» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/03/2016 - ඉරිදා ලංකාදීප
ක‍්‍රීඩා වාර්තාකරණය අවධානයට වැදගත් වෙන්නේ ඇයි?

බි‍්‍රතාන්‍ය කොන්සවර්ටිව් පක්ෂයේ අගමැති වශයෙන් 1990 සිට 1997 දක්වා කටයුතු කරන්නේ ජෝන් මේජර් මහතාය. ඔහු අගමැති කාලයේ පමණක් නොව කුඩා වියේ දී ද ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලියෙකි. අගමැති ධුරයෙන් විශ‍්‍රාම යන විට හෙතෙම තෝරාගත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර විචාරයයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් කරන ලද සේවය අවසන්කර, ක‍්‍රිඩා විචාරකයෙකු වශයෙන් සමාජයට තවත් වඩා යමක් කරන්නට හිටපු අගමැතිවරයා කැමැති වූයේ එහි ඇති සුවිශේෂී බව හෙයින්ය. ක‍්‍රීඩා වාර්තාකරණය ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ දී ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. ක‍්‍රීඩා මාධ්‍යවේදය පරිවර්තනයකට ලක්ව තිබේ. තමන් වාර්තා කරන කී‍්‍රඩාව දෙස තාක්ෂණික ආකාරයකට බලන්නට මාධ්‍යවේදීහු සූදානම්ය. එහි විද්‍යාත්මක පැති ගවේශණය කිරීම තෙක් වර්තමානයේ ක‍්‍රීඩා මාධ්‍යවේදය පැතිරී තිබේ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිඩා ක්ෂේත‍්‍රය තුළ බලපවත්වන්නේ එහි කවර ආකාරයේ නැඹුරුවක් ද යන්න විමසා බැලිය යුතුය.

පුවත් පතක් අතට ගත් විට පළමුවෙන් ක‍්‍රීඩා පිටුව පැත්තෙන් කියවන්නට හුරු වූ පාඨක පිරිසක් සිටිති. ඔවුන් නරඹන්නේ ක‍්‍රීඩා වැඩසටහන්ය. ගුවන් විදුලියක නම් අහන්නේ කී‍්‍රඩා තොරතුරුය. එය පොදු ජනතාව අතරින් එක්තරා කොටසකගේ රුචිකත්වයයි. මාධ්‍ය වාර්තා කරන එකිනෙකට වෙනස් තොරතුරු සම්භාරය අතරින් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සිදුවන දේ දැනගැනීමට ජනතාව අතරින් යම් කොටසක් වඩා කැමැතිය. මෙම ස්වභාවය හෙයින් මාධ්‍යයේ ක‍්‍රීඩා වාර්තාකරණය සුවිශේෂී එකකි. එකී වාර්තාකරණය ජනතාව තුළ ඇති කරන තොරතුරු ඉදිරිපත් කිරීම විශාල වෙළඳ පොලක් වශයෙන් වශයෙන් වර්ධනය වී තිබේ. එම අවකාශය වෙනුවෙන් වෘත්තීය ක‍්‍රිඩා මාධ්‍යකරණ පෝෂණය වී ඇත.

කී‍්‍රඩා පිටියේ සිදුවන දේ වාර්තා කරන්නේ වාර්තාකරුවන්ය. ඔවුන් මාධ්‍ය ආයතනයට එකතුකරගෙන එන කාරණා වලින් පාඨකයා අතට පත්වන්නේ සංස්කරණය කරන ලද තොරතුරුය. පාඨකයා අත් විඳින්නේ මාධ්‍ය මගින් වාර්තාකරණය කරන හෝ එය සංස්කරණය කරන ශිල්පියාගේ ද්‍රෘෂ්ටිකෝණයෙන්ය. ක‍්‍රීඩා ඉසව්ව පැවැත්වෙන තැනට ගොස් තරගය නරඹන්නට හැකියාවක් නැතිනම් තමන්ට ලැබෙන තොරතුරු වලින් තෘප්තිමත් වෙන්නට පාඨකයාට සිදුවෙයි. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම වැදගත් වෙන්නේ එහෙයින්ය. පාඨකයා බලාගෙන ඉන්නට හෝ අහන්නට කැමැති, ඔවුන් කියවන්නට බලාගෙන ඉන්නා තොරතුරු කවරේ ද යන්න ක‍්‍රීඩා වාර්තාකරණයේ දී වැදගත් ආකාරයට සලකා බලන්නට අවශ්‍යය.

