» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/04/2016 - ඉරිදා ලංකාදීප
මනුෂ්‍යත්වය සම්බන්ධ මාධ්‍යකරණයක් ඉදිරියට පැමිණි ආකාරය

මාධ්‍යවේදය තුළ තොරතුරු අනාවරණය ප‍්‍රබල සාධකයෙකි. වාර්තාකරණ කාර්යයක් වශයෙන් සන්නිවේදනය සිදුවූ කාලය පරිවර්තනය වෙමින් තිබේ. එක තැනෙක සිදුවූ යම් සිදුවීමක් තවත් පුලූල් කණාඩායමක් වෙත යොමු කරන අතරමැදි කාර්යය ජනමාධ්‍යයෙහි එක් ව්‍යුහයකි. මෑත කාලීන තාක්ෂණ ප‍්‍රවනතා අනුව මෙම අතරමැදි ව්‍යුහය තුළ යම් ආකාරයක වෙනස ජාත්‍යන්තරයේ අවධානයට ලත්ව ඇති කාරණයකි. තොරතුර සන්නිවේදනය කරන්නට මාධ්‍ය සම්බන්ධව පැවැති බලය පුද්ගලයන් අතට පත්ව තිබේ. සමාජ මාධ්‍ය කෘත්‍ය අනුව සෘජු සන්නිවේදනයක් පුද්ගලයන් අතර සිදුවෙමින් පවතී. HONY යන හුරුබුහුටි වචනයෙන් ජාත්‍යන්තරය හඳුනන "Humans of New York" මෙහි එක්තරා සැලකිය යුතු අවස්ථාවකි. එය ජන කතිකාවතට ලක් කිරීම අවශ්‍ය බව පෙනේ.

බ‍්‍රැන්ඩන් ස්ටැන්ටන් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත්වන ඡායාරූප ශිල්පියෙකි. දිනපතා පින්තූර ගන්නා හෙතෙම ජනී ජනයාගේ ජීවිත වල අලූතෙන් කියන්නට මානුෂික දෙයක් ඇති බව තේරුම් ගත්තේය. මාධ්‍ය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡුා වලට සහභාගී වන පුද්ගලයන්ගේ අලේඛ්‍ය ඡායාරූප ගනිමින් බ‍්‍රැන්ඩන් රැකියාව කළේය. ඔහු නිතර දකින පින්තූර අතර කියැවෙන්නේ නැති දෙයක් පවතින බව හඳුනාගත් අතර එය ඔහු සතුව තිබූ ද්‍රෘෂ්ටියේ ප‍්‍රබලතාවයයි. ඔහු කරන්නේ නගරයේ සැරිසරන අතරවාරයේ දී ඔහු දකින මුහුණු වල හොඳ ඡායාරූප එකතු කිරීමයි. ඒවායේ අන්තර්ගතය මානුෂික කතාන්දරයක් අනාවරණය කළේය. කෙටි පණිවුඩයක් ද එකතු කර එය කෘතියක් වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලද අතර එය පසුගිය අවුරුද්දේ දී නිව්යෝක් හි හොඳම අලෙවියක් ඇති කෘති ලැයිස්තුව තුළ සති විසි නමයක් එක දිගට පැවැති බව අනාවරණය වෙයි. එයින් පෙන්වන්නේ මිනිසුන්ගේ ඉරියව්, ඔවුන්ගේ මානුෂිකත්වය සහ එහි අභ්‍යන්තරය දෙස ගැඹුරින් දකින්නට සමාජයට තිබූ උවමනාවයි.

තොරතුරු වාර්තා කිරීමේ දී දේශපාලනඥයන්, ආගමික සහ සමාජ නායකයන් වශයෙන් ප‍්‍රභූන් සහ ඔවුන්ගෙන් ගිලිහෙන ප‍්‍රකාශ වලට තැනක් වෙන් කරන ලද මාධ්‍ය තුළ මානුෂික ගුණාංග සහිත පැත්ත දකින්නට බ‍්‍රැන්ඩන් ස්ටැන්ටන් සමත්විය. එය සුවිශේෂ අවස්ථාවක් වශයෙන් අවධානය දිනාගන්නා විට ඔහු එය තවත් පැත්තකට යොමු කළේය. එනම් තමන්ගේ අදහස කියා ගන්නට බැරි හුදෙකලා චරිත දස දහස් ගණනින් සොයා ගොස් ඔවුන්ගේ පුද්ගලික අදහස සමාජ මාධ්‍ය මගින් ජනගත කිරීමය.

