විභාගයෙන් හොඳම ප‍්‍රතිඵල ලබාගත් දරුවන් ගැන මාධ්‍ය වාර්තා කරයි. මෙම තොරතුරු හෙළිදරව් කරන මාධ්‍ය දරුවන්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගනී. මෙසේ දරුවන්ගෙන් ප‍්‍රකාශයක් ගන්නට එන මාධ්‍යවේදීන් දරුවන් ගෙන් තොරතුරු අනාවරණය කරගන්නට සූදනම් වෙයි. ඔව්හු එකවරම යමක් කියන්නේ නැත. තමන්ගේ දක්ෂතාවයට මග පෑදෙන්නේ කෙසේදැයි කියන්නට කාලයක් ගනී. වාක්‍යයකින් දෙකකින් කියන්නට එය අසමත්ය. නමුත් ප‍්‍රවෘත්ති විකාශයක දී ලැබෙන්නේ තත්ත්පර ගණන කාළයකි. යහපත් හෝ අයහපත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මාධ්‍ය තුළ දරුවන් භාවිතා කිරීම අද වන විට අන්තර් ජාතිකව පුලූල් අවධානයට ලක්ව ඇති කරුණකි.
දරුවන් සම්බන්ධ ප‍්‍රවෘත්තියක් සකස් කිරීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන අතර එයින් විය හැකි ප‍්‍රතිඵලය කෙරෙහි විශේෂයෙන් සැලකිල්ලක් දක්වයි. විශේෂයෙන් දරුවාට එයින් අත්වන මානසික සහ සමාජ ස්වභාවය කෙරෙහි අවධානය යොමු කෙරේ. ඒ අනුව දරුවන් සම්බන්ධ විෂයෙහි මාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධ ආචාර ධර්ම පද්ධතියක් ඇත. මෙම ආචාර ධර්ම ජාත්‍යන්තර සම්මුතියක් වන අතර එක් එක් රටවල් එකිනෙකට වෙනස් ආකාරයට දරුවන් උදෙසා මාධ්‍ය භාවිතාව සකස් වෙයි.
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වලට ද දරුවන් මාධ්‍ය වලට සම්බන්ධ කර ගැනීම මෙන්ම දරුවන් සම්බන්ධ තොරතුරු විකාශනයේ දී ඉතාමත් සියුම් ආකාරයකට සිය වගකීම වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍යය. නමුත් එවැනි වගකීමක් මෙරට මාධ්‍ය ව්‍යුහය තුළ පවතී ද යන්න විවාදිත කරුණකි. සාමාණ්‍යයෙන් පෙනෙන ආකාරයට නම් මෙරට මාධ්‍ය භාවිතාවේ දී දරුවන් කෙරෙහි විශේෂිත සංවර බවක් අනුගමනය කරන්නේ නැත. ආචාර ධර්ම කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ ඉතාමත් අඩුවෙන්ය. එය සාකච්ඡා කළ යුතු කාරණයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1996 දී ඔවුන්ගේ සැසිවාරයක් වෙන් කරන ලද්දේ දරුවන් සම්බන්ධයෙන් ලිබිත සහ ශ‍්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය අනුගමනය කරන ප‍්‍රතිපත්ති සම්බන්ධව පුලූල් කතිකාවක් උදෙසාය. එහි දී අනාවරණය වූ වැදගත් කාරණයක් වූයේ ප‍්‍රතිපත්ති සහ තත්ත්ව සම්බන්ධව සුපරීක්ෂාකාරී විය යුතු බවය. දරුවන්ට සිදුවන බලපෑම්, දරවන් යම් කාර්යයන්හි නිරතවීම, අපරාධ සම්බන්ධ වාර්තා, අනවශ්‍ය සම්බන්ධතා සහ පවුල් ප‍්‍රශ්න සම්බන්ධව වාර්තා කිරීමේ දී සිදුවන බලපෑම බරපතල හෙයින් එයින් වැලකීම වැදගත් බව ජාත්‍යන්තරව එකඟ වී තිබේ. නමුත් පොදුවේ ලෝකයේ බහුතරයක් මාධ්‍ය මෙවැනි පැති ගැන අවධානය යොමු කර සන්නිවේදනයෙහි නිරත වන්නේ නැත. එය ජාත්‍යන්තර විචාරකයන් පවා අද අවධාරණය කරන ප‍්‍රධාන කාරණයකි. විභාග ප‍්‍රතිඵල වාර්තා කරන ආකාරයට ම අපරාධයක් සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන විට තොරතුරු විමසමින් සිටී. දරුවන් සම්බන්ධ කාරණා වලදී අනන්‍යතාවය හෙළිදරව් වන ආකාරයට වාර්තා ගොනු කරයි. එයින් සිදුවන අවැඩ ඉතාමත් තීරණාත්මකය.
