» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/01/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ අන්තර්ගත ආකෘතිය වෙනස්කිරීම

මාධ්‍ය වාර්තාකරණයේ දී යහපත් පුවත් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කිරීම අවශ්‍ය බව ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ සඳහන් කරති. එතුමෝ මේ බව කියන්නේ අලූත් අවුරුද්දේ පණිවුඩයක් වශයෙන්ය. ජාත්‍යන්තරය තුළ වාර්තා වන ප‍්‍රවෘත්ති දෙස යම් විමසුමක් කරන පාප් වහන්සේ මෙසේ සඳහන් කරන්නේ අවබෝධාත්මක සමාජයේ වැඩි දෙනෙකු අපේක්ෂා කරන පණිවුඩයක් බව නිසැකය. ජාත්‍යන්තරය තුළ ප‍්‍රවෘත්ති සඳහා අති විශාල තරගයක් තිබේ. සම්ප‍්‍රදායික මාධ්‍ය අබිබවා නූතන සමාජ මාධ්‍ය ව්‍යුහය ඉදිරියට පැමිණ ඇත. අවාසනාවකට මෙම මාධ්‍ය බහුලතාවයේ ඉහලම අවස්ථාව ග‍්‍රහණය කරගෙන ඇත්තේ අපරාධ, වේදනාව සහ සන්තාපය වාර්තා කිරීම වෙනුවෙන්ය. පාඨකයන්ට මෙම වෙනස දැනේ. පාප් වහන්සේ ආමන්ත‍්‍රණය කරන්නේ එම දැනෙන අදහස බව පැහැදිලිය.

ආරංචි දැන ගැනීමට නොනිත් ආසාවක් ඇත. කොතැන කොහි දී කුමක් සිදුවෙන්නේ දැයි විමසිලිමත්වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. පුවත් පතක ආකෘතිය ඇති ලියැවිල්ලක් බිහිවෙන්නේ රෝමයෙන්ය. එයින් කරන්නේ රාජ්‍ය සතු නිල නිවේදන ඉදිරිපත් කිරීමය. එයින් පසු කාලයක ආරංචි පතුරවන මාධ්‍ය ඉතිහාසය ආරම්භවන්නේ ලිඛිත සන්නිවේදනයක් වශයෙන්ය. පසුව එය විද්‍යුත් සන්නිවේදනයට නැඹුරුවෙයි. යුරෝපයේ දී නව මාධ්‍ය යන සංකල්පය භාවිතාවට පැමිණි අතර එතෙක් තිබූ මුද්‍රිත මාධ්‍ය පැවැත්ම මේ සමග වෙනස් තලයකට ප‍්‍රවේශ විය. වර්තමානයේ අන්තර් ජාල සෙවුම් යන්ත‍්‍රයකින් වචනයකට අදාල තොරතුරු ගවේශනය කළහොත් ලැබෙන තොරතුරු ප‍්‍රමාණය මිලියන සංඛ්‍යාතය. එකිනෙකට වෙනස් ලිපි, වාර්තා විත‍්‍රපට හෝ වෙබ් හා බ්ලොග් අතුරින් තෝරා ගැනීමට අති විශාල අවස්ථා ප‍්‍රමාණයක් සපයයි. මේ වූ කලී ජනතාව පොදු ජනතාවට එකිනෙකට වෙනස් නොයෙක් මාධ්‍ය පඨිතයන් කරායන්නට හැකි ආකාරයයි. එහි අනෙක් අර්ථකථනය මාධ්‍ය භාවිතාවට පවතින අධි සැපයුම තහවුරු කෙබඳු ද යන්න පෙන්නුම් කරයි. මෙම අධි සැපයුම තුළ පාඨක ග‍්‍රහණය දිනාගැනීම සහ වෙළඳ පොල හිමිකාරීත්වය වෙනුවෙන් පවතින්නේ අති විශාල තරඟයකි. අද වන විට මාධ්‍ය පවතින්නේ එහි එක්තරා අභියෝගාත්මක අවස්ථාවකය. පාප් වහන්සේ ගේ ඉල්ලීම එම ස්වභාවය හමුවේ මාධ්‍ය හැසිරෙන ආකාරය වෙනස් විය යුතු බවයි.

