ජන සමාජය පරිවර්තනය වන විට විවිධ යුග පසුකර තිබේ. කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා වශයෙන් මෙම යුග වෙන්කර ගත හැකිය. වැඩි බලයක් හිමිවූයේ ශ‍්‍රමයටය. ශක්තිය ඇති සේවකයන්ට ලැබුණේ ඉහල අවස්ථාවකි. දැන් උදා වී ඇත්තේ තොරතුරු තාක්ෂණ යුගයයි. තොරතුරු තාක්ෂණ යුගය දැනුම පදනම් කරගත් සමාජයකි. මෙම සමාජ යුගයේ මානව සම්පත හා බුද්ධිය ඉතාමත් වැදගත් සාධකයකි. තොරතුරු යන සාධකයට වැඩිම බලයක් ලැබී තිබේ. ජාත්‍යන්තරය තුළ තොරතුරු ප‍්‍රබල සමාජ ආර්ථික අවකාශයක් දිනාගෙන තිබේ. ශ‍්‍රි ලංකාව ඇතුලූ වෙමින් සිටින්නේ එම යුගයටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දියුණු තත්ත්වයක් වශයෙන් ද එය සැලකිය හැකිය.
තොරතුරු අනාවරණය සහ ඒවා සම්බන්ධ පුලූල් ප‍්‍රචාරය සිදුවන්නේ මාධ්‍ය උපයෝගී කරගනිමින්ය. තොරතුරු අනාවරණය පමණක් නොව මාධ්‍ය භාවිතාව ද ඉතාම සංකීර්ණ ප‍්‍රබල තැනකට පැමිණ තිබේ. මාධ්‍ය සේවනය කරන පාඨකයා තොරතුරු දැනගන්නේ ඒවායෙන් කියැවෙන දේ වලින්ය. අති විශාල මාධ්‍ය ජාලා ප‍්‍රමාණයකින් නිතිපතා නිකුත් කරන ප‍්‍රවෘත්ති, විශේෂාංග, වැඩසටහන් සහ ඡායාරූප යනාදිය එකතු කර දක්වන්නට හැකියාවක් නැත. මාධ්‍ය පරිහරණය කරන පොදු ජනතාව මේවායේ කියැවෙන් දේ සහ එයින් ඇති කරන්නට උත්සාහ කරන මත සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කරගනිති. මාධ්‍ය ආයතනයක ගෞරවය යනු ජනතාවගේ විශ්වාසයයි. කොපමණ තරඟකාරීත්වයක් තුළ ක‍්‍රියා කරන නමුත් ජනතාවගේ විශ්වාසය මාධ්‍ය ආයතනයකට වැදගත්ය.
මාධ්‍ය භාවිතාව ඉදිරියේ පාඨක විශ්වාසය කොපමණ වැදගත් ද යන්න මෑතක දී ‘‘ද ගාඩියන්’’ පුවත්පත සිය වාර්තාකරණය සම්බන්ධව අනුගමනය කරන ලද පසු විපරම මැනැවින් අනාවරණය කරයි. ද ගාඩියන් බි‍්‍රතාන්‍යයේ දිනපතා පළවන පුවත් පතකි. එය ලක්ෂ ගණනින් අලෙවි වන අතර අන්තර් ජාල මුද්‍රණය ලොවපුරා කියවන පුවත් පත් අතර පස්වැනි තැනට වැඩිම කියැවීමක් ඇති පුවත් පත සේ සැලකේ.
