» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/05/2016 - ඉරිදා ලංකාදීප
සිනමාව නිර්මාණාත්මක සන්නිවේදන මෙවලමක් වශයෙන්

ශ‍්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ජනමාධ්‍යවේදී ද්‍රෘෂ්ඨිකෝණයකින් විමසා බැලීම වැදගත්ය. වර්තමානයේ මෙරට සිනමාව ප‍්‍රබල එකක් නොවේ. එය ඉතාම කුඩා බල ක්ෂේත‍්‍රයක් පුරා විහිදී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. එයින් ඔබ්බට ගමන් කරන්නේ කෙසේද?

දශක කිහිපයකට කලින් සිනමාව විනෝදාත්මක කලාවකි. සිනමා ශාලාවකට ගොස් චිත‍්‍රපටයක් නරඹන්නේය. නමුත් අද එය වෙනස් ආකාරයක් ගෙන තිබේ. සිනමා ශාලාවකට ගොස් පොදු පහසුකම් යටතේ චිත‍්‍රපට නරඹා රස විඳිම වෙනුවට පුද්ගලික රස වින්දනය දක්වා ව්‍යුහය වෙනස් වී තිබේ. චිත‍්‍රපට කුඩා ද්‍රෘඩංග තැටියක පටිගත කරන අතර නිවසේ ඇති මෙවලමක් පනගන්වා රූපවාහිනී තිරයෙන් චිත‍්‍රපට නරඹන්නට හැකියාව තිබේ. එය විශාල පරිවර්තනයකි. එයට සමාන්තරව සිනමා පේක්ෂකයාට රස වින්දනයේ අත්දැකීම උපරිම ආකාරයට දෙන තාක්ෂණය සිනමා ශාලාවට පැමිණ තිබේ. සංගීතය, ශබ්ධය සහ රූපය ස්වභාවිකව දැනෙන එනම් සිනමා පටයේ සෙලවීමක් සිදුවන විට ශාලාවේ ආසනයට පවා එය දැනෙන බවක් ඇති කර එය වෙනස් අත්දැකීමක් බවට ද පත් කර තිබේ. පොදු සිනමා නිර්මාණයක් පුද්ගලික මට්ටම දක්වා වෙනස්වන විට බිහිවන වෙළඳ පොළ අති විශාල එකකි. එයින් ගිලිහෙන වෙළඳ පොළ නැවත අත් පත් කරගන්නට තාක්ෂණය දියුණු දී තිබේ. නිර්මාණශීලි චිත‍්‍රපට නිෂ්පාදකයන් ධනය බිහිකරන දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බව පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය කෙබඳුද? ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නේ කවර ආකාරයකටද? මෙරට සංස්කෘතිය සහ අනන්‍යතාවය නියෝජනය කරන උසස් චිත‍්‍රපටයක් හෝ ටෙලි නිර්මාණයක් අවුරුදු දිනවල විකාශය කරන්නට හැකියාවක් ලැබුණේ නැත. මන්ද ඒ වෙනුවෙන් වූ නිෂ්පාදනයක් තෝරා ගැනීමට නොතිබුණ හෙයින්ය. රූපවාහිනී නාලිකා විකාශය කළේ ජනප‍්‍රිය දෙමල සහ හින්දි චිත‍්‍රපටය. අලූත් අවුරුද්ද ගැන අභිමානයෙන් සමරන විට ජනතාව තෘප්තිමත් කරන්නේ අන්‍ය සංස්කෘතියක විනෝදාස්වාදයෙන්ය. මෙරට ජන සමාජය තුළ වරින් වර රට තුළ උප සිරැසි හෝ හඞ කවන ලද ටෙලි චිත‍්‍රපට රැල්ලක් බිහිවෙයි. ඉන්දීය ටෙලි නාට්‍ය අති විශාල ප‍්‍රමාණයක් මෙරට සමාජ ව්‍යුහයට බලපෑම් කරන්නට නතු වූ විට එය නොයෙක් ආකාරයෙන් පාලනය කරන්නට රටට සිදුවිය. අති විශාල බදු පැනවූ අතර එවැනි හඞ කවන ලද නිර්මාණ සම්බන්ධයෙන් බලවත් මතවාදයක් ද ඇති කළේය. අද කොරියානු හඞ කවන ලද ටෙලි චිත‍්‍රපට සමාජ ද්‍රෘෂ්ටිය ආක‍්‍රමණය කරන්නට පටන්ගෙන තිබේ. ඉංග‍්‍රීසි, දෙමල, හින්දි, කොරියන් වැනි එකිනෙකට වෙනස් සමාජ සංස්කෘතික අංශ ශ‍්‍රී ලංකාවේ සිනමා සහ ටෙලිනාට්‍ය රසිකයන් ගේ ආකර්ශණය දිනාගෙන ඇත. එයින් ඇති කර ඇති කාර්ය භාරයේ තරම රටට අත් පත් කර ඇති බලපෑම සැලකිය යුතු තරම්ය.