මාධ්‍ය ඉතිහාසයක් තිබේ. එම ඉතිහාසය ගොඩනගන්නේ කර්තෘවරයා සතු තීරක අයිතිය සමගය. කර්තෘවරයාගේ දර්ශනය අනුව මාධ්‍ය අන්තර්ගතය තිරණය වෙයි. විශේෂයෙන් පුවත් පතක සැකැස්ම තීරණය කරන විට කර්තෘ ගේ මතය, ඔහු විශ්වාස කරන අදහස් සහ මතවාද සියුම් ලෙස බලපෑම සාමාන්‍යයයි. දේශපාලන පුවත් පතක පවා එම දේශපාලනය වාමාංශික හෝ දක්ෂිණාංශික වුව ද කර්තෘවරයාගේ අනන්‍යතාවය තිබිණ. පුද්ගලීක මාධ්‍ය භාවිතාව තුළ පවා අයිතිකරු හෝ අයිතිකාර ප‍්‍රාග්ධනය කවර ආකාරයක බලවත් භාවයක් දක්වන නමුත් කර්තෘවරයා කර්තෘ මණ්ඩලය තුළ තමන්ගේ අවධානය ස්වාධීනව පවත්වාගෙන යන්නට සියලූ උත්සාහ දරන ලද බවට ඉතිහාසය සාක්ෂි දරයි. අඩුම තරමින් පාඨකයන්ට සාධාරණට දක්වමින් අනන්‍ය ආකාරයකට හසුරුවන්ට කතුවරයාට හැකිවිය.

නමුත් අද වන විට මාධ්‍ය භාවිතාව පරිවර්තනය වී ඇති ආකාරය අනුව කර්තෘවරයා හෝ අයිතිකාර භූමිකාවට වඩා වෙනස් තලයක් ඉදිරියට පැමිණ තිබේ. එය උත්සාහ කරන්නේ වෙළඳ පොළ ගතිකත්වයයි. මාධ්‍ය හැසිරෙන්නේ වෙළඳ පොලට උවමනා ආකාරයටය. මාධ්‍ය ආයතනයට දැන්වීම් සපයන ආයතන වලට අන්තර්ගතය තීරණය කරන්නට හැකිවී තිබේ. හරය කුමක් නමුත් වැඩිම අසන්නන් ප‍්‍රමාණයක් ඇති නාලිකාව ඉතා අවධානයට ලක්වෙයි. වැඩිම ප‍්‍රමාණයක් නරඹන රූපවාහිනිය හෝ වෙබ් අඩවිය තුළ ඇති අන්තර්ගතය වැදගත් නැත. පාඨක අවධානයට ලක්වීම විනා පාඨකයන් ඥාණනය කිරීම කොපමණ වැදගත් දැයි හිතන තරමට පුවත්පත තුළ ඇති අන්තර්ගතය වෙනස්ව තිබේ. මේ නිසා ගුවන් විදුලිය අසන්නන්ට හරයක් නැති ප‍්‍රලාප කියවයි. ප‍්‍රවෘත්ති ලෙස ඉදිරිපත් කරන්නේ මිනී මැරීම්, අපරාධ, දුෂණ සහ වංචා ගැනය. රූපවාහිනිය එය කරන්නේ රූප රාමු සමග ඉදිරිපත් කරමින්ය. පුවත් පතක පළමු වැනි පිටුවට ඇතුලත් වෙන්නේ සිති සසල කරන සිදුවීම්ය. මෙයින් සමාජයට දෙන අර්ථකථනය කුමක්ද? යන්න අද බෙහෙවින් සාකච්ඡාවට ගැනෙන කාරණයකි.

