» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/02/2016 - ඉරිදා ලංකාදීප
රූපවාහිනී කර්මාන්තයේ හයවැනි පරම්පරාවේ ආකෘතිය

රූපවාහිනී තාක්ෂණය සොයාගෙන වැඩි කාලයක් ගත වී නැත. 1920 ගණන්වල රූපය සහිතව වැඩසටහන් විකාශය කරන තෙක් කට හඬට පමණක් සීමා වූ ගුවන් විදුලි සේවාව ප‍්‍රචලිතව පැවැතියේය. සංඥා භාවිතා කර එක තැනෙක සිට තවත් තැනකට රූපමය කතාන්දර සන්නිවේදනය කිරීම වසර සියයකට කලින් සිහිනයක්ව පැවැතිණ. නමුත් අද වන විට රූපවාහිනිය විනෝදාස්වාදය සපයන ජනතාව දැනුවත් කරන ප‍්‍රාධාන ක්ෂේත‍්‍රයක් බවට පත්ව තිබේ. එසේ තිබිය දී රූපවාහිිනිය ගැන හොඳ කියැවෙන අතර අහන්නට ලැබෙන්නේ අපමණ දෝෂාරෝපණ බව ද සඳහන් කළ යුතුය.

නමුත් මැත කාලයේ ලැබෙන අලූත්ම තොරතුරු පෙන්වන්නේ මෙතෙක් නිවසේ විසිත්ත කාමරයට සීමා වූ රූපවාහිනිය නරඹන ආකාරය මග තොට ඕනෑම තැනක සිට නරඹන්නට තාක්ෂණය දියුණු වී ඇති බවය. එය විශේෂ තාක්ෂණික පරිවර්තනයකි. මෙම ස්වභාවය සමග රූපවාහිනිය ගැන පවතින උනන්දුව තවත් ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර පවුලේ සියලූ දෙනා එකට හිඳ පොදුවේ රස විඳින මාධ්‍යයක භාවිතාවයෙන් මිදී පුද්ගලික රස වින්දනයට නතු විය හැකි බව ප‍්‍රකාශ වෙමින් තිබේ. මෙම අලූත් තාක්ෂණය අනුව රූපවාහිනිය නැරඹීම අන්තර් ජාල සම්බන්ධතාවය ඇති ඕනෑම තැනක සිට කරන්නට කරන්නට හැකියාව ලැබී ඇති අතර එළිමහන, ගුවන හෝ සාගරය එයට බාධාවක් වන්නේ නැත. ටෙලිවිෂන් යන්ත‍්‍රයක් අවශ්‍ය නොවන අතර මෘදුකාංග පහසුව ඇති ටැබ් එකක් හෝ ස්මාට් දුරකථනයකින් පවා එදිනෙදා වැඩසටහන් නැරඹිය හැකිය. රැහැන් ඇද ඇන්ටෙනා භාවිතා කර රූපවාහිනිය දෙස බලා සිටි පේ‍්‍රක්ෂකයන්ට නාලිකා බලන්නට කාලය බාධාවක් වන යුගය අවසන්ව ඇති පමණක් නොව ඕනෑම තැනක සිට නරඹන්නට අවකාශය පුලූල්වීම ද විශේෂිත තත්ත්වයකි.