නිව්යෝක් නගරයේ මනුෂ්‍යයන් යන බ්ලෝග් අඩවිය බිහිවෙන්නේ ඒ අනුවය. නගරයේ චරිත දස දහසක් හඳුනාගෙන ඔවුන් සිතියම් ගත කරන්නට බ‍්‍රැන්ඩන් ස්ටැන්ටන් ඉලක්ක කරන්නේය. එහි දී මෙම පුද්ගලයාගේ ආලේඛ්‍ය ඡායාරූපයක් පමණක් නොව ඡායාරූපය හිමි පුද්ගලයාගේ කෙටි අදහසක් ඉදිරිපත් කරන ලද අතර එය ක‍්‍රමයෙන් ජනප‍්‍රිය එකක් බවට පත්විය. පුද්ගල පින්තූරය ඉදිරිපත් කරන මානුෂවාදී විලාශය සහ හෘදයාංගම ප‍්‍රකාශය මහත් ආකර්ශණයට ලක්විය. එහි කියන එක් අදහසකට අනුව තමන්ගේ බිරිය මියගිය දරුවන් ද රහිතව තනි වූ පුරුෂයෙකු කියන්නේ හුදෙකලාවීම ගැන අනුවේදනීය කතාවකි. එය වැදගත් වෙන්නේ අනෙක් මනුස්සයන්ටය. ඒ වන විටත් බලය ඇති බලවත් චරිත තුළින් පණිවුඩයක් නිකුත්වන සමාජය තුළ මිනිසුන්ගේ කතා වලින් මනුෂ්‍යයන්ගේ පණිවුඩයක් දක්වන්නට මෙම බ්ලෝග් අඩවිය සමත්වෙයි. එය සමාජ මාධ්‍ය මගින් ඉතාම ඉහළ ආකර්ශණයක් ඇති කරයි. 2016 ජනවාරි වන විට එයට ෆේස්බුක් පරිජනකාය මිලියන 16 ක් සහ ඉන්ස්ටග‍්‍රෑම් සමාජ සම්බන්ධතාවය ඔස්සේ තවත් මිලියන 4.7 ක පරිජනකායක් සම්බන්ධ වූ බව සනිටුහන් වී තිබිණ. එය ඉතා ආකර්ශණීය තත්ත්වයකි.

පුවත් පත හෝ සඟරාව මගින් කරන මාධ්‍ය වාර්තාකරණය තුළ වීදියේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට වටිනාකමක් ලැබෙන්නේ නැත. අති විශාල බලයක් ඇති චරිත මාධ්‍ය තුළ ඉතා විශාල ආකර්ශණයක් ගන්නා අවස්ථාවක මෙම කෘතිය පමණක් නොව එහි සාර්ථක භාවය තුළින් පැන නැග ව්‍යාප්ත වූ බ්ලොග් අඩවිය සියලූම ආකාරයේ සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට අලූත් වටිනාකමක් ලබා දුන්නේය. එම වටිනාකම මගින් ඇති කරන ලද අර්ථ සම්පන්න බව අති විශාල බලයක් බවට පත්ව ජාත්‍යන්තරය තුළ විහිදෙන්නට පටන් ගැනීම නූතන මාධ්‍ය භාවිතාව තුළ සාකච්ඡුාවට ගත යුතු කරුණකි.

සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තෙන් කතා කරන්නට පටන්ගත් මෙම හියුමන්ස් ඔෆ් නිව්යෝක් කාර්ය භාරය රටවල් 20 ඉක්මවා සැරිසරා චරිත එකතු කරන්නට සමත්විය. ඉරානය, ඉරාකය, පකිස්තානය යන රටවල් ඔස්සේ චරිත වල මුහුණුවර එකතු කර අලූත් අදහස් එකතුවෙන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය හවුල්කාර වැඩසටහනක් හඳුන්වා දෙන්නේය. එය යටතේ දින පනහක් තුළ ලෝකයේ රටවල් දොලහකට ගමන් කළ අතර එහි සාර්ථකත්වය හඳුනාගත් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ද ඔහු මුණ ගැසී එයට සම්බන්ධ වන්නේය.