ඇතැම් රටවල් දරවන්ගේ තොරතුරු වාර්තා කිරීමේදී පින්තූර පෙන්වන්නේ නැත. නම් ගම් හෙළිදරව් කිරීමෙන් වැලකී සිටී. නොබෝදා ඉන්දියාවේ සිදුවූ හිංසනයක් සම්බන්ධ සිද්ධියක් වාර්තාකරණයේ දී දැක්වූයේ අන්වර්ථ නමක් භාවිතා කරමින්ය. ඇත්ත නම ප‍්‍රයෝජනයට ගත්තේ නැත. එහෙයින් අසල්වැසියන් පවා ගොදුරු වූයේ කවුදැයි හඳුනාගත්තේ නැත. පෞද්ගලිකත්වය ආරක්ෂා වූ අතර එය අනාගතය ආරක්ෂා වන තත්ත්වයකි. නමුත් මෙරට මාධ්‍ය දරුවන්ගේ සියලූ වත ගොත හෙළිදරව් කරයි. පින්තූර පළ කරන අතර ඇතැමි විට කරන්නේ පින්තූරවල ඇතැම් කොටස් අපැහැදිලි කිරීමේ කාර්යයක් පමණකි. නමුත් සිද්ධියේ පසුබිම් වාර්තා, නම් ගම් සහිතව සියලූ දේ විස්තර කරන මාධ්‍ය හැසිරෙන්නේ එය තුළින් විශාල සමාජ මෙහෙවරක් කරන අදහස ඇතිව බව පෙනේ. නමුත් එය මාධ්‍ය සදාචාරය පමණක් නොව දරුවන්ගේ පෞද්ගලිකත්වය ද බලවත් අර්බුදයකට පත් කිරීමක් බව තේරුම් ගැනීම අවශ්‍යය.
අද වන විට ලෝකය පුරා දරුවන් සහ මාධ්‍ය ගැන සියුම් තර්ක ගොඩ නගමින් පවතී. මන්ද මාධ්‍ය භාවිතාව තොරතුරු තාක්ෂණයේ නවීන යුගයේ දී ඉතාමත් සංකීර්ණ එකක් බවට පත්වෙමින් ඇති හෙයින්ය. මාධ්‍ය මගින් දරුවන්ට කරන යම් ආකාරයක හිංසනයක් ඇතිනම් එය නතර කරන්නේ කෙසේද? යන්න අද විමසා බලමින් සිටී. දරුවන් පීඩාවට පත්කරන අවස්ථා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට මාධ්‍ය නිර්මාණාත්මකව භාවිතා කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කෙරේ. මාධ්‍ය දරුවන්ගේ යහපතට අනුගමනය කරන ආකාරය පමණක් නොව දරුවන් ක‍්‍රියාකාරීව සම්බන්ධ කරගෙන දරුවන්ට ඉඩ දෙන මාධ්‍ය භාවිතාවක් සංවර්ධනය කරන්නේ කෙසේද? යන්න විමසා බලමින් සිටී. මේවා ඉතාමත් වැදගත් සහ අනාගතයේ දී මාධ්‍ය සංවිධිත රාමුවක් ඇතිකිරීම වෙනුවෙන් බලපාන දේ වශයෙන් මත පළ කරන යුගයක් කරා අද වන විට ජාත්‍යන්තර ප‍්‍රජාව අවතීර්ණ වී සිටී.
