» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/08/2016 - ඉරිදා ලංකාදීප
කඩුව, දැනුමෝත්පාදනය සහ තාක්ෂණික බෙදීම

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය විකාශනය දෙස නිරීක්ෂණය කරන විට ඉංග‍්‍රීසි භාෂාවේ ආභාෂය ප‍්‍රබල හා සියුම් බව පැහැදිලිව පෙනේ. දශක හය හතකට කලින් ප‍්‍රවෘත්තිය සකස් වන්නේ එම මාධ්‍ය ආයතනයේම ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පළවන පුවත් පතෙන්ය. පසුව එය සිංහලට පරිවර්තනය වෙයි. මාධ්‍ය ජාලයේ අභ්‍යන්තර බෙදීම බලවත්ය. ඉංග‍්‍රීසි මාධ්‍යවේදීන්ට ප‍්‍රමාණවත් පහසුකම් හා සැලකිලි ලැබේ. පරිවර්තන කාර්යයෙහි නිරතවූවෝ ද හොඳ පිලිගැනීමකට හිමිකම් කියති. සිංහල මාධ්‍යවේදීන් ගේ කර්තව්‍යකාර්ය භාරය ඉතා වැදගත් බාර ධුර බවක් යැයි සලකන්නේ අඩු මට්ටමකින්ය. එදා පාලක පැලැන්තිය මතය හදන්නේ කඩුවේ බලවත් බව සමගය. ක‍්‍රමයෙන් වෙනස් වී පැමිණි මෙම ගමන අද වන විට ජන සමාජයේ මතය සිංහල මාධ්‍යයෙන් හදන තැනට පත්ව තිබේ. එය තවත් දුර ගමන් කර සිංහල බ්ලොග් සහ සමාජ මාධ්‍ය එය අතට ගෙන ඇති බව තේරුම් ගත හැකිය.

කෙසේ නමුත් අද පවා ඇතැම් අවස්ථාවල දී මාධ්‍ය අයිතිකාර භූමිකාව තම මාධ්‍ය පරිපාලනයේ දී සිංහල මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට වඩා ඉංග‍්‍රීසි මාධ්‍යවේදීන් කෙරෙහි වෙනස් සැලකිල්ලක් ඇතිව කි‍්‍රියාකරන්නට ප‍්‍රයත්න දරන බව නිරීක්ෂණය කළ හැකිය. එයට බලපාන එක බලවත් කාරණයක් බවට පත්ව ඇත්තේ දැනුම සම්පාදන කාර්ය භාරයයි. දැනුම එන්නේ ඉංග‍්‍රීසියෙන් සහ මතය හදන්නේ ඉංගී‍්‍රසි ආකෘතිය අනුව යැයි තීරණය කිරීමය. නමුත් ඇත්ත එය නොවේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ආකෘතිය අනුව තීන්දු ගැනීම සහ ඒ වෙනුවෙන් බලකරන මත හැදෙන්නේ සිංහලෙන් හිතන, සිංහලෙන් වැඩ කරන පොදු ජනතාවගෙන්ය. එය බලවත් පරිවර්තනයකි. මෑත කාලය තුළ සමාජයේ මැද පන්තිය ප‍්‍රසාරණයවූ අතර එහි විශාල කොටසක් සිංහලෙන් හිතන, සිංහලෙන් ක‍්‍රියා කරන කොටස අතට පත්විය. නිදහස ලැබූ මුල් කාලයේ මැද පන්තිය ඉංග‍්‍රීසියට නතු සමාජයේ එක්තරා කොටසකට සීමා වූ අතර එය වත්මන් ස්වභාවයට පත්ව තිබේ. එසේ නමුත් භාෂාව වැදගත්ය. සිංහල සමාජයක පවා අන්‍ය භාෂාවක පරිචය තුළ හැදෑරීමට අවස්ථාව ලැබේ. චීනය, ජපානය ඉංග‍්‍රීසි භාෂාව පැත්තකින් තබා නමුත් යම් ප‍්‍රමාණයකට මුහු කරගෙන ජාත්‍යන්තරයට මුහුණ දෙන්නට සමත්ව තිබේ. ශ‍්‍රී ලංකාවට සහ සිංහල භාෂාවට එවැනි අවකාශයකට ගමන් කිරීම පහසු නැත. එහෙයින් ජාත්‍යන්තර භාෂාව ප‍්‍රයෝජනයට ගත යුතුය. දැනුමෝත්පාදනයට ජාත්‍යන්තරය හැදැරීම අවශ්‍යය.

