» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/07/2016 - ඉරිදා ලංකාදීප
ස්වාධීන ලේඛනයකින් රටක පැවැත්ම තහවුරු කිරීම

ශ‍්‍රී ලංකාව කුඩා රටකි. එහි ජිවත්වන ජනතාව එකිනෙකා හොඳින් දන්නා හඳුනන පිරිසකි. සමාජයේ තැනකට එන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නිකුත්වන පණිවුඩය නිවැරදි එකක් බවට පත් කිරීම සන්නිවේදනයේ දී ඉතාම වැදගත් කාර්ය භාරයකි. ඉකුත් වසර දෙක තුනක කාලය තුළ මාධ්‍ය භාවිතාව විශාල පරිවර්තනයකට ලක්විය. තොරතුරු වාර්තාකරණයෙන් ඔබ්බට ගමන් කළේය. මාධ්‍ය අනාවරණ විශාල ආන්දෝලනයක් ඇති කරන අතර චෝදනා එල්ල කරයි. චෝදනා වලට වැරදිකරුවන් බවට පත් කර නීතිය කි‍්‍රයාත්මක කරන තැනට පොළඹවයි. එය මාධ්‍ය භාවිතාව සමාජය මත ඇති කරන පීඩනයකි. මෙම පීඩනය මත තීරණ ගන්නට ආයතනික ව්‍යුහයන්ට සිදුවෙයි.

මෙම සන්නිවේදන ආකෘතිය බහුලවම භාවිතා කරන්නේ අන්තර් ජාල මාධ්‍යයි. ශ‍්‍රී ලංකාවේ බහුලව කියවන අන්තර් ජාල පුවත් අඩවි සහ බ්ලොග් වල සඳහන් වන මත හා ඒවායෙන් ඇති කරන බලපෑම නූතන සමාජ ආර්ථික පැවැත්මට එකතු කරන්නේ එක්තරා අන්දමක තේරුම් ගැනීමට පවා පහසු නැති සංකීර්ණ පසුබිමකි. තොරතුරු හඹා යාමේ උන්මාදයක් පවතින බව සඳහන් කිරීම සුදුසුය. ජාත්‍යන්තරයේ දී එය දක්වන්නේ ‘‘Media Feeding frenzy” ආකෘතියක් වශයෙනි. බිහිසුණු ආකාරයට දකින තොරතුරු හඹා යන අතර එය ඩැහැගෙන ඉක්මනින් උපයෝගී කරගැනීමට තරගයක් තිබේ. එක් ප‍්‍රවෘත්තිය වටිනාකම අවසන් වන විට තවත් එකක් කරා යොමුවන අතර ඒවායෙන් ඇති කරන සමාජ කැළඹීම තේරුම් ගැනීම පහසු නැත. නමුත් විද්‍යාර්ථීන් නූතන සන්නිවේදන ප‍්‍රවාහය තුළ මතුවන මෙම නව ප‍්‍රවනතා වලින් සමාජ පැවැත්මට ලැබෙන පිටිවහල සම්බන්ධයෙන් ගැඹුරු සහ දීර්ඝ වශයෙන් අවධානය යොමු කරමින් සිටී. මෙම පැවැත්ම මුද්‍රිත මාධ්‍ය ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කර තිබේ. සම්ප‍්‍රදායික මාධ්‍ය වාර්තාකරණය, එහි ලිපි සරණිය සම්බන්ධව නූතන අන්තර් ජාල බ්ලොග්කරණයේ බලපෑමට ලක්ව ඇත.

පුවත්පතක තීරු ලිපි නව මතවාද ඇති කරන අතර එයින් සමාජයට කාන්දු කරන පීඩනය බලවත්ය. තොරතුරක් ප‍්‍රවෘත්තියක් බවට පත්ව පළ කරන විට එහි මතුපිට සහ අභ්‍යන්තරය විග‍්‍රහ කර සියුම් ආකාරයට විදහා දක්වන්නේ තීරු ලිපියයි. ජාත්‍යන්තර ප‍්‍රකට තීරු ලිපි ලියුම්කරුවන් ස්වාධීන සහ මධ්‍යස්ථ භාවය වෙනුවෙන් ඉහළින් පෙනී සිටිති. සමාජ ගෞරවාදරයට පාත‍්‍රවන්නේ එහි නිර්භය මධ්‍යස්ථභාවය හෙයින්ය.