ශ‍්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. එය සහමුලින්ම වානිජවාදී එකක් විය යුතු නැත. එසේම සාමාන්‍ය රසවතුන්ගෙන් දුරස්ථ තදබල පණිවුඩ සමාජයට නිකුත් කරන ප‍්‍රහේලිකා ආකාරයේ නිර්මාණ විය යුතු ද නැත. භාෂාව නොසලකා, ඉතා හොඳ සිනමා නිර්මාණවලට රසික රසිකාවියන්ගේ අවධානයක් ලැබෙමින් තිබේ. පවතින සමාජ ආර්ථික පසුබිම තුළ සිනමාව අලූත් ආකාරයකින් නගා සිටුවන ප‍්‍රතිපත්ති තීරණ ගත හැකි නම් ශ‍්‍රී ලංකාවේ නිර්මාණශීලීන් ට ද අවස්ථාවක් අත්පත් කරගැනීම අපහසු එකක් නොවේ.

ශ‍්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය දකුණු ඉන්දියානු ආභාෂය සහිතව වර්ධනය වූ එකකි. මෙරට චිත‍්‍රපට තැනෙන්නේ විදේශික ආකෘති අනුවය. දේශීය අනන්‍යතාවයක් ඇතිව නිර්මාණ කරණයෙහි නිරත වන්නට තැත් දරන ලද අධ්‍යක්ෂකවරුන්. නිෂ්පාදකයන්, නළු නිළියන් පමණක් නොව එයට සම්බන්ධ සියලූම ශිල්පීන් සෑහෙන ප‍්‍රමාණයක් සිටී. ඔවුන් කරන ලද නිර්මාණ සම්බන්ධව පොදු ජනතාව තුළ එක්තරා ආකාරයක ගෞරවයක් සහ පිළිගැනීමක් තිබේ. නමුත් එය එතැනින් ඔබ්බට විකාශය කර තහවුරු කරන්නට හැකියාවක් ලැබී නැත. එයට හේතුව කුමක්ද?

ශ‍්‍රී ලංකාවේ සිනමා සහ ටෙලි නිර්මාණ ක්ෂේත‍්‍රය පවතින දුබලතා හඳුනාගෙන අලූත් ආකාරයකට පෝෂණය කිරීමේ උවමනාව සියුම් එකක් බව පැහැදිලි කරන්නට අවශ්‍යය. රටක අනන්‍යතාවය සහ සංස්කෘතික ලක්ෂණ ගොඩනැගෙන්නේ සිතිවිලි ක‍්‍රියාකරන ආකාරය අනුවය. අලූත් දෙයක් හිතන්නට පමණක් නොව එය ඉතාම පුලූල් බලපෑමක් ඇති කරන ආකාරයට සිහිනයක් සේ දකින්නට හැකිනම් එය ධෛර්යය සහ ආත්ම ශක්තිය සම්බන්ධ වැදගත් ලක්ෂණයකි. අද වන විට සිදුවෙමින් පවතින්නේ මෙරට නිර්මාණ ශිල්පීන්ගෙන් රටට ගැලපෙන සිහින දකිනු වෙනුවට නොගැලපෙන නිර්මාණ වලින් සතුටුවන සමාජයක් බිහිවී තිබීමයි. එය එක්තරා ආකාරයක ඛේදවාචකයකි.

සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය පවතින ස්වභාවයෙන් වෙනස් කරන්නට ප‍්‍රතිපත්ති තීරණ ගණනාවකට යා යුතු බව පැහැදිලිය. වානිජ වශයෙන් ආදායම් උපයන්නට හැකි නිර්මාණ පමණක් නොව කලාත්මක වශයෙන් මනුෂ්‍යයන්ගේ සිතිවිලි පුබුදුවන නිර්මාණ වලට ද අවස්ථාව සම්පාදනය කළ යුතුය. ඒ සම්බන්ධයෙන් චිත‍්‍රපට සංස්ථාවට වගකීමක් තිබේ. මේ සඳහා දක්ෂ නිර්මාණශීලී සිනමාරූපී ව්‍යවසායකත්වයක් රට තුළ ඇති කළ හැකිය. එම ව්‍යවසායකයන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා මූල්‍ය ආධාර සපයන ක‍්‍රමවේදයක් පමක් නොව ඔවුන්ගේ නිර්මාණ අගය කරන ක‍්‍රමයක් ද අවශ්‍යය. ලෝකයේ විශිෂ්ඨ සිනමා කෘති අගය කර සම්මාන දෙන ක‍්‍රමයක් තිබේ. ඔස්කා සම්මාන උළෙලේ දී සම්මාන දෙන්නේ ගුණාත්මක තත්ත්වය සලකා බලමින්ය. ජනප‍්‍රියත්වයට ද එහි යම් ඉඩක් තිබේ. ප‍්‍රංශයේ කෑන්ස් සිනමා උලෙල වඩා කැපවී ඇත්තේ ගුණාත්මක චිත‍්‍රපට වලටය. ඉන්ඩි යනුවෙන් ස්වාධීන කෘති අගය කරන ක‍්‍රමවේදයක් ද තිබේ. තව තවත් සම්මාන උළෙල තිබේ. මේ ආකාරයට වර්ගීකරණය කිරීම අපහසු නමුත් ශ‍්‍රී ලංකාවේ ද චිත‍්‍රපට සහ සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන ප‍්‍රදානය කෙරේ. කාලයක් හොඳ චිත‍්‍රපට නිෂ්පාදනය කරන්නට ආණ්ඩුව මුදල් ආධාර ප‍්‍රදානය කළේය. එය යම් ප‍්‍රමාණයකට සාර්ථක වූ නමුත් දිග ගමනක් තිබුණේ නැත. ආණ්ඩුවට පමණක් නොව පුද්ගලික අංශයේ ව්‍යාපාර වලට ද සිනමා සහ ටෙලි නිර්මාණ ක්ෂේත‍්‍රය දෙස අලූත් ව්‍යාපාරයක් වශයෙන් අවධානය යොමු කළ හැකිය. පුද්ගලික අංශයේ සමාගම් වලට පවා මෙරට ජනතාවගේ රස විනිදනය වෙනුවෙන් තනන චිත‍්‍රපට හෝ ටෙලි නාට්‍යවලට අනුග‍්‍රහය දැක්විය හැකිය. එසේ කරන විට සාධාරණ බදු සහන ප‍්‍රකාශයට පත් කිරීම සුදුසුය. ලෝකයේ ඇතැම් රටවල එවැනි දිරිගැන්වීම් කරයි. ඇතැම් රටවල් ලොතරුයි මගින් උපයන ආදායමෙන් කොටසක් ඉතා උසස් නිෂ්පාදන කරන විශිෂ්ඨ නිර්මාණශිල්පීන්ට ගෙවීම සඳහා වෙන් කරයි.

ජාත්‍යන්තර පරිසරයේ ශ‍්‍රම වෙළඳ පොල වේගයෙන් වෙනස් වෙමින් තිබේ. ලැබෙන තොරතුරු දක්වන්නේ රොබෝ තාක්ෂණයට නැඹුරු වන බවය. කම්හල් වල වැඩ කරන්නේ රොබෝ වරුන්ය. එවිට ආගන්තුක සත්කාර සහ රස වින්දනය වෙනුවෙන් කරන නිර්මාණ වැනි අංශ අලූත් පැති කරා යොමු වන අතර විශාල වෙළඳ පොලක් බිහිවෙන්නේ ඒවාට බව පර්යේෂණ වාර්තා දක්වන්නේය. එහි අවස්ථා අත් පත් කරගැනීම අරමුණු කරගෙන චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය වෙනුවෙන් නිර්මාණාත්මක කාර්ය භාරයක් වෙනුවෙන් ආණ්ඩුව යම් ආකාරයක අනුග‍්‍රහයක් දක්වන්නට අවශ්‍යය. පුද්ගලික අංශයේ ව්‍යාපාර ඒ වෙනුවෙන් ස්වකීය දායකත්වය සපයන්නට තීරණය කළ යුතුය. එය රටක ස්වභාවය සම්බන්ධයෙන් අලූත් ව්‍යුහයක් සකස් කරනු ඇති අතර එය හුදෙක් ධනවාදී ආකෘතියක් වශයෙන් නොව සමාජ පැවැත්ම ගොඩනගන ශිල්පයක් වශයෙන් විකාශය වනු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.