වර්තමානයේ මාධ්‍ය භාවිතාව තුළ දැනුමෝත්පාදනය කෙරෙහි සූක්ෂම බවක් තිබේදැයි ප‍්‍රවේසමෙන් විමසා බැලිය යුතුය. සමස්ථයක් වශයෙන් මාධ්‍ය ආකෘතිය විනෝදාස්වාදය කෙරෙහි නතු වෙමින් තිබේ. පාඨකයන්ට, ශ‍්‍රාවකයන්ට දැනුම සහ ඥාණය සම්පාදනය කර විඥාණය පුළුල් කරනු වෙනුවට පවතින සමාජ ව්‍යුහය තුළ සුන්දරත්වය, විනෝදය සහ සරල සිද්ධි සම්පාදනය කෙරෙහි නැඹුරු වෙයි. පාඨකයන් ද එයට ලොල් බවක් දක්වන හෙයින් ශාස්තී‍්‍රය සංවාද, අලූත් දැනම ඇතිකරන තොරතුරු සහ ලෝක ආර්ථික සහ සමාජ විෂයෙහි ගැඹුරු තැන් ස්පර්ශ කරන්නේ බලවත් පරෙස්සමකින්ය. තරගකාරී මාධ්‍ය අතර අළෙවිය සඳහා ඇති තරගය ද එයට යම් පමණකින් බලපාන බව පැහැදිලිය.

ජාත්‍යන්තර භාෂාව ඇසුරෙන් යමක් උපයා ගැනීමට මාධ්‍ය අසමත්නම් පමණක් නොව සමාජය එය පරිහරණයට සූදානම් නැත්නම් එයින් පැහැදිලිව යම් බෙදීමක් තිබේ. දැනුම මත පදනම් කරගෙන සන්නිවේදන ව්‍යුහය හමුවේ සමාජය බෙදෙයි. එහි ප‍්‍රතිපලයක් වශයෙන් දැනුමෙන් දුප්පත් සමාජයක් බිහිවීම වැලැක්විය නොහැකිය. දේශපාලනඥයන් මෙම බෙදීම ප‍්‍රයෝජනයට ගන්නා අතර ලෝකයේ සිදුවන දේ ඔවුන් නිර්වචනය කරන්නේ ඔවුන්ට උවමනා පරිදිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනා සම්බන්ධව ඇති වගන්ති ඉංග‍්‍රීසි භාෂාවෙන් පැහැදිලිව පෙන්වන නමුත් සිංහලට කියන්නේ අන්‍යාලාපයකින්ය. සිංහලනේ සන්නිවේදනය වෙන්නේ එයයි. නමුත් ඉංගී‍්‍රසි මාධ්‍ය උපුටා දක්වයි. චීනය සමග පවත්වන ආර්ථික සහයෝගීතාවය හෝ ඉන්දු ලංකා ගිවිසුම වැනි දේ තුළ ඉංගී‍්‍රසියෙන් හුවමාරු වන අදහස් වලට වඩා වෙනස් උපකල්පන සිංහල භාෂාවෙන් සිංහල පමණක් දන්නා සමාජයට සන්නිවේදනය වෙයි. ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් සමග කරන ගනුදෙනු විවෘතව කරයි. එකී සංවිධාන වල ණය ගිවිසුම් පොලී අනුපාත පැහැදිලිව ප‍්‍රසිද්ධ කර තිබේ. නමුත් දේශපාලනඥයන් සහ සමහර සිංහල මාධ්‍ය සන්නිවේදනය කරන මත පෙන්වන්නේ වෙනත් ආකෘතිමය පැති වලින්ය. එය එසේ සන්නිවේදනය කරන්නේ මන්ද? නිර්භීතව ඇත්ත පෙන්වන විට මාධ්‍ය වලට බලපෑම් එල්ලවෙයි. මාධ්‍ය පාලනය කරන්නට දැන්වීම් අඩාල කිරීම අනියම් බලපෑම් උපයෝගී කරගනී. එය හිතන්නට අවශ්‍ය පැත්තකි.