ලෝකයේ පළමුවෙන් භාවිතා කරන්නේ කලූ සුදු රූපවාහිනි යන්ත‍්‍රයි. ජෝන් ලොගී බෙයාර්ඞ් හඳුන්වා දුන් මෙම කලූ සුදු රූපවාහිනිය තාක්ෂණය පැතිතෙන් මූලික අවධියේ පැවැති පින්තුරයපවා හොඳටම පැහැදිලි නැති එකක් විය. නමුත් පසු කාලයක දී කාලයක එහි යම් යම් පැති වැඩි දියුණු කරගත් අතර එය වේගයෙන් රස වින්දනයට නතු වන මෙවලමක් බවට පත්වෙයි. පළමු වතාවට වර්ණ රූපවාහිනියක් නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවයි. 1954 අවුරුද්දේ දීය. එතෙක් කලූ සුදු පින්තූර වලින් සතුටු වී සිටි නරඹන්නන්ට එය සම්පූර්ණයෙන් අලූත් අත් දැකිමක් විය. බි‍්‍රතාන්‍ය රූපවාහිනී සමාගමක් සම්පූර්ණයෙන් වර්ණ තාක්ෂණය සහිත වැඩසටහන් විකාශනය කරන තෙක් ඇමරිකාවේ වර්ණ රූපවාහිනි සේවාව ද ඒ තරමට ඉහල තත්ත්වයේ තිබුණේ නැත.

රූපවාහිනියේ ඉතිහාසය අනුව දෙවැනි පරම්පරාව වශයෙන් වර්ණ රූප විකාශය කරන තරමට වැඩි දියුණු වූ මෙම තත්ත්වය තුන්වන පරම්පරාවට ඇතුලූ වෙන්නේ කාල අභියෝග ජයගැනීමක් වශයෙන්ය. කාන්දම් සහිත ටේප් පටියක විකාශය කරන වැඩසටහන් පටිගත කර සංඥා නතර කරගන්නට සමත් වූ මෙම ක‍්‍රමය අනුව පසුව ඕනෑම වේලාවක වීඩියෝ රෙකෝඩරයක් මගින් නැවත නරඹන්නට හැකිවීම විශාල පරිවර්තනයක් වශයෙන් එ දවස සැලකීය. වී.එච්.එස්. තාක්ෂණය සහිත එම ටේප් යුගය වැඩි කාලයක් නඩත්තු වූයේ නැති අතර ඉතාම ඉක්මනින් ඞී.වී.ඞී. රෙකෝඩර් භාවිතාවට පැමිණියේය. එය පෙන්නුම් කරන්නේ ඉතාමත් වේගයෙන් අලූත් අලූත් දේ රූපවාහිනි මෙවලම් වශයෙන් අනාවරණය කරගත් ආකාරයයි.

ඩිජිටල් රූපවාහිනි ක‍්‍රමය ඉන් අනතුරුව අත් පත් කරගත් අවස්ථාවයි. කලූ සුදු රූපවාහිනියේ අත්දැකීම් තිබු නරඹන්නන්ට ඉතා විශාල තිරය, සියුම් වර්ණ පරාස පමණක් නොව පැහැදිලි සංඥා සහිත ඉතාමත් හොඳ ශබ්ධය සන්නිවේදනය කරන මෙම ඩිජිටල් සේවා රූපවාහිනිය සමාජයට නවතම සජිවී සමාජ අත්දැකීමක් සපයයි. එතෙක් චිත‍්‍රපටිය වෙනම කර්මාන්තයක් වූ නමුත් චිත‍්‍රපටය පවා අභියෝගයට ලක් කරන්නේ නිවසේ සිටම සිනමා ශාලාවක අත්දැකීම ලබන්නට තරම් දියුණු තත්ත්වයට රූපවාහිනිය පත්විම සමගය. මෙයට සමාන්තරව රූපවාහිනියේ කේබල් සේවා රූපවාහිනි වැඩසටහන් විශේෂිත පරිගණක ජාලා වල ගබඩා කර නැවත නැවත නරඹන්නට ඉඩ සම්පාදනය කරන්නේය. එය ටේප් පටියක හෝ ඞී.වී.ඞී. තැටියක රූපය පටිගත කර නැවත නරඹනවාට වඩා දියුණු අවස්ථාවකි.

