» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/02/2016 - ඉරිදා ලංකාදීප
ඩිජිටල් යුගයේ සම්ප‍්‍රදායික ලිබරල් සඟරාවකට අත් වූ ඉරණම

ඇමරිකාවේ නිව් රිපබ්ලික් සඟරාව අග‍්‍රගන්‍ය එකකි. එය එවැනි ඉහළම පිළිගැනීමකට ලක්වෙන්නේ ඇයි? නිව් රිපබ්ලික් සඟරාව එක්තරා කාල පරිච්ජේදයක අලූත් මතවාද ජනනය කරන සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරන හෙයින්ය. මෙම සඟරාව ආරම්භ වන්නේ 1914 පමණ ඈත කාලයක දීය. එවකට ඇමරිකානු දේශපාලන සහ සංස්කෘතික ප‍්‍රවාහය වේගවත් පරිවර්තන මුහුණුවරක් ගත් අතර මෙම ධනවාදී රාමුව තුළ යම් මානුෂික පැති මතු කර සමාජ සමබර භාවයක් ඇති කරන්නට සඟරාව පදනමක් සලසයි. සමාජ අර්බුද සම්බන්ධයෙන් විද්‍යාත්මක ප‍්‍රවේශයක් වෙනුවෙන් සංවාදයක් ඇති කරයි. එහෙයන් මෙම සඟරාවේ ආරම්භක වකවානුවේ දී එය විකල්ප අදහස් දෙන අනෙක් පැත්තකින් ප‍්‍රශ්න දෙස බලන ව්‍යුහයක් සකස් කරයි. එය විද්වතුන්ගේ පුලූල් අවධානයට ලක් වූ අතර මතවාද වලට එකඟ හෝ එකඟ නොවන ඕනෑම තත්ත්වයක් යටතේ නිව් රිපබ්ලික් කියවන්නට හුරු වූ නිශ්චිත පාඨක පිරිසක් බිහි කරන්නේය.

සඟරාව සියවසක් සම්පූර්ණ වන විට අර්බුදයකට පත්ව තිබේ. ඩිජිටල් යුගයේ දී සංවාදය සඟරාවක ලිපි පෙලකින් කියවන්නට පාඨකයන් සූදුනම් නැත. ආන්දෝලනාත්මක ලිපියකට ප‍්‍රති උත්තර ලැබෙන්නේ ඊළඟ කලාපයෙන්ය. තවත ඉදිරි කලාපයක සංවාදය ඇවිලෙයි. මත එකතු වී අලූත් අදහස් සමාජගත වෙන්නට ගත වන කාලය මාස ගණනකි. අද යුගයේ දී මතයක් නැගී එය යටපත් වන්නට ගත වෙන්නේ හෝරා ගණනකි. එම පැය ගණන ඇතුලත අදහස ගැන විවිධ පැතිවලින් එකිනෙකට වෙනස් මාන වලින් අදහස් දහස් ගණනක් ඉදිරිපත් වන අතර එම සංවාදයට ලෝකයේ නොයෙක් තැන් වලින් අති විශාල මතධාරීහු පිරිසක් සහභාගී වෙති. එවැනි වකවානුවක නිව් රිපබ්ලික් යන්න තව දුරටත් අලූත් ලිබරල් අදහස් වේගයෙන් සමාජ ගත කරන එකක් බව පෙන්වන්නේ නැත. ඇමරිකාවේ නිව් රිපබ්ලික් සඟරාව කියවා එයින් පෝෂණය වූ පැලැන්තියේ පුරවැසියන්ට අද එම සඟරාව මුහුණ පා ඇති ඉරණම ගැන යම් ආකාරයක කනස්සල්ලක් තිබේ. මෙතෙක් අවුරුද්දකට පළ වූ කලාප ප‍්‍රමාණය හරි අඩකින් අඩු කර එනම් කලාප දහයකට සිමා කර තිබේ. සඟරාව වෙනුවට අන්තර් ජාල සඟරාවක් වශයෙන් පළ කරන යෝජනාවකට නතුව ඇත. එය හුදෙක් මුලින් තිබූ ප‍්‍රභාව දුර්වල වන ආකාරයේ එකකි.

ඩිජිටල් යුගයේ නිව් රිපබ්ලික් සඟරාවේ අයිතිය වෙනස් වෙයි. මෙයින් අවුරුදු දෙකකට කලින් සඟරාව මිලදී ගන්නේ ෆේස්බුක් සමාජ ජාලයේ සම නිර්මාතෘවරයෙකු වන ක‍්‍රිස් හෝග්ස් විසින්ය. ඔවුන් ඇති කරන ලද ඩිජිටල් යුගයේ සංවාදය වෙනුවෙන් සඟරාව මුහුණපාන තත්ත්වය අවධානයට ගත යුතුය. ක‍්‍රිස් ගේ අයිතිකාරත්වයට පත් වූ පසු එහි ඉදිරිපත් කිරීමේ විලාශය වෙනස් වූ අතර පින්තූර වලට වැඩි ඉඩක් වෙන් කරන්නේය. කතු වැකිය පළකිරීම අනිවාර්ය අංගයක් වෙන්නේ නැත. කලාප ගණන අඩු වෙයි. සඟරාවේ මූලස්ථානය වොෂින්ටන් නගරයේ සිට නිව්යෝක් දක්වාගෙන යයි. නමුත් එම සියලූ වෙනස්කම් වලින් වැඩි ප‍්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

