» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/03/2016 - ඉරිදා ලංකාදීප
ගවේශණශීලී මාධ්‍ය භාවිතාව සම්බන්ධ විවිධ පැති

ගවේශණශීලී මාධ්‍ය භාවිතාව සන්නිවේදන කෘත්‍යයේ එක්තරා සුවිශේෂී අංශයකි. සාමාන්‍යයෙන් තොරතුරක් වාර්තා කරන ආකාරයට වඩා වෙනස් ද්‍රෘෂ්ඨියකින් තොරතුරු ඉදිරිපත් කරන්නට සිදුවෙයි. ගවේශණශීලී වාර්තාකරණයට යොමු වෙන මාධ්‍යවේදියෙකුට කැපවිමකින් ක‍්‍රියා කරන වගකීමක් තිබේ. එය එක්තරා ආකාරයකට අවදානමක් සහිත වාර්තාකරණයක් වන අතර යම් තෝරා ගත් තොරතුරක් සම්බන්ධයෙන් අංශක තුන්සිය හැටෙන් එනම් සියලූම පැති වලින් විමසා අනාවරණය කරන එකක් හෙයින් ශ‍්‍රාවක, පාඨක පිරිස තෘප්තිමත් කරන කාර්ය භාරයකි.

ගවේශණශීලී වාර්තාකරණය සාමාන්‍ය වාර්තාකරණයෙන් වෙනස් භාවිතාවක් වන්නේ ඇයි? සන්නිවේදනයේ දී තොරතුරු වශයෙන් වාර්තා කරන්නේ මහජනතාව දැනගත යුතු සිද්ධි සම්බන්ධ අනාවරණය කිරීමය. සාමාන්‍ය ජනතාව දකින, අත් විඳින දේ පොදු භාවිතාවට නතු කිරීමය. එහි දී තොරතුරු ලබාගන්නා මූලාශ‍්‍ර රැසක් තිබේ. එම මූලාශ‍්‍ර මාධ්‍යවේදීන් විස්තර ඉල්ලන විට කරුණු අනාවරණය කරන්නේ කැමැත්තෙන්ය. නූතන භාවිතාව තුළ කැමැත්තෙන් ප‍්‍රවෘත්ති සම්පාදනය ඉතා බහුල වන අතර මාධ්‍ය ප‍්‍රකාශක, මාධ්‍ය ලේකම් යනාදී වශයෙන් තනතුරු ද ස්ථාපිත කර තිබේ. යම් අවස්ථාවක ජනතාව දැනගත යුතු තොරතුරු සොයා යාමේදී බාධාවකින් තොරව එයට ඉඩ සම්පාදනයට ආණ්ඩු මගින් විශේෂ අවස්ථා ද සම්පාදනය ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි අවස්ථා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ තහවුරු කරන්නේ මාධ්‍යවේදීන්ට පමණක් නොව පුරවැසියන්ට ද මහජන මුදල් වියදම් කරන ආකාරය දැන ගැනීමට පහසුව ඇති කරමින් බව සඳහන් කළ යුතුය.

නමුත් ගවේශණශීලී මාධ්‍යවේදය සාමාන්‍ය තොරතුරු උපුටා ගෙන වාර්තා කිරීම සහ තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් තහවුරු වන අවකාශයෙන් ඔබ්බට යන අවස්ථාවකි. පොදු ජන යහපත වෙනුවෙන් යම් සිදුධියක් හඳුනාගෙන එය අභ්‍යන්තරය ගවේශණය කර විශේෂිත ආකාරයෙන් වාර්තා කිරීමකි. ගවේශණ මාධ්‍යවේදීන් හුදෙක් සිද්ධියක ප‍්‍රකාශ වන දේ ගැන තකන්නේ නැත. එයට එපිටින් සහ අභ්‍යන්තරයේ සඟවන ලද කාරණා ඇතැයි සැක කරයි. සිද්ධියක් දකින කෝණයට වඩා ඇතුලාන්තයේ යමක් ඇති බව උපකල්පනය කර එය විමසා බලන්නට තැත් කරයි. හදිසි අනතුරක් වාර්තා කළ හැකිය. නමුත් හදිසි අනතුර සේ පෙනෙන දෙයක් තුළ එය එසේ සිදුවූයේ කෙසේ ද යන්න ගැඹුරින් විමසන විට එය තුළ වෙනත් කරුණු ගණනාවක් තිබෙන්නට බැරි නැත. මාධ්‍යවේදියෙකු එය අනතුරක් සේ වාර්තාකරන විට ගවේශණශීලි වාර්තාකරුවෙකු එය සිදුවූ පසුබිම, එයට බලපෑ කරුණු, අනතුර සිදුවූ තත්ත්වය විමසා බලා අලූත් අර්ථකතනයක් සම්පාදනය කරයි. එහි ඇත්තේ මාධ්‍යවේදියාගේ ගවේශණයේ ප‍්‍රතිඵලයයි. කැපවීම සහ වෙනත් පැත්තකින් සිද්ධිය දෙස බලන බලවත් අභිලාශයයි. ගවේශණශීලී මාධ්‍යවේදීන් තොරතුරක් හඹායාමේ දී පවතින නීතියට අවනත වෙන්නට සිදුවෙයි. මාධ්‍ය භාවිතාවේ පවතින සාරධර්ම ආරක්ෂා කරන්නට බැඳී සිටී. නමුත් තොරතුරු හඹායාමේ දී ගවේශණශීලී මාධ්‍යවේදියෙකුට ක‍්‍රියාකරන්නට සිදුවන සුවිශේෂී ආකාරය පොදු යහපත උදෙසා වන අවස්ථාවේ දී යම් යම් තත්තවයන් අභිබවා යන්නට සිදුවෙයි. අන්‍ය දුරකථන වලට සවන්දීම, ඊමේල් වලට බලහත්කාරයෙන් ප‍්‍රවේශවීම, තොරතුරු පිටපත් කරගැනීමේ දී ක‍්‍රියා කරන උපක‍්‍රම යනාදිය සාධාරණීකරනය කරන්නට සමාජය නැඹුරුවන බව නිරීක්ෂණය කළ හැකිය. නමුත් මේ අනාවරණය ඉතා අවදානම් සහගත එකකි. ගවේශණයට ලක්වන පාර්ශවය ඕනෑම ආකාරයකින් එය වලක්වන්නට තැත් කරන අතර එය එහි නිරත ගවේශණ කණ්ඩායම අනතුරකට පත් කරන්නකි.

