුන් දහමේ හරය ප‍්‍රශ්න කරමින් එහි මග පෙන්වීම අවබෝධ කරගනිමින් සිටින යුගයක් උදාවී තිබේ. ධර්මය දක්වන මධ්‍යස්ථ ප‍්‍රතිපදාවකින් ක‍්‍රියා කිරීම ආදේශ කළ නොහැකි අවස්ථාවක් නැත. වර්තමාන ජනමාධ්‍ය භාවිතාව තුළ බුද්ධාලම්බන පී‍්‍රිතිය හා සමානව බුද්ධ දර්ශනය ගවේශනය කිරීමට මාවතක් සකස් කිරීම වැදගත්ය.