එක්තරා කාල පරිච්ඡේදයක නිව් රිපබ්ලික් දැඩි මතධාරී සංවාද ඇති කරයි. අලූත් මාධ්‍යවේදීන්ට ප‍්‍රවේශයක් තනයි. මුලින් එහි වැඩ කර අත් දැකීම් ගන්නා මාධ්‍යවේදීහු පසුව වෙනත් පුවත් පත් වල වැඩ කරන්නට පටන් ගනී. විද්‍යාර්ථීන් මෙහි කියැවෙන අදහස් වලින් විකල්ප ආකාරයට හිතන්නට පටන් ගනී. මෙම මෙහෙවර ඩිජිටල් යුගයේ කළ නොහැකි වන විට එය මිලදී ගත් ක‍්‍රිස් හොග්ස් අද බලවත් විවේචනයකට ලත්ව තිබේ. ඔහු උත්සාහ කරන්නට ඇත්තේ සඟරාව පවතින ආකාරයට හරවන්නටය. අලූත් මාධ්‍යයක් හැටියට හදන්නටය. නමුත් එය කරගත නොහැකි වෙයි. එයින් හැදී වැඩුන මාධ්‍යවේදීහු මේ ගැන දොස් කියන්නට පටන්ගෙන තිබේ. එය කියවා දැනුම ලැබූ නිව් රිපබ්ලික් සඟරාවේ සංවාද වලට එකතු වූ අය ඒ ගැන අසතුටුය. කි‍්‍රස් හෝග්ස් ට කලින් එහි අයිතිය තිබූ පාර්ශවය ද මෙම විකිනීමෙන් පසු ඇති වූ ප‍්‍රතිඵලය ගැන කනස්සල්ලට පත්වන බව අනාවරණය වෙයි. මෙයින් පෙනෙන්නේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ මතවාද ඇති කරන ව්‍යුහ පත්වන ස්වභාවය සම්බන්ධ එක් පැතිකඩකි.

සඟරාව එක්තරා කාලයක සංවාද මණ්ඩපයක් තනන්නේය. එකී සංවාද මගින් ලෝකය අලූත් යුගයකට ඇතුල් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරයි. නමුත් මෙවැනි මතවාද ඇති කරන සංවාද ගොඩනගන්නට දායකවන සඟරා සහ පුවත්පත් වෙබ් සහ බ්ලොග් යුගයේ දී ඉටු කරමින් තිබූ මෙහෙවර තවදුරටත් පවත්වාගෙන යන්නට නොහැකි තැනකට පත්වෙයි. පාඨකයන් ගේ උවමනාව වෙබ් සහ බ්ලොග් අවකාශය මගින් සම්පූර්ණ කරන විට මාසයකට වතාවක් මුද්‍රණය කරන සඟරාවක් විකුණා ගැනීම ප‍්‍රශ්නයකි. එම සඟරාවේ නඩත්තුවට දැන්වීම් සොයාගත නොහැකිවෙයි. බෙදාහැරීම සහ ලිපි එකතු කරගැනීම වැනි අත්‍යවශ්‍ය කාර්යයන් ද කරගැනීම ගැටලූ සහගත වෙයි.

ශ‍්‍රී ලංකාවේ එක්තරා කාලයක සඟරා විශාල මත වාද අවුලූවයි. පාඨක සමාජය සඟරා කියවා එහි ලියැවී ඇති දේ අනුව අලූත් ආකාරයකට හිතන්නට පටන් ගනී. විශේෂයෙන් සමාජය ආර්ථික ආරක්ෂක අංශ වලින් අර්බදයකට පත්ව දේශපාලන කර්මය අනතුරකට පත්වන විට මෙවැනි සඟරා අවුලවන ලද මත විශාල බලපෑමක් කරයි. සඟරා පමණක් නොව එක්තරා සුවිශෙෂී සඟරා ආකෘතිය ගත් පුවත් පත් භාවිතාවක් ද ඇති වෙයි. නමුත් මෙම සියලූ අංශ අද ගැටලූ සහගත තත්ත්වයකය. එය ඩිජිටල් යුගයේ අභියෝගයකි. වර්තමානයේ මෙරට නිසි පාඨක අවධානය දිනාගෙන නිශ්චිත කාල වකවානුවල මුද්‍රණය වන සඟරා නැති තරම්ය. එම සඟරා වල සේවය කළ එයින් හැදී වැඩුණ වෘත්තීය මාධ්‍යවේදීහු අද වෙනස් ආකාරයකට සේවය කරන තැනකට පත්ව තිබේ. එය ඩිජිටල් යුගයේ අවධානයට නොගැනෙන පැත්තකි.

නිව් රිපබ්ලික් සඟරාවේ පතාක යෝධයන් වූ මාධ්‍ය වේදීන් ට එයින් ඉල්ලා අස්වෙන්නට සිදුවිය. ඔවුන්ගේ රටාව නව සන්නිවේදන කෘත්‍ය හා ගලපා ගන්නට පාලනාධිකාරියට හැකියාවක් ලැබෙන්නේ නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දැන් මෙම සඟරාව අයිතිය ඇති ක‍්‍රිස් පවා සූදානම් වන්නේ නැවතත් එය විකුණාදමා ප‍්‍රශ්නයෙන් පැත්තකට වෙන්නටය. සඟරාවේ අවුරුදු සියයක ගමන්මග අවසානයේ එක්තරා සන්ධිස්ථානයකය. එහි නිත්‍ය පාඨකයන් පවා තමන්ගේ වාර්ෂික සාමාජික ගාස්තුව මෙයින් ඉදිරියට කරගෙන යන්නේ නැතැයි දක්වන්නට පටන්ගෙන තිබේ. ඉතිහාසය කඩදාසි තීන්ත අත පත ගෑ කියවන්නන්ගේ යුගයකි. මාස ගණන් මතවාද පවත්වාගෙන ගිය කාලයකි. නමුත් දැන් තාක්ෂණය සියල්ල වෙනස් කර තිබේ. මතුකරන බැරූරුම් කාරණය එයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.