ද ගාඩියන් පුවත් පත ඉකුත් මැයි 26 වැනිදා විශේෂ තොරතුරක් පළ කරන්නේය. එහි සඳහන් කරන්නේ විශ්වාසය කඩකරන ලද වාර්තාකරුවෙකු ගැන ඔවුන්ගේ පාඨකයන්ට ලියන සටහනක් වශයෙන්ය. එම සටහනට අනුව ජෝෂප් මේටුන් නමැති ද ගාඩියන් පුවත් පතේ බාහිර ලියුම්කරුවෙකු ලියන ලද ලිපි සම්බන්ධයෙන් පුවත් පත සමාව ඉල්ලා සිටියි. එයට හේතුව ඔහු වාර්තා කරන සිද්ධි වලට පාදක වූ කරුණු, සම්මුඛ සාකච්ඡා යනාදිය තහවුරු කළ නොහැකි සහ පදනම් විරහිත බව අනාවරණය වීමය. ද ගාඩියන් පුවත් පත ජෝෂප් නමැති මෙම බාහිර ලේඛකයා ලියන ලද කාරණා ගැන සමාව ඉල්ලනවා පමණක් නොව ඒවා එම පුවත් පතේ වෙබ් ලේඛන වලින් ද ඉවත් කරන්නට තීරණය කරයි. මෙම කාරණය සලකා බැලිය යුතු හුදෙක් තොරතුරු පළ කිරීම පමණක් නොව ප‍්‍රසිද්ධ කරන ලද තොරතුරු සම්බන්ධයෙන් අඛණ්ඩව පෙනී සිටින්නට ඇති වගකීමයි. පුවත් පතේ පළ කිරීමෙන්ප පසු ඒවා පරණ ප‍්‍රවෘත්ති හෝ ලේඛන යනුවෙන් සඳහන් කර ආපසු හැරෙන්නට හොඳටම ඉඩ තිබිණ. නමුත් ද ගාඩියන් පුවත් පත එසේ කළේ නැත.
මෙම ජෝෂප් නමැති බාහිර ලේඛකයා ද ගාඩියන් පුවත්පතට සම්බන්ධ වන්නේ කර්තෘට ලියුම් තීරයට ලියන බාහිර පුද්ගලයෙකු වශයෙන්ය. 2009 අවුරුද්දේ ඊජිප්තුවේ කයිරෝ නගරයේ සිට බව සඳහන්ය. දිගින් දිගටම ඔහු ලියන ආකාරය අවධානයට ගත් කර්තෘ මණ්ඩලය ඔහු ලියන ඒවා පළ කරයි. පසුව ඔහු එනම් 2015 දී පමණ කැලිෆෝනියාවේ සිට ද ලියා ඇත. මත් ද්‍රව්‍ය සංවිධාන, නාගරික වයින් මධ්‍යස්ථාන සහ තල්මසුන්ගේ මිය යාම ගැන ඇතුළු විශාල ලිපි මේ අතර වෙයි. ලිපි පළ කිරීමෙන් පසු ද ගාඩියන් කර්තෘ මණ්ඩලය මෙම තොරතුරු වලට අදාල හඞ පටි, දුරකථන අංක හෝ පසුබිම් වාර්තා ඉල්ලා ඇත. නමුත් දිගින් දිගටම ඒවා ප‍්‍රමාද කර තිබේ. ඒවා නොදෙන විට එය අත් හැර දමන්නට ඔවුන් සූදානම් වී නැත. ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නේය. එහි දී මෙම බාහිර ලේඛක ජෝෂප් කරන ලද සම්මුඛ සාකච්ඡා බව කියන සිද්ධි පනහක් පමණ ගවේශනයට ලක් කර ඇති අතර එයින් ප‍්‍රධාන සිද්ධි දෙකකට ඔහු සහභාගී වී නැති බව අනාවරණය වී තිබේ. තවත් දුසිම් ගණනක දී පසුබිම් වාර්තා නොඑසේනම් සිද්ධි මූලාශ‍්‍ර කිසිසේත් සොයාගන්නට නැත. අඩුම තරමින් අන්තර් ජාලයෙන් හෝ සම්බන්ධ කරගෙන කරුණු සාකච්ඡා කර නැත. තවත් විශාල පිරිසක් කියා ඇත්තේ කිසිම දිනයක ඔහු තමන්ගෙන් තොරතුරු විමසා නැති අතර තොරතුරු දුන් බවට පළ වන්නේ නම් ඒවා වැරදි බවය. ද ගාඩියන් සංස්කාරකවරු ලිපි සම්බන්ධ පසුබිම් තොරතුරු ඉල්ලන විට ඒවා මග හරින්නේ ඒ හෙයින්ය. මෙම සිදුවීම ද ගාඩියන් පුවත් පතේ ගෞරවයට කැලලකි. 1821 සිට පුවත් පත කෙරෙහි අසීමිතව විශ්වාසය තබා ඇති පාඨකයන්ට කරන අවමානයකි. එහෙයින් අවසානයේ දී ස්වාධීන පරීක්ෂණයේ තොරතුරු පදනම් කරගෙන ද ගාඩියන් පුවත් පත තම පාඨකයන්ගෙන් සමාව ඉල්ලා සිටියි.