මිනිසුන්ගේ දුක වේදනාව සහ බලාපොරොත්තු ඔහු කැමරාවෙන් දකියි. මහ පාරේ ජීවත්වන්නන් පමණක් නොව යුද අනාථයන්, සරණාගතයන්, අසරණ ජීවිත ගත කරන්නන් ගේ කතා දිගහරියි. එපමණක් නොව විපත් වලට පත් ජනතාවගේ මුහුණු වලින් කියන දෙය ද හෙතෙම එකතු කරගනියි. එය ඔවුන්ගේ අතීතය හෝ අනාගතය ගැන නොව දැන් දකින දේ ගැන අනාවරණය කරන එකක් බවට පත් කරයි.

පින්තූරයක් එකතු කර විනාඩියකින් තිස් ගණනක් අභිලාශය පළකරන මට්ටමට බ්ලොග් අඩවිය දියුණු වන විට එය පුණ්‍ය කටයුතු පැත්තට හරවයි. සැන්ඩි කුණාටුව අවස්ථාවේ දී එයින් ජනතාව වෙත පණිවුඩයක් මුදා හැර ආධාර එකතු කරන්නට සූදානම් විය. ඩොලර් ලක්ෂයක් ඉලක්ක කරන ලද නමුත් පැය දොලහක් ඇතුලත පරිත්‍යාගශීලීන්ගෙන් උපයා ගන්නා ලද මුදල ඇමරිකානු ඩොලර් 86,000 ඉක්මවූ බව වාර්තා විය. ව්‍යාපෘතිය අවසන් වන විට ඉලක්කය තුන් ගුණයකින් අභිබවා ගියේය. එයින් අනාවරණය කරන්නේ වීදියේ ක්ෂණයකින් දකින මුහුණුවරකින් ඉදිරිපත් කරන ලද ගැඹුරු දර්ශණයක තරමයි.

සාමාන්‍යයෙන් මාධ්‍ය දකින්නේ විද්වතුන්ගේ අදහස්ය. බ‍්‍රැන්ඩන් ස්ටැන්ටන් මනුෂ්‍යයන් සොයා ගියේය. ඔවුන් තුළ තිබුණ පණිවුඩය සමාජ ගත කළ අතර එය මෙරට මාධ්‍ය කෘත්‍යයට ප‍්‍රායෝගික අර්ථකතනයක් සපයනු ඇත. ශ‍්‍රී ලංකාවේ හැඟීම්බර කතාන්දර ඇති දහසකුත් එකක් ජනී ජනයා සිටී. ඔවුන්ට බලයක් නැත. එහෙයින් මාධ්‍ය අවධානයට නොගැනේ. ඔවුන් ඉතා බලවත් විය යුතු අතර නොඑසේනම් ඉතා අසරණව ඛේදවාචකයන්ට මුුහුණ දියයුතුය. මෙම අන්ත දෙක හැරෙන්නට මිනිසුන් තුළ ඇති අදහස් අනාවරණය කරන්නට ඉඩ සූදානම් කිරීම කොපමණ වැදගත් කාර්යයක්ද?

මිනිසුන් ගැන කියවන්නට පාඨකයන් කැමැතිය. මනුෂ්‍යත්වය ගැන දැනගන්නට රුචිකත්වයක් තිබේ. නමුත් පුවත්පතක, රූපවාහිනියක ඉඩ ලැබෙන්නේ දේශපලනඥයන්ටය. ඔවුන් කියන කරන දෙයටය. නැත්නම් අපරාධයකට හෝ මහා වංචාවකටය. මේ සියලූම දේ වලින් සමාජයට අර්ථකතනයක් සපයන්නේ කෙසේද? අපට ඇතිවිය යුතු සාකච්ඡාව එයයි. පරිවර්තනය පටන්ගත යුතු අලූත් ස්වභාවයක් අනුවය. මතවාදී ගැටීම් පමණක් නොව මානුෂික සංවේදනා ද ප‍්‍රවෘත්ති අතර වටිනාකමක් ඇති දේ බව අවබෝධ කරගැනීම වටී.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.