» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/05/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රවෘත්ති නිෂ්පාදනය විය යුත්තේ ජන සමාජයෙන්ය

මාධ්‍යවේදීන් පුහුණු කරන වැඩමුලූවල දී නිතර භාවිතා වන කුඩා කතාන්දරයක් තිබේ. එහි කතානායකයා වාර්තාකරුවෙකි. ඔහු නිවාඩුවකට වෙනත් රටකට යයි. එම රටේ හදිසි විපතක් සිදුවන අතර ඔහු සේවය කළ මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියා ඔහුට විදුලි පණිවුඩයක් යවන්නේ ‘‘වහාම තොරතුරු වාර්තා කරන්න’’ යනුවෙන් සඳහන් කරමින්ය. තොරතුරු සන්නිවේදනය අද තරමට දියුණු නැති එකී කාලයේ එම විදුලි පුවත ලැබුණ මාධ්‍යවේදියා වහාම උත්තරයක් තම ප‍්‍රධානියාට යවන්නේ ‘‘මට කරදරයක් නැහැ. තොරතුරු විමසීම ගැන ස්තුතියි’’ යනුවෙනි. නිවාඩුව අවසන් කර නැවත කාර්යාලයට එන වාර්තාකරුට සිය රැකියාව අහිමිය. එකී වාර්තාකරු තමන්ගේ වගකීම හඳුනාගෙන සිටි අයෙකු නොවේ. මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියා අපේක්ෂා කළේ තමන්ගේ නියෝජිතයා එම රටේ සිදුවූ හදිසි තත්ත්වය ගැන උණුසුම් ආරංචි ආයතනයට වාර්තා කරනු ඇති බවය. නමුත් ඔහු ප‍්‍රවෘත්තිය ගැන අවධානයෙන් සිටියේ නැත. එම සිද්ධියෙන් පෙන්වන්නේ මාධ්‍ය වාර්තාකරණය තුළ තිබිය යුතු අවධානයක තරමය. එම සිද්ධිය තමන්ගේම නියෝජිතයෙකුගෙන් කෙලින්ම ගන්නට තිබේ නම් එය කොපමණ වැදගත් එකක් දැයි කර්තෘවරයා අදහස් කරගෙන සිටි ආකාරයය.

දක්ෂ වාර්තාකරුවෙකු තොරතුරු හඹා යා යුතුය. ඔහුට ප‍්‍රවෘත්තිය ලැබෙන්නේ සමාජයෙන්ය. එදිනෙදා ජීවිතයේ දී වැඩි දෙනෙකු ගේ අවධානය දිනාගත හැකි සුවිශේෂී ප‍්‍රවෘත්ති අවබෝධ කරගෙන ඒවා ඉක්මනින්, ඉතාමත් වගකීමක් ඇතිව අනාවරණය කරන්නට හැකි දක්ෂතාවය මාධ්‍යවේදියෙකු සතු විශිෂ්ට කුසලතාවයයි. කිසිවෙකු තොරතුර සම්බන්ධ සවිස්තරාත්මක දේ ප‍්‍රකාශයක් වශයෙන් ලියා අතට දීමෙන් පසු එය සංස්කරණය කර ප‍්‍රවෘත්තියක් වශයෙන් පළ කිරීම සාධාරණ විය හැකිය. නමුත් සියලූම අවස්ථා වලදී නොවේ. තමන්ගේ අතට ලැබෙන සවිස්තරාත්මක කරුණු සම්භාරය අතර පවා අවධානයට ගෙන නොතිබූ අලූත් දෙයක් නිරීක්ෂණය කර ඒ ඔස්සේ තව තවත් කරුණු ගවේශනය කර සිය පාඨකයන්ට ඉදිරිපත් කරන්නට ඇති හැකියාව හමුවේ මාධ්‍යවේදය යනු සියුම් ගවේශනාත්මක එකක් වශයෙන් පෙන්වා දිය හැකිය. සිද්ධියක් දෙස වෙනස් කෝණයකින් බලන විද්‍යාර්තීහු ජනමාධ්‍ය භාවිතාව ඉතාමත් සුවිශේෂී තත්ත්වයකට පත් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතාව දෙස බලන විට එහි පදනම සකස්වන්නේ සමාජ ආකෘතියක් වශයෙන්ය. ජන සමාජයේ සිදුවන සිද්ධි, ඒවායේ සමාජ පසුබිම සහ එයින් අඟවන ද්‍රෘෂ්ටිය විසුරුවා හරියි. ප‍්‍රවෘත්තියක් හෝ විශේෂාංගයක් සකස් කරන්නේ සමාජ අභිවෘද්ධිය පදනම් කරගෙනය. ජනතාවගේ මතය ගොඩනගන ජනතා අදහස් වලට ඉඩ දෙන ව්‍යුහයක් බවට පත්වන්නේ පුවත් පත සහ ගුවන් විදුලියයි. පසුව රූපවාහිනිය එයට එකතු වූ අතර අද වන විට අන්තර් ජාල වෙබ් අඩවි, සමාජ මාධ්‍ය සහ තොරතුරු සේවා සම්පූර්ණයෙන්ම ඉලක්ක කරන්නේ පුද්ගල අදහස් වලටය.

ශ‍්‍රී ලංකාවේ ජන මාධ්‍ය තුළ මාධ්‍ය නිදහස සහ නිදහස් මාධ්‍ය භාවිතාව වැනි අදහස් සාකච්ඡා වෙමින් තිබේ. එයට පදනම මෙරට මාධ්‍ය කලාවට ස්වාධීනව තොරතුරු සන්නිවේදනය කරන්නට කිසියම් බාධාවක් තිබීමය. මෙම බාධාව බලපාන මූලික කාරණය එක්තරා කාලයක් ස්වකීය තොරතුරු උල්පත සඳහා ආණ්ඩුව බහුලව භාවිතා කරන කාරණයයි. ත‍්‍රස්තවාදී ගැටුම් පැවැති වකවානුවේ දී රාජ්‍ය ආරක්ෂාව පදනම් කරගෙන ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර යම් පාලනයකට නතුවෙයි. ආණ්ඩුව ප‍්‍රවෘත්ති පාලනය කරන අතර බෞමික අඛණ්ඩතාවය, ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ විවේචනය කරන ප‍්‍රවෘත්ති පාලනටය කරන රාමුවක් මාධ්‍ය ආයතන වෙනුවෙන් සකස් වෙයි. ප‍්‍රවෘත්ති හෝ විශේෂාංග වශයෙන් ජනතාව අතරට යන්නේ නිල නිවේදනයන්ය. මාධ්‍ය ප‍්‍රකාශකයා ප‍්‍රකාශ කරන දෙය ප‍්‍රශ්න කරන්නට මාධ්‍ය සූදානම් වන්නේ නැත. ආරක්ෂාව හමුවේ රාජ්‍ය සිය බලය තහවුරු කරගන්නා අතර එය එම පසුබිමට අනුව යුක්ති සහගතය. රාජ්‍ය සතු බලය යනු සමාජය භුක්ති විඳින ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසින් එක කොටසකි. ආරක්ෂාව හේතුවෙන් රටට අහිමි වූ මාධ්‍ය නිදහස සාමය තහවුරු වන විට නැවත සමාජය විසින් දිනාගත යුතුය. රාජ්‍යයේ බලපෑම ලිහිල් විය යුතුය. එපමණක් නොව මාධ්‍ය ද තමන් බැඳී සිටි රාමුවෙන් නික්ම අලූත් අවකාශයක් උදෙසා අවතීර්ණවීම කෙරෙහි උනන්දු විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණය එයයි. නිදහස් මතය ගොඩනැගෙන්නේ ඒ සමගය. මාධ්‍ය නිදහස් සහ නිවහල් ජනමතය ගොඩනැගීමේ එක් කොටසකි. මාධ්‍ය නිදහස හිමි ජන සමාජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් එකක් බවට පත්වන්නේ ඒ අනුවය.

යුද කාල පරිච්ඡේදයේ බෙදුන රට සාමාකාමී වාතාවරණය තුළ එකමුතු වෙන විට ජන සමාජය තුළ සමගි සන්ධානයක් හැදේ. එවැනි සාමකාමී වාතාවරණයක් තුළ ජන මාධ්‍යයට ද අලූත් ව්‍යුහයකට ඇතුළු වෙන්නට අවස්ථාව ලැබන බව අමතක කළ යුතු නැත. ප‍්‍රවෘත්තිය ආණ්ඩුවෙන් හෝ බලධාරීන්ගෙන් ලැබෙන මාධ්‍ය කලාව වෙනස් කරන්නට ඉඩ පාදාගත යුතු එහෙයින්ය. තොරතුර දේශපාලනඥයන්ගෙන් කියැවෙන දෙයක් වීම අවශ්‍ය නැත. සිද්ධියක් දෙස අංශක තුන්සියහැටක වටරවුමකින් බලා වගකීමක් ඇතිව වාර්තා කරන්නට ජන මාධ්‍යයට හැකිවිය යුතුය. එහි වගකීම උසුලන මාධ්‍යවේදීන්ගෙන් ජනතාව අපේක්ෂා කරන කාර්ය භාරය එයයි. අද වන විට දේශපාලනඥයන් චෝදනා කරමින් සිටින්නේ ජන මාධ්‍යයටය. මාධ්‍ය සමබර නැති අතර එය පාලනය කරන්නට අවශ්‍ය බව පොදු මතයකි. මාධ්‍ය අන්තවාදී වන අතර එය සාධාරණත්වය ඇති නොකරන බව දක්වයි. පොදු ජනතාව ද මාධ්‍ය දෙස බලන්නේ එය ස්වාධීන නැති ආණ්ඩුවේ හෝ දේශපාලන පක්ෂ වල න්‍යාය පත‍්‍රය අනුව ක‍්‍රියා කරන බව දක්වමින්ය. සාමකාමී යුගයකට ඇතුළු වී ඇති නමුත් අභ්‍යන්තරය දෙස විමර්ෂණය කරන විට පැවැත්ම වෙනුවෙන් ආණ්ඩුවේ දැන්වීම් ලබාගත යුතු එහෙයින් සමබරතාවය දුබල වී තිබේ. රජයට අයත් ආයතන වල දැන්වීම් බෙදා දෙමින් සිටින්නේ ක‍්‍රමවේදයක් නැති සහ තමන්ට අවනත භාවයක් ඇති මාධ්‍ය ආයතන වලට බව මෑත කාලය තුළ සියලූම ආණ්ඩු අනුගමනය කරන ලද ක‍්‍රමවේදයයි. එය එක්තරා ආකාරයකට මාධ්‍ය පාලනය කරන නොපෙනෙන රැහැනක් බවට පත්ව තිබේ.

මෙයට සමාන්තරව වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතාව ඉතාමත් සංකීර්ණ යුගයකට අවතීර්ණ වී සිටී. එක පැත්තකින් තාක්ෂණය බහුලව භාවිතා වෙයි. එහි ප‍්‍රතිඵලය තොරතුර දැනගන්නට සම්ප‍්‍රදායික මාධ්‍ය ජාලා භාවිතා කරන ප‍්‍රමාණය සීමාසහිත වීමය. අනෙක් අතට ආණ්ඩු චෝදනා කරන්නේ ජනමාධ්‍ය වලටය. එසේ තිබිය දී ආණ්ඩුවේ අදහස් වලට අනුව ක‍්‍රියා කරමින් සිටින ජනමාධ්‍ය වලට ජන බලයක් නැත. ජනතාව අතර විශ්වාසය දිනා ගන්නට එකී මාධ්‍ය අසමත්ව තිබේ. ජනතාවගේ මාධ්‍ය බවට පත්වන උවමනාව පසෙක තිබිය දී මාධ්‍ය වල උවමනාව ආණ්ඩුවේ දැන්වීම් උපයා ගැනීමය. තමන්ගෙන් යැපෙන මාධ්‍ය තමන්ට උවමනා පණ්වුඩය නිකුත් කරන්නට සූදානම් නැති අවස්ථාවක මාධ්‍ය පාලනය කළ යුතුය යන මතය ආණ්ඩුවෙන් නිකුත්වීම තේරුම්ගත හැකිය.

මෙම පරාසය අලූත් පුලූල් පරාසයකට විහිදෙන්නට අවශ්‍යය. මාධ්‍ය සංස්කෘතිය ආණ්ඩුවේ ආදායමට එපිට විශාල ආර්ථිකයක් පවතින බව වටහා ගැනීම වැදගත්ය. ආණ්ඩුව කුඩා වෙමින් තිබේ. වර්ධනය වෙන්නේ පුද්ගලික අංශයයි. ආණ්ඩුවේ ව්‍යවසාය අකාර්යක්ෂමය. එහි ඇති කුඩා ධනය බෙදා ගැනීම වෙනුවට සමාජ යථාර්ථය වෙනුවෙන් කි‍්‍රයා කර නිදහස් වෙළඳ පොලක් සහ නිදහස් මාධ්‍යයක් වෙනුවෙන් අලූත් අරමුණක් කරා ගමන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මේ අවස්ථාවේ දී වැදගත්ය. පසුබිම වෙනස් වී තිබේ. මෙයින් දශකයකට කලින් තිබූ සමාජ ආර්ථික පරිසරය වෙනුවට අලූත් යුගය සියලූම අංශ කෙරෙහි නව නැඹුරුවකින් සලකන්නට අවස්ථාවකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.