» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/06/2016 - ඉරිදා ලංකාදීප
පුද්ගලික ජීවිතයට එබෙන්නට මාධ්‍යයට ඇති අයිතිය?

ජන මාධ්‍ය සතු තොරතුරු සොයා යාමේ අයිතියට සහාය වන සහ එක පැත්තකින් අභියෝගයට ලක්වන අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ජාත්‍යන්තරය තුළ ආන්දෝලනයක් මතු කර තිබේ. තොරතුරු හෙළිදරව් කර නඩු පැවරෙන සමාජ මාධ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින සහ මට්ටු කරන වශයෙන් කවුරු දෙකක් සංවිධානය වීම මෙහි පදනමයි. පුද්ගලයෙකුගේ අතිශය පුද්ගලික කාරණා හෙලිදරව් කළ හැකිද? එය කළ යුතු සහ නොකළ යුතුය යන වශයෙන් මත දෙකක් මේ අනුව ගොඩනැගී තිබේ. මෙම මත දෙක අතරින් නෛතික තත්ත්වය කුමක් ද හෙළිදරව් වෙන්නට කාලයක් ගත විය හැකිය. නමුත් මෙකී තර්කය සමාජ ගත කරන්නට ලෝකයේ ප‍්‍රධාන ව්‍යාපාරික අංශ දෙකක් ස්වකීය ධනය සහ බලය පාවිච්චි කරන්නට සූදානම්ය. ජනමාධ්‍ය සතු බලය සහ වගකීම සම්බන්ධව අලූත් පැති දෙකක් මෙම අධිකරණ ක‍්‍රියාමාර්ගය ඔස්සේ තහවුරු වෙන්නට ඉඩ තිබේ.

ජන මාධ්‍යයට පුද්ගල නිදහස සම්බන්ධව කොපමණදුරක් දක්වා අත පෙවිය හැකිද? එය කතිකාවක් බවට පත්වන්නේ ගෝකාර් සමාජ මාධ්‍ය Gawker Media සිද්ධයෙන්ය. එම සමාජ වෙබ් අඩවිය පවත්වාගෙනයන්නේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතේ හිටපු මාධ්‍යවේදියෙකු වූ නික් ඩෙන්ටන්ය. මෙම සමාජ වෙබ් අඩවිය ඇමරිකාවේ ජනප‍්‍රිය පුද්ගලයෙකුගේ පුද්ගලික ලිංගික චර්යාවන් අලලා කරන රහසිගත වීඩියෝවක් ප‍්‍රකාශයට පත් කරයි. එයට එරෙහිව අධිකරණයට යයි. පුද්ගලික කාරණාවක් අලලා තොරතුරු පළ කිරිම වැරදි බව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත අධිකරණය තීන්දුවක් ප‍්‍රකාශ කරන්නේ ඒ අනුවය. පුද්ගලයෙකුට සම්බන්ධ අතිශය පුද්ගලික කාරණා අනාවරණය කිරීම වරදක් බව කියන අධිකරණය එයට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 140 ක වන්දියක් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙස නියම කරයි. මෙම තීරණය පැමිණිල්ලේ ජයකි. එය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ පාර්ශවය විශාල ධනයක් වියදම් කර ඇත. නීතිඥ ගාස්තු සහ ඒ වෙනුවෙන් මෙහෙයවීම වශයෙනි. ලෝකයේ වඩාත් සාර්ථකත්වයට පත් තාක්ෂණික නිපැයුම්කරුවෙකු සේ සැලකෙන පේපැල් හි සම නිර්මාතෘ සහ ෆේස්බුක් සමාජ ජාලයේ බාහිර ආයෝජක පීටර් තීල් පැමිණිල්ල පිටුපස අර්ථපතියා වශයෙන් කටයුතු කර තිබේ. එය අනාවරණය වෙන්නේ මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

ගෝකාර් සමාජ මාධ්‍ය අඩවිය තුළින් හෙලිදරව් කරන්නේ හල්ක් හොගන් නම් වෘත්තීය රෙස්ලිං ක‍්‍රීඩකයෙකු සිද්ධියක් සම්බන්ධ කරගෙනය. තම පුද්ගලික ලිංගික චර්යා පොදු මාධ්‍යයක පළකිරීමෙන් සදාචාරාත්මක නොවන මාධ්‍ය භාවිතාවක යෙදුන බවට අධිකරණයට යන හොගන් ට පිටුපස හිඳිමින් මූල්‍යාධාර දී ඔහු දිරිගන්වන්නේ සුප‍්‍රකට ධන කුවේරයෙකු වන පීටර් තීල් ය. එම තීන්දුව ගැනීමට ක‍්‍රියා කිරීම වැදගත් බව ඔහු ප‍්‍රකාශ කරන්නේ නඩු තීන්දුවෙන් පසුවය. හෙතෙම නිව්යෝක් ටයිම්ස් පුවත් පතට ප‍්‍රකාශ කරන්නේ මෙම නඩු තීන්දුව වෙනුවෙන් උදවු කරන්නට ඉඩලැබීම තමන්ගේ විශිෂ්ඨතම පරාර්ථකාමී කි‍්‍රයාමාර්ගයක් බවය. පුද්ගලයන් දෙදෙනෙකු යුක්තිය පතා අධිකරණයට ගියවිය ඒ අතරට තුන්වැනි පාර්ශවයක් පැමිණ මුදල් යෙදවීම කොපමණ බලපෑමක් දැයි මේවන විට ගැඹුරින් සාකච්ඡා වෙමින් තිබේ. බිලියනපතියන් තමන්ගේ ධනය යොදවා නෛතික කටයුතු මෙහෙයවන්නට පටන්ගෙන ඇති බවට චෝදනාවක් ද එල්ල වෙයි.

