» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/12/2015 - ඉරිදා ලංකාදීප
ජන අභිලාශ සාක්ෂාත් කරන ආකාරයේ මාධ්‍ය තොරතුරු සම්පාදනය

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය බලවත් පරිවර්තනයක් වී තිබේ. එම පරිවර්තනය තුළ සිදුවී ඇති පෙරැළිය කුමක්ද? ජන අභිලාශය සම්බන්ධ මාධ්‍ය භාවිතාවේ අනන්‍ය රාමුව කිසියම් ආකාරයකට වෙනසකට භාජනය වීමය. ජනමාධ්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්විය යුතු සියුම් පැත්තක් වශයෙන් මෙය සාකච්ඡා කළ හැකිය.

මාධ්‍ය ආකෘතිය සකස් කරන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතාවට වගකීමක් තිබිණ. සම්ප‍්‍රදායික මාධ්‍ය භාවිතාව තුළ ජාතික ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව සම්බන්ධ විශාල අවධානය සහ වගකීම ආරක්ෂා කළේය. නමුත් අද වන විට මාධ්‍ය භාවිතාව ප‍්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කිරීම හුදෙක් සිද්ධි ඉදිරිපත් කිරීමක් පමණකි. එම සිද්ධි වාර්තාකරණයෙන් සමාජයට සිදුවන බලපෑම අධ්‍යයනය කර දිය යුතු සහ නොදිය යුතු පණිවුඩය කුමක් දැයි සමබර ලෙස විමසා බලන්නේ නැත. එවැනි ව්‍යුහයකට සම්ප‍්‍රදායික මාධ්‍ය යොමු කරන්නේ සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණීම බව තේරුම් ගත යුතුව තිබේ. සමාජ මාධ්‍ය භාවිතාව තුළ සංස්කරණයක් නැත. කතුවරයෙකුගේ භූමිකාව වැදගත් එකක් වශයෙන් සලකන්නේ නැත. අහන දේ ඉදිරිපත් කරයි. දකින දේ පින්තුර සහ හඞ පට වැනි සාක්ෂි සහිතව අන්තර් ජාලයට යොමු කරයි. එය ඉතා ක්ෂණිකව වේගයෙන් සිදුවන පසුබිමක සම්ප‍්‍රදායික මාධ්‍ය හිතා බලා සාකච්ඡා කර වගකීමක් සහිතව තොරතුරු ඉදිරිපත් කිරීමේ ගුණය අර්බුදයකට යයි. එයින් සිදුවන හානිය සියුම් සහ ගැඹුරු අවබෝධයකින් වටහා ගත යුතු එකකි.

නොබෝදා රජයේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් කරන බව මාධ්‍ය වාර්තා කළේය. මෙම වැඩ වර්ජනය කරන්නේ කොපමණ පටු අරමුණකින් ද යන්න සියලූම දෙනා අවබෝධ කරගත්තේ වර්ජනය කර රෝගීන් අපහසුතාවයට පත්වූ පසුවය. රජයේ වෛද්‍යවරුන් ද මෙම සමාජයේ කොටසකි. පවතින ජීවන ගැටලූ හමුවේ ඔවුන්ට ද තම අයිතිවාසිකම් යනුවෙන් ඉදිරිපත් කළ හැකි කරුණු ගණනාවක් තිබිය හැකිය. නමුත් යුතුකම් යනුවෙන් ද පැත්තක් තිබේ. එම යුතුකම සාමාන්‍ය බස් රියැදුරෙකුගෙන් හෝ පාරේ වැඩ කරන කම්කරුවෙකුගෙන් අපේක්ෂා කරනවා වැනි එකක් නොවේ. භාරධූර ඓතිහාසිකව පැවරූ සුවිශේෂී එකකි. සාමාන්‍ය වෘත්තිකයන් අතර සුවිශේෂ තැනකට පත්වන්නේ එහෙයින්ය. ජනතා ගෞරවයට පාත‍්‍රවන්නේ ඒ හෙයින් බව සඳහන් කළ යුතුය. මෙම වෛද්‍ය වෘත්තිකයන් පුවත් පත් සාකච්ඡාවක් කැඳවන්නේ තමන්ගේ වැඩ වර්ජන තීරණය දැනුම් දෙන්නටය. රජයේ වෛද්‍යවරුන්ට මතයක් ඇති නමුත් සාමාන්‍ය ජනතාව ඇපයට තබා අයිතිවාසිකම් දිනා ගන්නට තැත් කරන බව දැනෙන විට ඒ වෙනුවෙන් මාධ්‍ය මගින් පුලූල් ප‍්‍රචාරයක් දිය යුතුද? එකී පුලූල් ප‍්‍රචාරය තුළ සමාජයට නිකුත් කරන පණිවුඩය නෙබඳු එකක්ද?

වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන තීරණය දැනුම් දෙන්නට මාධ්‍ය සාකච්ඡා කැඳවන විට පෙන්වන්නට උත්සාහ කරන්නේ තමන් සතු බලය සහ අභිමතය සම්බන්ධ සන්නිවේදනයයි. මෙම සන්නිවේදනය තුළ සමස්ථ ජනතාවට අඟවන්නේ ක්ෂේත‍්‍රය තුළ රෝගී ජිවිත ඇපයට තබා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අභිප‍්‍රායයි. එය ජනතාවට අත් පත් කරදෙන වාසිය කුමක්ද? නොදැනුවත්වම මාධ්‍ය ඉටු කරන්නේ වෛද්‍යවරු සතු බලය තහවුරු කරන එයට රුකුල් දෙන මාධ්‍ය භාවිතාවක් බව නිරීක්ෂණය කළ හැකිය. මෙය එක පැත්තකි. මාධ්‍ය පැත්තෙන් නැගෙන තර්කයට අනුව තොරතුර සන්නිවේදනය විනා එහි ඇති කරන ජනතාවගේ පීඩනය වැඩිකරන්නට හේතුවන්නට ඉඩ ඇති අනෙක් කාරණා අවශේෂ බව විය හැකිය. නමුත් ගැටලූව මතු වෙන්නේ මෙවැනි පැති වලින් ඇතිකරන සමස්ථ බලපෑමයි. මාධ්‍ය භාවිතාව මගින් වෛද්‍ය වැඩ වර්ජනය සම්බන්ධ හඞ බලවත් එකක් නොකරන ලද්දේ නම් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? වෛද්‍යවරු වැඩ වර්ජනය කරනවා නම් එය දැනුම් දිය යුතු අදාල බලධාරීන්ටය. බලධාරින්ට දැනුම් දෙන අතර සමාජය වෙත පණිවුඩයක් නිකුත් කරන අදහසින් මාධ්‍ය වෙත පැමිණ පුවත් පත් සාකච්ඡාවක් පවත්වයි. එයින් අපේක්ෂා කරන්නේ රජයේ වෛද්‍යවරු සම්බන්ධ ගැටලූව විසඳා ගන්නට සමාජය අපහසුවට පත් කර ඔවුන් ලවා ද මැදිහත්වීමක් අපේක්ෂාවෙන් බව තේරුම්ගත හැකිය.

නමුත් රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය සිදුවන විට දුර බැහැර පලාත්වල මතුවන දුෂ්කරතා සහ විශේෂයෙන් වකුගඩු රෝගීන් වැනි සුවිශේෂී අය තමන්ගේ අපහසුතා දක්වමින් පාරට බහිනවිට දස දෙසින් මෙම වර්ජනයට විරුද්ධව අදහස් මතු වන්නේය. ජනමාධ්‍ය එම පැත්ත ද වාර්තා කරයි. එපමණක් නොවේ පුවත් පත් කතු වැකි ලියයි. ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍ය ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් සම්පාදනය කර යුක්තිය සහ අයුක්තිය පෙන්වයි. සමාජ මාධ්‍ය ජාලා පවා බරපතල විවේචනයකට ගමන් කරයි. අවසානයේ දී රජයේ වෛද්‍යවරු තමන්ගේ උවමනාව වෙනුවෙන් කරන ලද වැඩ වර්ජනය සෞඛ්‍ය ක්ෂේත‍්‍රය කෙරෙහි යහපත් නොවන ආකල්පයක් ජනිත කරයි.

මෙම සිදුවීම සමග අලූත් පැති මතුවෙයි. සමස්ථ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය සතු වගකීම පුලූල් එකක් බව දැනෙන සංවාදයක් මතු විය යුතු බව දක්වයි. සමාජ මාධ්‍ය ජාලා මගින් හිතට එන මගදී දකින සියලූ ම දේ වාර්තා කරන නමුත් පිළිගත් සම්ප‍්‍රදායික මාධ්‍ය තොරතුරු ඉදිරිපත් කරන විට එය සමාජයට කරන යුක්තිය, කාර්ය භාරය සහ එයින් ඇතිකරන ප‍්‍රතිඵලය ගැන පූර්ව විනිශ්චයකට පැමිණීම අවශ්‍ය කරන වකවානුවකට අප අවතීර්ණ වී සිටින බව සඳහන් කළ යුතුය.

මෙම තත්ත්වය මාධ්‍ය භාවිතාව සම්බන්ධ අලූත් පැති ඉදිරිපත් කරන එකක් විය හැකිය. කර්තෘත්වය සහ සංස්කරණය වැනි ගුණාංග සහිත තීරණාත්මක ධුරාවලි අලූතින් හිතන තැනට පත් කරන පත් කරනවා විය හැකිය. අද වන විට තොරතුරු මාධ්‍ය එනම් සම්ප‍්‍රදායික පුවත් පත පවා කර්තෘවරයාගේ අනුමැතියෙන් තොරව ලෝකයේ ඕනෑම තැනක සිට යාවත් කාලීන කළ හැකි අන්තර් ජාල ප‍්‍රකාශනයක් බවට පත් වෙමින් තිබේ. එවැනි වකවානුවක මාධ්‍ය මගින් ඇතිකරන තොරතුරු ජනගතවන විට එහි විවිධ පැති සම්බන්ධව පුලූල්ව සිතා බලන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.