කලූ සුදු ස්වභාවයේ සිට වර්ණ, කාලය සහ නරඹන ස්ථානය ප‍්‍රශ්නයක් නොවීම දක්වා පැමිණි රූපවාහිනියේ ගමන හය වැනි පරම්පරාවට පැමිණ ඇති බව ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහසයි. එය ඉතාමත් සූක්ෂම ආකාරයට සිදුවූ තාක්ෂණික දියුණුවක් වශයෙන් සලකන අතර මෙයින් ඔබ්බට ගමන් කළ හැකි තැනක් ගැන අද සාකච්ඡා වෙන්නේ නැති තරමට ප‍්‍රගතියකි.

තාක්ෂණයෙන් දියුණු නමුත් රූපවාහිනිය එහි විකාශය කරන දේ ගැන ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද මතය යහපත් නැත. කලූ සුදු රූපවහිනි යුගයේ සිට නවීන තාක්ෂණයෙන් අන්තර් ජාලයෙන් රූපවාහිනිය නරඹන ස්වභාවය දක්වා අවස්ථා ශ‍්‍රී ලංකාවට ද ලැබී තිබේ. ඒ හා සමාන්තරව රට තුළ ඇති පොදු අදහස දමෙම රූපවාහිනිය විකාශනය කරන හරසුන් දේ ගැන සහ එයින් සමාජයට ඇති කරන අයහපත ගැනය.

ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා අනුව රූපවාහිනිය බලන ආකාරය වෙනස්වීම හෙයින් වයස අවුරුදු පහට අඩු දරුවන් පවා දිනකට පැය 2.6 ක් අන්තර්ජාලය උපයෝගී කරගෙන පසුගිය වැඩ සටහන් නරඹන බවය. එම සමීක්ෂණය තව දුරටත් පෙන්වන්නේ අවුරුදු 5-12 අතර වයස් කාණ්ඩයේ දරුවන් රුපවාහිනිය නරඹනවාට වඩා වැඩි කාලයක් අන්තර් ජාලය පරිහරණය කරන බවය. අන්තර් ජාලයෙන් රූපවාහිනිය බලන්නට හැකි සහ පැරණි දේ පවා ආපසු බලන්නට හැකි තාක්ෂණය සමග මෙම කාලය තව දුරටත් වැඩි විය හැකි බව අනාවරණය වෙයි. හ‍්‍රී ලංකාවේ දරුවන් රූපවාහිනියේ කාටුන් සහ සංගීත වැඩ සටහන් වලට ඇබ්බැහි වී සිටින අතර එය අධ්‍යාපනයට බාධාවක් බව පර්යේෂකයෝ දක්වති. දරුවන්ගේ අධ්‍යාපනයට වැඩදායක හොඳ වැඩ සටහන් විකාශය කරන බව සඳහන් කරන නමුත් එවැනි අර්ථ පූර්ණ දේ රූපවාහිනියෙන් විකාශනය වන්නේ කොපමණ අල්ප ප‍්‍රතිශතයකින් දැයි රටට අත් දැකීමක් තිබේ. විශාල තාක්ෂණික ප‍්‍රගතියකින් පසු දැනුම අවබෝධය වැඩි කරන්නට සහ අනාගත පරපුරේ බුද්ධි වර්ධනයට එම තාක්ෂණය දායක කරගෙන ඇත්තේ කෙබ`දු ආකාරයකට ද යන්න සාකච්ඡා කළ යුතු අවස්ථාව උදා වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනි සේවාව ආරම්භ කරන විට සමාජය තුළ විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් තිබුණි. නමුත් එම බලාපොරොත්තු වලින් කොපමණ ප‍්‍රමාණයක් සාක්ෂාත් වී ඇත්දැයි පැහැදිලිව පෙනෙන්නේ නැත. රූපවාහිනී තාක්ෂණය හය වැනි පරම්පරාවට අවතීර්ණ වන විට එයින් සමාජයට සිදුවන බලපෑම ගැන අදට වඩා වෙනස් ද්‍රෘෂ්ටි කෝණයකින් අවධානය යොමු කිරීමේ වගකීමක් රටට තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.