තීරු ලිපියක් රචනා කිරීම තුළ අරමුණක් සහිත බව පැහැදිලිය. නමුත් එකී අරමුණ කේන්ද්‍රීය ප‍්‍රශ්නයක් දෙස සලකා බලමින් නොව යටිපෙල මගින් පටු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ලියැවෙන විට එය පටු අරමුණු සහිත එකක් බවට පත්වෙයි. ප‍්‍රවෘත්ති කලාව පීඩනයකට ලක් විය හැකි නමුත් ජනතාවගේ අවධානයට ලක්වන ලියුම්කරුවන්ගේ ස්වාධීන මත දරන තීරු ලිපි බිහිසුණු ආකාරයට ගොදුරු හඹායන ඒවා බවට පත්විය යුතු නැත.

තීරු ලිපියක් පක්ෂග‍්‍රාහී වන විට එහි විශ්වාසනීයත්වය පලූදුවෙයි. ප‍්‍රශ්න දෙස ස්වාධීනව සහ සම්පූර්ණ විග‍්‍රහයක් නොකරන බව කියවන පාඨකයන්ට දැනෙන්නට පටන් ගනියි. එහි උපයෝගීතාවය භාවිතා කර අන්‍ය අරමුණක් සාක්ෂාත් කරගන්නට උත්සාහ කරන බව පාඨකයන්ට පැහැදිලි වෙන්නට හැකියාව ලැබෙයි. තීරු ලිපි ලියන ලියුම්කරුවන්ගේ වගකීම තමන්ගේ ලිපියට වෙනත් න්‍යාය පත‍්‍රයක් ඇතුළු නොකිරීමය.

දේශපාලන, සමාජ සහ ආර්ථික තත්ත්වයන්ට මාධ්‍ය ආයතන වලට පසුබිම් වෙයි. සමාජය සිතන පතන ආකාරය ගැන මාධ්‍ය ක්ෂේත‍්‍රයට අවධානයෙන් සිටින්නට සිදුවෙයි. ජනප‍්‍රියත්වය පමණක් නොව තරගකාරී ලෙස ප‍්‍රවෘත්තිය සමාජගත කිරීමේ අභියෝගයකට ද මුහුණ දෙන්නට රාමුවක් සකස් වෙයි. නමුත් තීරු ලිපි වල දී මෙම සියලූ පද්ධති සමග සමපාතව ස්වාධීනව ක‍්‍රියා කිරීම වැදගත්ය. අරමුණ සම්බන්ධ පැහැදිලි අගයක් සහිතව පෙනී සිටීම තිරු ලිපි රචකයන්ගෙන් ජන සමාජය අපේක්ෂා කරන කාර්ය භාරයකි.

පුවත්පතකට ලියන තීරු ලිපියක් අද්විතීය වෙන්නේ ඇයි? ලෝක පූජිත තීරු ලිපි රචකයෝ එය සනාථ කර තිබේ. තෝමස් ෆීඞ්මන්, ඬේවිඞ් බෲක්ස්, මොරිස් ඩවුඞ්, එම්.ජේ. අක්බාර්, පෝල් කෘප්මන්, ජෝර්ජ්විලි වැනි සුප‍්‍රකට ලියුම්කරුවෝ තීරු ලිපි සම්බන්ධයෙන් කීර්තියක් අත් පත් කරගෙන සිටී. තමන්ගේ පුද්ගලික මිත‍්‍රකම් නොසලකා සමාජ යහපත වෙනුවෙන් ක‍්‍රියා කරයි. ධනයට, බලයට ඔවුන්ගේ අදහස් වෙනස් කරගත නොහැකිය. පුවත්පතක් කලමණාකරනය වන ආකාරය හෝ එහි පැවැත්ම සම්බන්ධයෙන් තීරු ලිපි රචකයෝ අවධානය යොමු නොකරයි. ඔවුහු සිද්ධිය දකින්නේ සමාජ අර්ථාන්විත ව්‍යුහයකින්ය. සියලූම දෙනාට එය යුක්ති සහගත ලියැවිල්ලක් බව දැනෙන්නට රචනා කරයි.