ජාත්‍යන්තර මාධ්‍ය ව්‍යුහය තුළ කී‍්‍රඩා වාර්තාකරණය හුදෙක් ජයග‍්‍රාහකයා පෙන්වන සහ ජයග‍්‍රාහකයා ගැන තොරතුරු අනාවරණය කරන එකක සම්ප‍්‍රදායෙන් වෙනස් වී තිබේ. එහි තාක්ෂණික තොරතුරු අඩංගු වෙයි. තරඟයක කලාපීය, මහාද්වීපීය පමණක් නොව ජාත්‍යන්තර මට්ටමක දක්ෂතා අනාවරණය කරන සහ සංසන්දනය කරන ආකාරය දක්වා දත්ත විශ්ලේෂණය කරන එකක් බවට පත්වෙයි. මෙම තොරතුරු විශ්ලේශණය කර ඉදිරිපත් කරන්නේ හුදෙක් සැසඳීමක් වශයෙන් පමණක් නොවේ. විචාරයක් වශයෙනි. ක‍්‍රීඩාව තුළ ජවය සහ තරගකාරීත්වය කොපමණ ඉදිරියට පැමිණ ඇති ද, යන්න සම්බන්ධ විවරණයක් වශයෙනි. එවැනි තාක්ෂණික තොරතුරු සම්බන්ධය අවබෝධයක් ඇති, වාර්තාකරණයෙහි නිරත මාධ්‍යවේදීන් තුළින් කී‍්‍රඩා වාර්තාකරණය නව මගක් ගෙන තිබේ. එම තොරතුරු තුළින් පාඨක දැනුම සහ අවබෝධය පුලූල්වන අතර ක‍්‍රිඩා ක්ෂේත‍්‍රයේ පුනර්ජීවනයට එයින් ලැබෙන පිටිවහල වැදගත්ය. මාධ්‍යවේදීන් හුදෙක් සිද්ධියක් වාර්තා කරන පමණක් නොව එහි ඇතුලාන්තය ගවේශනය කර තොරතුරු ඉදිරිපත් කරන ස්වභාවයට නැඹුරුවීම ඉතාම වැදගත්ය.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිඩා මාධ්‍යවේදය තුළ සුවිශේෂී බවක් නිරීක්ෂණය කළ හැකිද? විශේෂයෙන් සිංහල පුවත් පත් වැඩි කොටසක් කරන්නේ දකින තොරතුරු ඉදිරිපත් කිරීමය. පින්තූරය සහ විස්තරය කලින් දවසේ ක‍්‍රිඩා පිටියේ සිදුවූ දේ වාර්තා කිරීමකි. තරගයක ප‍්‍රතිඵලය ඒ ආකාරයටම දකින ස්වභාවයට වඩා වෙනස් දෙයක් මාධ්‍ය, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යයෙන් අපේක්ෂා කළ යුතුය. ඉංග‍්‍රීසි පුවත්පත් වල වැඩි නැඹුරුව ජාත්‍යන්තර තොරතුරු වලටය. දෙමල පුවත් පත් වල ක‍්‍රීඩා පිටු මෙම පැති දෙකම මිශ‍්‍ර බව නිරීක්ෂණය කළ හැකිය. ක‍්‍රීඩකයන්ගේ විස්තර ඔවුන්ගේ පසුබිම සම්බන්ධව විනා ක‍්‍රීඩාවේ තාක්ෂණික තොරතුරු වර්තමාන මාධ්‍ය භාවිතාව වැඩි අවධානයට ගන්නේ නැත.

එයින් උපකාරයක් වන්නේ ක‍්‍රීඩකයින්ගේ සමාජ තත්ත්වයට වන අතර ක‍්‍රීඩා ඉසව්ව සමබන්ධ විචාරශීලී බවක් මගින් රටට වැදගත්වන තොරතුරු අනාවරණයෙන් වැලකෙයි. පුවත්පතක හෝ නාලිකාවක ඉඩ කඩ කාලය ප‍්‍රමාණවත් නොවීම එහිලා බලපාන බවට තර්කයක් ඉදිරිපත් වියහැකිය. ක‍්‍රීඩාව වෙනුවෙන් සඟරා පළ කරන්නේ නැත. ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ක‍්‍රීඩාව වෙනුවෙන් වෙන් කර ආරම්භ කරන ලද නමුත් සාර්ථක වන්නේ නැත. කුඩා වෙළඳ පොළ එයට බාධාවක් වූවා වියහැකිය. නමුත් මාධ්‍ය අරමුණ හුදෙක් වාර්තාකරණයෙන් ඔබ්බට පැමිණ ඇති පසුබිම තුළ ක‍්‍රීඩා මාධ්‍යවේදය පැතිර යා යුතු පැති ගැන පුලූල් අවධානයක් යොමු කිරීම වැදගත්ය. රූපවාහිනී නාලිකා අතර එය හුදෙක් ඉසව්වක ප‍්‍රතිඵල පෙන්වීමක් පමණකි. ගුවන් විදුලිය තුළ පවා තර්කානුකූලව මත ගොඩනැගීම දුබලය. සාකච්ඡා වැඩ සටහන් වල පවා කේන්ද්‍රීය ප‍්‍රශ්නයට වඩා සාකච්ඡා කරන්නේ දේශපාලනික කාරණා බව නිරීක්ෂණය කළ හැකිය. එයින් පොදුවේ වැදගත්කමක් තිබේදැයි ප‍්‍රශ්න කළ යුතුය. පවතින ආර්ථික සහ සමාජ රාමුව තුළ ඉසව් සම්බන්ධ ගැඹුරු විශ්ලේෂණයකට නොයන බව පෙනේ. එවැනි පසුබිමක් තුළ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඇතිකිරීම වැදගත්ය.