සියලූම ආකාරයේ සන්නිවේදන මාධ්‍ය දරුවන් සම්බන්ධ වාර්තාකරණයේ දී ඉතාම ඉහළ සදාචාරාත්මක සහ වෘත්තීමය ස්වභාවයක් අනුගමනය කළ යුතු බව එකහෙලා පිලිගතයුතු බව අමතක නොකළ යුතුය. දරුවන්ගේ රැකවරණය, පුද්ගලිකත්වය ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනය වැනි අංශ ගැන සැලකිල්ලක් නොදක්වා කරන වාර්තාකරණය දරුවන්ට ඇති අසීමිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කිරීම අවශ්‍යය. මාධ්‍ය වාර්තාකරණය පමණක් නොව මධ්‍ය මගින් ඉදිරිපත්කරන දැන්වීම් වල දී ද දරුවන් පෙළඹවීම වලක්වන, ඔවුන් ගොදුරු කරනොගන්නා මෙන්ම වැරදි මත ඇති කරන ඒවා නොවිය යුතු බව පොදුවේ පවතින එකඟතාවයයි. මාධ්‍ය පාලනය කරන්නන්, අයිතිකාර පාර්ශවය පමණක් නොව මාධ්‍යයෙහි නිරත මාධ්‍යවේදීන් මෙම කාරණා කෙරෙහි අවබෝධයක් ඇති පිරිසක් විය යුතුය.
නමුත් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව තුළ දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වී තිබේද? ඔවුන් පොළඹවන්නේ නැති සහ දරුවන් ගේ මනස අවුල් කරන්නේ නැති මාධ්‍ය භාවිතාවක් සිදුවන බව ඉඳුරා ප‍්‍රකාශයට පත් කළ හැකිද? දරුවන් සම්බන්ධ තොරතුරු කිසිම සූක්ෂම බවකින් තොරව තරඟකාරී ලෙස සන්නිවේදනය කරන අතර එය තුළින් අරමුණු කරන්නේ තමන්ගේ මාධ්‍යයෙහි අලෙවිය පමණක් වන අවස්ථා සාමාන්‍යයෙන් දැකගත හැකි අතර එය කිසිසේත් පාලනය කරන්නට අපහසු බව ද පැහැදිලිව පෙනෙන කාරණයකි.
දරුවන් ගැන මාධ්‍ය කරණය පමණක් නොව දරුවන් සම්බන්ධ කරගෙන කරන මාධ්‍ය භාවිතාව ද සමාජ සංවාදයකට ලක් විය යුතුය. අධ්‍යාපනඥයන් සහ පර්යේෂඛයන් මෙරට ජනමාධ්‍ය තුළ දරුවන්ගේ සම්බන්ධතාවය ගැන පුලූල් කතිකාවතක් ඇති කරන්නට අවශ්‍යය. දරුවන් මල් කැකුළු බව සහ ඔවුන්ගේ ලෝකය ආරක්ෂා කළ යුතු බව එකහෙලා කියන අතරතුර දරුවන් වානිජ ආකාරයට භාවිතාවීම සිදුවන්නේ කෙසේදැයි සූක්ෂම ලෙස නිරීක්ෂණයට ලක් විය යුතුය. අයිතිය ආරක්ෂා කළ යුතු දරුවන් වෙනුවෙන් සම්මත මාධ්‍ය භාවිතාවක් සකස් කිරීම උදෙසා බුද්ධිමත් වැඩිහිටි සමාජය යම් ස්ථාවරයකට පැමිණිය යුතු බව මෙරට මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට පැහැදිලිව පෙනෙන බරපතල කාරණයකි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|