වර්තමානයේ මාධ්‍ය භාවිතාව තුළ ලියැවෙන තීරු ලිපි ගවේශනය කරන විට පෙනෙන ප‍්‍රධාන කාරණයක් තිබේ. එනම් තමන්ගේ පුද්ගලික අදහස් පැත්තකින් තබා රචනයක් කරන්නේ කෙසේද යන කාරණය මුල් කොට නොසලකන බවයි. කියවන පුද්ගලයාගේ කැමැත්තට ගරු කර ලියන්නේ කෙසේද යන්න ගැටලූවක් බවයි. රචනය තුළ ලියන ලේඛකයාගේ පැත්ත විද්‍යමාන වෙයි. එහි පක්ෂපාතීත්වය පෙනේ. දේශපාලන කාරණා සම්බන්ධ පක්ෂපාතීව ලියන තීරු ලිපි රචකයෝ සිටිති. ආර්ථිකය ගැන පරිසරය ගැන සංවේදීව එම කාරණා විෂයෙහි සෘජුව ලියන ලේඛකයෝ ප‍්‍රකටය. ඇතැම් ලේඛකයෝ කෙලින්ම පක්ෂ වෙනුවෙන් පමණක් නොව පක්ෂ වල පුද්ගලයන් වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටිමින් ලියයි. විශේෂයෙන් බි‍්‍රතාන්‍ය මැතිවරණ අවස්ථාවල පුවත්පත් සිය කතු වැකි වලින් කෙලින්ම කියන්නේ තමන් සහාය දෙන දේශපාලන පක්ෂය හා මතවාදය ගැනය.

ඒ වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටින අතර මාධ්‍ය භාවිතාව තුළ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීම සෘජුව කරන හෙයින් එම මැතිවරණ කාලය තුළ පාඨකයන් එම පුවත් පත භාවිතා කරන්නේ එකී දේශපාලන ද්‍රෘෂ්ටිවාදය වෙනුවෙන්ය. නොබෝදා බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ ජනමත විචාරණයේ දී එයට පක්ෂ සහවිපක්ෂ වශයෙන් මාධ්‍ය අතර බෙදීමක් තිබිණ. තීරු ලිපි රචනය ද එසේය. පක්ෂග‍්‍රාහීව ලියන විට එය පක්ෂ පාට පෙන්වන, පක්ෂයක හෝ දේශපාලනඥයෙකුගේ දැක්ම වෙනුවෙන් පෙනී සිටින බව ප‍්‍රසිද්ධියේ දක්වයි. එය ලියන්නේ අනුගාමිකයන්ට බව පමණක් නොව එය පෝෂණය කරන්නේ දේශපාලන අරමුණක් බව පැහැදිලිය. නමුත් ස්වාධීන භාවය ආරක්ෂා කරන අනන්‍ය තීරු ලිපියක් එවැනි මිනුම් දණ්ඩකින් බැහැරය. පාඨකයන් අපේක්ෂා කරන්නේ එහි අනන්‍යතාවය හැර අන් කිසිවක් නොවේ. මාධ්‍ය භාවිතාව තුළ ඉතාම වැදගත්ම කාරණය එයයි.

නූතන මාධ්‍ය භාවිතාව තුළ අන්තර් ජාලය, බ්ලොග්කරණය මගින් ඇති කරන බලපෑමක් තිබේ. එය සම්ප‍්‍රදායික මාධ්‍ය භාවිතාව සංකීර්ණ තැනකට පත් කරයි. නමුත් පාඨකයන් අපේක්ෂා කරන්නේ තීරු ලිපියක් තුළ පක්ෂග‍්‍රාහී බවක් නොවේ. විශේෂයෙන් අනන්‍යතාවයක් ඇති කරගෙන මහජන විශ්වාසය දිනාගත් තීරු ලිපියයක් ධනය හෝ බලය වෙනුවෙන් මෙහෙයැවෙන බව දැනෙන විට එයින් සමාජ සංසිද්ධීන් වලට ඉටු කරන යහපතක් නැත.