ජාත්‍යන්තර ක‍්‍රීඩා වාර්තාකරණය තුළ සුවිශේෂී චරිත ජීවත්වෙයි. ඔවුන්ගේ වාර්තාකරණයේ ප‍්‍රබලත්වයට බලපාන්නේ ක‍්‍රීඩාවේ යහපත වෙනුවෙන් සෘජුව පෙනී සිටීම හෙයින් බව සඳහන් කිරීම අවශ්‍යය. ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ලැබ පුහුණුකරුවන්, විචාරකයන් වශයෙන් පෙනී සිටින කණ්ඩායම කී‍්‍රඩාවේ තාක්ෂණික අවබෝධය ඇති පිරිසකි. ඔවුන් දරන මතය සහ මාධ්‍ය මගින් නිදහස් කරන අදහස් ඉතාමත් වැදගත්ය. එය ක‍්‍රීඩාවේ නූතන අභිවෘද්ධියට හේතු වෙයි. සාමාන්‍යයෙන් ලෝකයේ ප‍්‍රබල චරිත එසේත් නැත්නම් මුහුකුරා ගිය පුද්ගලයන් මුණ ගැසුන විට මුලින් කතා කරන්නේ ක‍්‍රීඩාව ගැනය. ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා සම්බන්ධයෙන්ය. ශ‍්‍රී ලංකාවේ කතා කරන්නේ ක‍්‍රීඩාවේ ඇති දේශපාලනය ගැනය. දේශපාලනයෙන් පමණක් නොව වෙනත් කාරණා හෙයින් දුෂිත වී ඇති අපිරිසිදු පැති ගැනය. මෙම ස්වභාවය ඇති කරන්නට මාධ්‍ය යම් ප‍්‍රමාණයක බලපෑමක් කරනලද බව පිළිගත යුතුය.

තොරතුරු තාක්ෂණය සමග මාධ්‍ය වාර්තාකරණයේ අලූත් පැති නිර්මාණය වී තිබේ. හුදෙක් සම්ප‍්‍රදායික මාධ්‍ය ක්ෂේත‍්‍රයට වඩා පියවරක් ඉදිරියට පැමිණෙන්නට අන්තර් ජාලයට හැකියාව ලැබී ඇත. ක‍්‍රීඩා තොරතුරු, දත්ත සහ විශ්ලේෂණ ඇතුලත් වෙබ් අඩවි තිබේ. මෙම වෙබ් තොරතුරු මගින් වර්තමානයේ ක්ෂේත‍්‍රය නැඹුරුවන ආකාරය අවබෝධ කරගත හැකිය. ක‍්‍රීඩකයින්, පුහුණුකරුවන් හෝ තාක්ෂණික නිලධාරීන්ගේ පුද්ගලික සමාජ වෙබ් අඩවි තවත් සුවිශේෂී පැත්තකි. තරඟයක් අවසන් වූ වහා තමන්ගේ පැත්ත අනාවරණය කරන්නට මෙම සමාජ වෙබ් අඩවි නැඹුරු වී තිබේ. ඒවා දක්වන කරන කරුණු සෘජු කථන වන හෙයින් සුවිශේෂී බව සඳහන් කිරීම අවශ්‍යය.

කී‍්‍රඩා වාර්තාකරණය තුළ ජවය අවශ්‍යය. එය තාක්ෂණික අතින් කරුණු අන්තර්ගත කළ යතුව තිබේ. විවේචනය වෙනුවට විචාරාත්මක කාර්ය භාරයක් ඉටු කරන්නට අවශ්‍යය. අපේක්ෂා කළ යුතු පුලූල් කාර්ය භාරයක් තිබේ. මාධ්‍ය තුළ වර්තමානයේ පාඨක අවධානය ගන්නා ක‍්‍රීඩා වාර්තාකරණය මෙම වගකීම ඉටු කරන්නේ දැයි ස්වයං විවේචනයක් අවශ්‍යය. එතුළින් ව්‍යුහය තුළ යම් වෙනසක් සිදු වෙන්නේ නම් එය ක‍්‍රීඩාවේ අභිවෘද්ධියට බලපානු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.