පුවත් පතක් විකණීමට තියන්නේ ජනතාවගේ ආකර්ශනය ඇතිවන ආකාරයටය. ආකර්ශණය ඇති කරගන්නට කලින් අවධානය පැහැර ගන්නට තැත් කරන්නේ ඇස් ලොකු කරන සිරස් තලයකින්ය. එය ශ‍්‍රී ලංකාවේ පවා වර්තමානයේ බහුලව සිදුවන බව පෙනේ. එවැනි වාර්තාකරණයකින් තොරව අනෙක් පුවත් පත් සමග තරඟ කරන්නට හැකියාවක් නැත. මිනිසුන් බලන්නේ අපරාධ ගැනය. කියවන්නට නැඹුරු වෙන්නේ ශෝක ජනක සිද්ධි ගැනය. සමස්ථ සමාජයම නොවේ. පුවත් පත් මිලදී ගන්නා සමාජයෙන් එක කොටසකි. ගුවන් විදුලිය අහන, රූපවාහිනිය නරඹන සමස්ථයෙන් යම් ප‍්‍රතිශතයක් මෙම සිත් කම්පාකරන සහ අසතුටුදායක තොරතුරු ගැන උනන්දුවක් දක්වන බව මාධ්‍ය ආයතන උපකල්පනය කරයි. එකී උපකල්පනයට පොළඹවන්නේ දැන්වීම් මගින් ලැබෙන අතිවිශාල ධනය බවපෙනේ. මාධ්‍ය පවත්වාගෙන යන්නට දැන්වීම් අනුග‍්‍රහය අවශ්‍ය අතර දැන්වීම් වැඩිපුර ලබාගන්නට නම් වැඩි පාඨක සංඛ්‍යාවක් සිටින බව පෙන්වා දිය යුතු අතර එම පාඨකයන් ගේ රුචි අරුචිකම් හෝ අවබෝධය එපමණ වැදගත් එකක් යැසි සලකන බවක් නොපෙනේ.

පැරණි වටිනාකම් පදනම් කරගෙන අලූත් මාධ්‍ය යුගයකට ඇතුළු වෙන්නේ කෙසේ ද යන්න අද අවධානයට ගත යුතු වැදගත් කාරණයකි. අද යුගයේ කාලය ඉතාමත් වැදගත්ය. ජනතාව ඉක්මනින් කියවන පිරිසකි. ඔවුන්ට කෙටියෙන් කියන්නට අවශ්‍යය. බලන දේ තුළ වේගය සහ නිවැරදි දේ තිබිය යුතුය. අහන පණිවුඩය තුළ තවත් වෙහෙසෙකර දෙයක් වෙනුවෙට සිත තුළ ප‍්‍රබෝධය ඇති කරන්නට අවශ්‍යය. එසේ තිබිය දී දැන්වීම් හෝ ඒ මගින් සපයන මුදල් වෙනුවෙන් මාධ්‍ය අන්තර්ගතය තීරණය කරන්නට ඉඩ දීම තුළින් බුද්ධිමත් පාඨක පරිභෝජනයෙන් ක‍්‍රමයෙන් ඈත්වීම ගැන යම් ප‍්‍රමාණයක අවධානය යොමු කළ යුතුය. එය ඉතා සංකීර්ණ තත්ත්වයකි. කාර්ය බහුල සමාජයට ප‍්‍රවෘත්ති සම්පාදනය පමණක් නොව ඒ වෙනුවෙන් වෙලඳ පොළ අයිතිය ද ආරක්ෂා කරගැනීම මාධ්‍යයක අරගලය වී තිබේ. පාප් වහන්සේ පෙන්වා දෙන්නේ එම අරගලය තුළ පවා සැනසිලිදායක ආකාරයට කි‍්‍රයාකිරීමය. මාධය පරිහරණය කරන අපට පෙනෙන්නේ ද හිංසනය, අපරාධය සහ ගැටුම් මාධ්‍ය වාර්තාකරණයෙහි පළමු අනාවරණ බවට පත්ව ඇති ආකාරයයි. එයින් යම් ප‍්‍රමාණයකට මිදී සතුටුදායක පුවත් පළමු පිටුවෙන් කියවන්නට දෙන ආකෘතියක් සකස් කරන තීන්දුවකට ගමන්කිරීම රාමුවෙන් මිදීමකි. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් දෙන ප‍්‍රවෘත්ති රාමුව තරගකාරීත්වයෙන් ඉවත් කර අලූත් ආකාරයකට සන්නිවේදනය කරන තීන්දුව පහසු එකක් නොවේ. නමුත් එය වැදගත් එකකි. ජනතාව ඉදිරියෙන් තබන මෙහෙවරකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.