සමාව ඉල්ලන අතර වාරයේ එවැනි වැරදීමක් සිදුවන මානුෂික ආකාරය ද පැහැදිලි කරන්නට ද ගාඩියන් පුවත්පත පසුබට නොවේ. මෙම වරද කරන ලද ලියුම්කරු දිගින් දිගටම කර්තෘට ලියුම් වෙත එවන ලිපි, ඒවායේ ශෛලිය සහ පුවත්පතට ගැලපෙන ආකාරයට ලියා තිබීම හෙයින් පිටු සංස්කාරකවරුන්ගේ යම් අවධානයක් දිනාගන්නට සමත්ව ඇත. නිතිපතා පුවත් පතට ලැබෙන දස දහස් සංඛ්‍යාත ලිපි, පාඨක ප‍්‍රතිචාර අතර අන්තර්ගතය ප‍්‍රබල සහ හුරුපුරුදු බව හෙයින් ද ගාඩියන් පුවත් පතේ සංස්කාරකවරු මෙම පැහැදිලිව තොරතුරු මූලාශ‍්‍ර රහිතව ලියන ලද වරදට නොදැනුවත්වම ගොදුරක් වී තිබේ. පුවත් පත එම තත්ත්වය අවබෝධ කරගත් පසු ඔවුන්ගේ උවමනාවට පරීක්ෂණයක් කර පාඨකයන්ගෙන් සමාව ඉල්ලන්නේ එහෙයින්ය.
මෙම සිද්ධිය ද ගාඩියන් පුවත් පතට පමණක් සීමා වියහැකි තත්ත්වයක් නොවේ. ඕනෑම මාධ්‍ය ආයතනයකට තමන්ට තොරතුරු ලබා දෙන සම්පත් දායකයා ගේ භාවිතාව හෙයින් මෙවැනි සිද්ධියකට මුහුණ පාන්නට විය හැකිය. කිසිම රැස්වීමකට නොගිය වාර්තාකරුවෝ සිද්ධි ගැන ලියති. සම්මුඛ සාකච්ඡා යැයි පළ කරන්නේ ලියුම්කරුවන්ට උවමනා දේය. දත්ත වශයෙන් දක්වන්නේ පිලිගත් පර්යේෂණ ක‍්‍රම අනුව හෙළිදරව් කරගත් දේ නොවේ. මෙවැනි දේ නිවැරදිව දැනගෙන ඒවා ගැන අවධානයෙන් සිට ඉතාම සූක්ෂම ආකාරයකට ක‍්‍රියාකරන්නට පුවත්පතකට පහසු නැත. දිනපතා එකිනෙකට වෙනස් සිදුවීම් ගැන අවධානයෙන් ඉන්නට සිදුවන පමණක් නොව අතිශය තරගකාරී මාධ්‍ය භාවිතාවක් ඇති පසුබිමක එය කෙසේවත් පහසු දෙයක් නොවේ. පුවත්පත් ආයතනයක් තමන්ට තොරතුරු ලැබෙන මූලාශ‍්‍ර කෙරෙහි තදින් විශ්වාස කරයි. සාමාන්‍යයෙන් එකී තොරතුරුගැන නැවතත් විමසා බලා තීරණයක් ගන්නට සූදානමක් තිබීම ද ගාඩියන් පෙන්වන ලද විශිෂ්ඨත්වයයි. පාඨකයන් හැර අනෙක් කිසිවක් වැදගත් නැත යන ස්තාවරයට ඔවුහු ප‍්‍රවේශ වී සිටී. තමන්ගෙන් සිදුවූ අතපසුවීම ආපසු කියන්නට පමණක් නොව අවුරුදු ගණනක් තමන් රැවටිල්ලකට හසුවූ බව කියන්නට ඉදිරිපත්වීම කොපමණ වටිනා මාධ්‍ය භූමිකාවක්ද? අවධානයට ගත යුතු කාරණය එයයි.
|