ගවේශණයක් කිරිම පහසු නැත. ඒ වෙනුවෙන් කාලය සහ ධනය දක්ෂ ශිල්පීන් වෙනුවෙන් වියදම් දරන්නට සිදුවෙයි. සාමාන්‍ය මාධ්‍ය භාවිතාව තුළ මාධ්‍ය ආයතන තොරතුරු නිෂ්පාදනය සම්බන්ධයෙන් ක‍්‍රියා කරන්නේ ලාභයක් උපයා ගැනීම අරමුණ සහිතවය. නමුත් ගවේශණයක් කරන විට ඒ වෙනුවෙන් ගත කරන්නට සිදුවිය හැකි කාලසිමාව නිශ්චිත නැත. පසුවදා පුවත්පත වෙනුවෙන් ඉක්මනින් පුවතක් සකස් කිරීමට වඩා ගැඹුරු තොරතුර විවිධ පැති වලින් අනාවරණය කරන හෙයින් සෑහෙන කාලයක් ගතවෙයි. එම කාලය තුළ පුද්ගලයන්ගෙන්, සංවිධාන වලින් සහ පරික්ෂණ වලින් විවිධ ආකාරයෙන් සිදුවීම ගැන කරුණු එකතු කරන්නට සිදුවන අතර එය විශාල ආයෝජනයකි. කාලය සහ ආයෝජනය සම්බන්ධ ගැටලූ හෙයින් පොදුවේ මාධ්‍ය භාවිතාව තුළ ගවේශණගීලී මාධ්‍යකරණය සුලබ නැත. ආයතනයේ මූල්‍ය ශක්තිය, ගවේශණයක් කරන්නට හැකි ආකාරයට මානව සම්පත් නඩත්තු කිරීම ඕනෑම මාධ්‍ය ආයතනයකට පහසු කාර්යයක් නොවේ. මන්ද මෙම ලබාගන්නා සුවිශේෂී තොරතුරු අවදානමක් සහිතව පමණක් නොව එම අවදානම තුළින් පවා විශාල ආදායමක් ලැබෙන ආකාරයට අලෙවි කරන්නට ඇති ඉඩ සීමාසහිත හෙයින්ය. සලකා බලනවිට ගවේශණය කරන සෑම තොරතුරක් අවසානයේ දී එය සාර්ථක වන්නේ නැති අතර කාරණය නිශ්ඵල වුවහොත් එය කාලය සහ ධනය අපතේ හැරීමකි. ගවේශණය සාර්ථක වන සහ එය විශාල අනාවරණයක් කළ හැකි තත්ත්වයට පත් කිරීමේ සමභාවිතාව සීමිත වන විට මාධ්‍ය ආයතන පවා මේ ආකාරයට සිදුවීම් ගැන නොසිතන පැත්තකින් සොයා බලන්නට ඇති උනන්දුව පහත වැටේ.

ගවේශණශීලි වාර්තාකරණය කෙරෙහි බලපාන කාලය සහ සම්පත් වියදම් කිරීම සම්බන්ධ කාරණා සැලකිය යුතු ගැටලූ බවට පත්වන විට ඒ වෙනුවෙන් පෙනී සිටින ආයතන බිහිවෙමින් තිබේ. දුෂණ, වංචා, අපරාධ, පරිසර සංරක්ෂණය, ආපදා වැනි අවස්ථාවල ආණ්ඩු, ආයතන සහ පුද්ගලයන් හැසිරෙන ආකාරය සොයා බලන්නට සංවිධාන මැදිහත්වෙයි. මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට මෙම සංවිධානවල සහාය ඇතිව ගවේශණගීලීත්වයට නැඹුරුවීමට ඉඩ ලැබේ. මෙම ආයතන එක්තරා ආකායකට රාජ්‍ය නොවන සංවිධාන වන අතර ලාභ අරමුණු කරනොගෙන තෝරාගත් පැති වල ප‍්‍රවර්ධනය වෙනුවