» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/02/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රවෘත්ති වාර්තාකරණය සහ තොරතුරු බෙදාහැරීමේ වගකීම

තොරතුරු දැනගැනීම අද වන විට සමස්ථ ලෝකය පුරා අවධානයට පත් ආකෘතියකි. තොරතුරු දැනගැනීමට අයිතියක් නීතියෙන් හිමිවන අවකාශයක් දක්වා එය විකාශනය වී තිබේ. තොරතුරු ජන සමාජය තුළ වැදගත් කාරණයක් වෙන්නේ ඇයි? ස්වභාවිකවම ජන සමාජයේ ජීවත්වන ජනී ජනයා තමන් අවට සිදුවන දේ ගැන දැන ගැනීමේ උවමනාවකින් පසුවෙයි. මෙම උවමනාව සාක්ෂාත් කරන්නට අති විශාල තොරතරු සම්භාරයක් මාධ්‍ය ඔස්සේ ජනගත කරන අතර ඒවා අතරින් තමන්ට අවශ්‍ය තොරතුර තෝරා බේරා ගැනීම ඉතාම අපහසු කාර්යයක් බවට පත්ව තිබේ.

පසුගියදා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා විය. පොලිසිය සහ සාමාන්‍ය ජනතාව අතර ඇතිවූ ආරවුලක් කෙළවර වූයේ මරණයකින්ය. විවාහක තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එම මරණයට පොලිසිය වගකිව යුතු බව ආන්දෝලනයක් හටගත්තේය. පුවත් පත් මෙම සිදුවීම වාර්තා කරන ආකාරය එකිනෙකට වෙනස්ය. සිදුවීමේ ඇත්ත දැන ගන්නේ කොහොමද? මාධ්‍ය පරිහරණය කරන පොදු ජනතාව මුහුණ දුන් ගැටලූවකි. එකිනෙකට වෙනස් මානයන්ගෙන් පැති වලින් තොරතුරු සමාජ ගත වූ අතර අන්තර් ජාලය එහි දී ඉදිරියෙන් සිටියේය. එම තරඟය කොපමණ තීව්ර එකක් ද යත් ඇතැම් අන්තර් ජාල වෙබ් අඩවි තමන්ගේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළේ 'මෙන්න ඇත්ත' , නොඑසේ නම් 'කිසිවෙකු නොදුටු පින්තූර මෙන්න' යනා දී වශයෙන් ආකර්ශණීය උපශීර්ෂ සහිතවය.

මාධ්‍ය බලපෑම කොපමණ බලවත් එකක්ද? පළමු වරට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කරන්නට අවසර දෙන අවස්ථාවේදී එනම් 1787 දී ශ‍්‍රීමත් එඞ්මන්ඞ් බර්ත් පළමු වරට පුවත් පත යනු හතරවැනි රාජ්‍ය බව කියා සිටියේය. ඔහුට අනුව සාමි මණ්ඩලය නියෝජනය කළ බිෂෝප්වරු, සාමි මණ්ඩලය නියෝජනය කරන ලද ගිහි නියෝජිතයන් සහ පාර්ලිමේන්තුවට පත්ව සිටි මහජන නියෝජිතයන්ට පසු රාජ්‍යයේ වැදගත්ම තැනක් හිමි වූයේ මාධ්‍යයටය. වගකීම්සහගත වාර්තාකරණය සහ පටු ආකල්ප වලින් තොරව ක‍්‍රියා කිරීම එහි සිද්ධාන්තයවශයෙන් අපේක්ෂා කළේය. සම්ප‍්‍රදාය ආරක්ෂා කර සමාජයට අසාධාරණයක් නොවෙන්නට මාධ්‍ය ක‍්‍රියාකරනු ඇතැයි අපේක්ෂාවක් තිබිණ, අදටත් එය එසේමය.

ඇඹිලිපිටිය සිද්ධිය පමණක් නොව ඕනෑම ප‍්‍රවෘත්තියක, සිද්ධියක නිවැරදි කෝණය කුමක්ද? වාර්තාකරණයේ දී අනුගමනය කරන ආකාරය සැබෑ ආකාරය කුමක්ද? එයින් ජනතාව දැන ගැනීමට අපේක්ෂා කරන සම්පූර්ණ සිද්ධිය අනාවරණය කර ගත හැකිද? වර්තමානයේ මාධ්‍ය භාවිතාව සම්බන්ධව විචාරශීලීව සලකන විට මෙම පැති ගැන විමසා බලන්නට අවශ්‍යය, ශී‍්‍ර ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද අද ගැඹුරු අවධානයට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව ඇත්තේ මෙයයි. එනම් වාර්තාව ඉදිරිපත් කරන්නේ කාගේ ද්‍රෘෂ්ටි කෝණයෙන් ද යන්නය.

පුවත් පතක, ගුවන් විදුලියක, රූපවාහිනියක හෝ නූතන දියුණු සමාජ මාධ්‍ය ජාලයක පවා සිදුවීම දකින්නේ එකිනෙකට වෙනස් ආකාරයකටය. සිදුවීමක් පළමුවෙන් දකින්නේ වාර්තා කරුවෙකි. ඔහු සියලූම කාරණා තමන්ගේ වාර්තාවට ඉදිරිපත් කරයි. එය ඉක්මනින් පවතින සම්පත් උපයෝගී කරගෙන මාධ්‍ය ආයතනයට යොමු කරන කාරණයකි. විශේෂයෙන් ජාතික මාද්‍ය ආයතන තමන්ට ලැබෙන ප‍්‍රවෘත්ති ජාතික කාලීන වැදගත්කම අනුව තෝරා බේරා වර්ග කර ගනී. මෙම වර්ග කිරීමේ දී සමාජයට බලපාන සමාජයට දැනෙන තොරතුරු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

ප‍්‍රවෘත්තිය ලබා ගන්නා මාධ්‍ය ආයතනයේ කළමණාකරු එය මතු පිටින් සලකා බලා පුවත් පතේ හෝ මාධ්‍යයේ භාවිතා කළ යුතු එකක් දැයි මූලික විමසීමක් කරයි. එම විමසිම තුළ එහි ඇති විදගත්කම, එයින් ඇති කරන ආන්දෝලනය පමණක් නොව පළ කිරීමෙන් ඉනික්බිතිව ඇතිවිය හැකි සමාජයීය මුහුණුවර ගැන ද අවබෝධයක් ඇති කරගනී. ඉතාම බැරූරුම් හදිසි තත්ත්වයක් මෙම ප‍්‍රවෘත්තියෙන් ඇතිකරනු ඇති බව තේරුම්ගත හොත් මෙමකළමණාකරු කරන්නේ ප‍්‍රධාන කර්තාවරයා සමග සාකච්ඡුා කර වැඩිදුර උපදෙස් ගැනීමය. මාධ්‍ය ආයතන වල අභ්‍යන්තරය අනුව එකී ප‍්‍රවෘත්තියේ විශේෂත්වය අනුව අධ්‍යක්ෂක මණ්ඩලයේ හෝ නීති උපදෙස් ගන්නා අවස්ථා ද, තිබේ. ප‍්‍රවෘත්තිය සකස් කරන ලෙස තමන්ගේ කාර්ය මණ්ඩලයේ උප කර්තෘවරුන්ට භාරදෙන මාධ්‍ය කළමණාකරු කරන්නේ එකී පුවතේ එකිනෙකට වෙනස් පැති වලින් තොරතුරු තහවුරු කර ගැනීමට තව තවත් උත්සාහ කිරිමයි. වඩා හොඳ කාරණා සහ එහි අලූත්ම තත්ත්වය විටින් විට දැනගත හැකි නම් එහි ස්වභාවය අනුව ඉතාම අලූත් දේ අවසාන ප‍්‍රවෘත්තියට ඇතුලත් කරන්නට හැකියාව ලැබෙනු ඇත.

සමාජය අපේක්ෂා කරන තොරතුර සන්නිවේදනය කරන්නට නම් සිදුවිය යුතු මූලික දේ එයයි. නමුත් අද පවතින සන්නිවේදන ආකෘතිය අනුව මෙම ව්‍යුහය මෙයට වඩා සංකීර්ණ එකකි. සිද්ධිය දකින වාර්තාකරු එය ගොනු කරන්නේ ඔහුගේ විඥාණයට අනුවය. එනම් ඔහුට දැනෙන සහ හැගෙන ආකාරය අනුවය. වාර්තාකරණයේ දී සිදුවීම වාර්තා කරන්නේ ඔහුගේ ද්‍රෘෂ්ටි කෝණයෙන්ය. එයට තොරතුරු එකතු කිරීමේ දී ඔහු පක්ෂග‍්‍රාහී වෙයි. ප‍්‍රවෘත්තිය පාඨකයා අතට පත් කරන්නට නියමිත කාලයක් තිබුණ යුගයට වඩා අද තත්ත්වය වෙනස්ය. තොරතුරු සන්නිවේදනය සඳහා ඇත්තේ තරඟයකි. අන් තරගකාරී මාධ්‍යවලට කලින් තමන්ගේ පාඨකයන්ට විත්තිය දැනුම් දෙන්නට ඇති හදිස්සිය ඉතාම ප‍්‍රබල එකක් බවට පත්ව තිබේ. මේ නිසා සිද්ධිය අංශක තුන්සිය හැටෙන්ම සොයා බලා විමසන්නට කලින් තොරතුර ගොනුකරයි. එය ලැබෙන මාධ්‍ය ආයතනය ඉතා කුඩා ඉඩකඩක් ප‍්‍රයෝජනයට ගෙන එය පාඨක, ශ‍්‍රාවක සහ නරඹන එකිනෙකට වෙනස් ආකාරයට ඉදිරිපත් කළ යුතුය. එහි දී තොරතුර සංස්කරණය කරන්නට සිදුවෙයි. විශාල පරාසයක් සාකච්ඡා කළ යුතු කාරණයක් ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ තත්ත්පර ගණනකට සීමා කරනු ඇත. පුවත් පතන නම් සීමිත ඉඩ කඩකි. අවකාශය අනුව තොරතුර සීමා කරන්නට සිදුවෙයි. එම සංස්කරණය කරන ශිල්පියා අනුව ප‍්‍රවෘත්තියේ කොටස් අත් හරින්නට සිදුවෙයි. මෙම ඉවත් කිරිම සිදුවන්නේ කොතැනින්ද? එය තිරණය කරන්නට සාකච්ඡාවක්, අදහස් හුවමාරුවක් කරන්නට කාලය ඉඩ දෙන්නේ නැත. තරගකාරී මාධ්‍ය ස්වභාවය තුළ ඉක්මනින් තීරණ ගන්නට සිදුවෙයි. ඔහු ගේ සංස්කරණය අනුව සන්නිවේදනය කළ යුතු කාරණය තීරණය වෙයි. එය අතට ලැබෙන කර්තෘ වරයාගේ අදහස් කුමක් විය හැකිද? ප‍්‍රවෘත්තිය පළ කරන්නට කලින් ප‍්‍රාග්ධනය පැත්තෙන් සිතන්නට සිදුවෙයි. මාධ්‍ය අර්ථපතියන් ආයතන පවත්වාගෙන යන්නේ සමාජ, දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු ඇතිවය. හුදෙක් අතට ලැබෙන ප‍්‍රවෘත්තිය එකවරම සමාජගත කිරීමෙන් මාධ්‍ය ආයතනයේ ව්‍යාපාරික අරමුණට බලපෑමක් වියහැකිය. එයින් ඇති කරන දේශපාලන පීඩනය කිසියම් අපහසුතා ඇති කරන්නට ඉඩ තිබේ. සමාජ සංස්කෘතික ස්න්‍භාවයට ඇතිකරන බලපෑම ඉතා නරක එකක් වෙන්නට ඉඩ ඇත. මෙම කිසිම පසුබිමක් ගැන විනිශ්චයකට ගමන් නොකරන සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවි වලට වඩා ආයතනික මාධ්‍ය වලට වගකීමක්. බැඳීමක් ඇත.

කිසියම් ප‍්‍රවෘත්තියක අහිතකර ප‍්‍රතිඵලය අනුව දැන්වීම් ලැබෙන ආදායම් මාර්ග අවහිර වෙන්නට ඉඩ තිබේ. රාජ්‍ය පාලනයෙන් පවතින දැන්වීම් කරුවන් පමණක් නොව පුද්ගලික අංශයේ දැන්වීම්වල ද සහාය රහිතව මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නට හැකියාවක් නැත. පුවත් පතක් කුඩා මුදලකට ලැබෙන්නේත් රූපවාහිනිය සහ ගුවන් විදුලිය වැනි අතිශය වියදම් සහිත මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ද දැන්වීම් අනුග‍්‍රහයෙන්ය. ප‍්‍රවෘත්තියක් නොඑසේනම් ඉතා වැදගත් කාරණයක් සන්නිවේදනය කරන්නට කරනු ලබන බලපෑම ලෝකයේ කොතැනත් එක ආකාරයක් ගෙන තිබේ. නිදහස් මාධ්‍ය තුළ ඇති වාරණ අතරින් කිහිපයකි. මෙම පැති වලින් මාධ්‍ය වල පැවැත්මට එහි පෝෂණයට ලැබෙන පිටිවහල කුමක්ද? මෙම පැති අත්හැරිමෙන් මාධ්‍යයට පැවැතිය හැකිද? තොරතුර සපයන්නා පමණක් නොව තොරතුරු කියවන්නා ද මෙම පැති අවබෝධ කරගැනීම වැදගත්ය. නූතන මාධ්‍ය ව්‍යුහය තේරුම් ගත හැක්කේ ඒ අනුවය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.