දැනුම සම්බන්ධ බෙදීම සනිටුහන් කරන්නේ අනෙක් පැත්තකි. අද වන විට ජාත්‍යන්තර අවධානය යොමු කරමින් සිටින්නේ තාක්ෂණික සහ සන්නිවේදනය සම්බන්ධයෙන් සමාජයේ පවතින බෙදීම් ගැනය. සමාජයක අනන්‍ය ස්වභාවයට තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත් මෙහෙවරක් කරන බව දක්වයි. ඇතැම් නිර්නායක අනුව සමාජයක දුප්පත් පොහොසත් බව තීරණය කරන්නේ තාක්ෂණික සන්නිවේදනයෙහි සමත්කම අනුවය. මෙරට මාධ්‍ය තුළ පවා තොරතුරු තාක්ෂණ භාවිතාව සම්බන්ධ හොඳම තැන් පමණක් නොව තොරතුරු තාක්ෂණය දුරස් තැන් පවා අවධානයට ගත හැකිය. සන්නිවේදනයේ දී දැනුම සොයා ගැනීම, තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන් සන්නිවේදන තාක්ෂණය භාවිතාව අඩු වන විට එය දැනුම සහ සමාජ විඥාණය ඇති කිරීමේ දී බාධාවකි. මාධ්‍යවේදීන් අතර සම්ප‍්‍රදායික සහ තවමත් අලූත් තාක්ෂණික යුගයට නුහුරු පරම්පරාව ඊ-මේල් පණිවුඩ සන්නිවේදනයට පවා නැඹුරුවක් නැති අතර එය නූතන ගෝලීය සන්නිවේදනයට ප‍්‍රවේශවීමේ දී ගැටලූ ඇති කරයි.

ඉංගී‍්‍රසියෙන් කරන මතවාදයට සිංහල මාධ්‍ය එකතුවීම මෑත කාලය තුළ සිදු වූ බලවත් වෙනසකි. තාක්ෂණික යුගය හමුවේ සිංහල අන්තර්ජාලය පරිහරණය ද මාධ්‍යයේ දී ඉතා වැදගත් සාධකයකි. ඒ සඳහා පහසුකම් තිබේ. සිංහල භාෂාව අන්තර් ජාලයේ පරිහරණය කළ හැකිය. වෙබ් ලිපින සිංහලෙන් ගන්නට හැකියාව තිබේ. එයින් ජාත්‍යන්තරයට මෙරට භාෂාව, සංස්කෘතිය සම්බන්ධ අලූත් දැනුම විහිදුවන්නට හැකියාව හිමිවෙයි. ලෝකයේ නොයෙක් භෘෂා ඒ අනුව ක‍්‍රියා කරන බව සඳහන් කරන්නට අවශ්‍යය. චීන, ජපාන පමණක් නොව තායිලන්ත භාෂා වලින් කරන සන්නිවේදනය ප‍්‍රබල බව ජාත්‍යන්තරය සනාථ කරයි.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව තුළ කඩුව, දැනුමෝත්පාදනය සහ තාක්ෂණික බෙදීම් අවම කර සමාජය පෝෂණය කිරීම කෙරෙහි නතුවීම වැදගත් කාර්ය භාරයකි. එයට ඉඩ නොදෙන, එතුළින් මතය ඉදිරියට පැමිණ පාලන තන්ත‍්‍රයට අභියෝගයක් වීම වැලැක්වීමසාමාන්‍යයෙන් සිදුවන කාරණයයි. එයට එපිටින් ජනතා සන්නිවේදනය සියුම් අවශ්‍යතාවයකි.