මේ අතරවාරයේ ගාකර් සමාජ මාධ්‍ය කරන ලද අනාවරණය සාධාරණ බව කියන පිරිසක් ද මතු වෙමින් සිටී. ප්ලොරීඩා අධිකරණය නියම කරන ලද දඩ මුදල සම්බන්ධයෙන් අභියාචනයක් කරන්නට ධනය යොදවන්නට තවත් පාර්ශවයක් ඉදිරිපත්ව තිබේ. ඔවුන්ගේ මතය පුද්ගලික ජීවිතයට පවා එබි බලා ආන්දෝලනාත්මක තොරතුරු පළ කරන්නට මාධ්‍යයට අයිතියක් ඇති බවය. එම මතය ඉදිරිපත් කරන්නේ තවත් සුප‍්‍රකට ධනපතියෙකි. ඊබේ අන්තර්ජාල විකුණුම් සමාගමේ ප‍්‍රධානී පියර් ඔමිඩියාර් අභියාචනයට උදව් කරන්නට කැමැතිය. ඔහු කියන්නේ මාධ්‍ය නිදහස තිබිය යුතු අතර එහි දී මෙවැනි සිදුවීම් සමාජ යහපත තකා අනාවරණය කිරීම කිසිසේත් වරදක් නොවන බවය. එරට අධිකරණ ක‍්‍රමය අනුව අභියාචනය දී පනවන ලද දඩයෙන් කොටසක් අධිකරණයෙහි තැන්පත් කළ යුතුය. ඇමරිකානු ඩොලර් මිලියන 140 ක් තරම් විශාල මුදලකින් කොටසක් ගෙවාගත නොහැකිව සිටින ගෝකාර් සමාජ මාධ්‍ය අඩවිය වෙනුවෙන් ස්වකීය ධනය පාවිච්චි කරන්නට ඔහු කැමැතිය. පියර් ඔමිඩියාර් ගේ සූදානම තොරතුරු අනාවරණය කිරීමේ නිදහස සීමා මායිම් ඉක්මවා ඉඩකඩ දෙන පසුබිමක් ඇති කිරීම බව විචාරකයෝ දක්වති.

මාධ්‍ය මගින් කරන යම් යම් හෙලිදරව් කිරිම් ගැන ලෝකයේ නොයෙක් රටවල නොයෙක් ආකාරයට පැමිණිලි එල්ලවෙයි. මාධ්‍ය පෙනී සිටිය යුතු ජනතාවගේ දැනගැනීමේ අයිතිය උදෙසා හෙළිදරව් කිරීම් වලට අයිතියක් ඇති බව විවිධ සමාජ එකිනෙකට වෙනස් ප‍්‍රතිපත්ති සහිතව හැසිරෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන සාකච්ඡා කරන ජගත් ප‍්‍රජාව ඒ හා සමානවම පුද්ගල නිදහස සහ අයිතීන් ආරක්ෂා කරන මාධ්‍යවේදයක් වෙනුවෙන් ද සාකච්ඡා කරමින් සිටී. පීටර් තීල් මැදිහත්වන්නේ අතිශය පුද්ගලික කාරණා වලට මැදිහත් වෙන්නට ජන මාධ්‍යයට කිසිදු අයිතියක් නැත යන තද අධිශ්ඨානයෙහි පිහිටමින්ය. නමුත් පියර් ඔමිඩියාර් එයට හාත්පසින්ම වෙනස් ප‍්‍රතිපත්තියක සිටී. ගොකාර් සමාජ මාධ්‍යයේ හෙළිකරන ලද ලිංගික හැසිරීමක සිද්ධිය අනාවරණය කිරීමෙන් සමාජයට සිදුවන යහපත හෝ අයහපත ගැන සංවාදය ධන කුවේරයන්ගේ සටනක් බවට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධ මානුෂික හෝ අසාධාරණ පැති ගැන වෙනුවට අද තර්කය ගොඩනැගෙමින් පවතින්නේ ධනය අධිකරණයේ කාර්යය වෙනුවෙන් මැදිහත්වීම ද සම්බන්ධ කරගෙනය.

ෆේස්බුක් සමාජ ජාලයේ ආයෝජකයෙකු වන පීටර් තීල් සහ ඊබේ අන්තර්ජාල විකුණුම් සමාගමේ ප‍්‍රධානී පියර් ඔමිඩියාර් වශයෙන් ධන කුවේරයන් මැදිහත්වීම ගැන ගෝකාර් මාධ්‍යවේදි නික් කියන්නේ සිලිකන්වැලි ධනයෙන් ආඪ්‍ය වූ අසීමිත බලය සහිත ප‍්‍රකෝටිපති පැලැන්තිය මාධ්‍යයට කරන බලපෑම සමග අපහසුතාවයට පත්ව ඇති බවය. විවෘත ලිපියක් මගින් කරුණු දක්වන ඔහුගේ අදහස් කෙසේ වෙතත් මෙම සිද්ධිය මාධ්‍ය භූමිකාව සම්බන්ධව අලූත් මානයක් විදහා දක්වයි. මාධ්‍ය අනාවරණයක සීමාව කොතැනද? එම සීමාව ඉක්මවා යන විට පීඩනයට ලක්වන පිරිසට ගත හැකි ක‍්‍රියා මාර්ගය කුමක්ද? බලය සහ ධනය එම ක‍්‍රියා මාර්ග වෙනුවෙන් එළැඹෙන ප‍්‍රවේශ්‍ය කෙබදු එකක් ද? නූතන ජන මාධ්‍ය භාවිතාවේ මෙම පැති විවෘතව සාකච්ඡා කිරීම අවශ්‍යය.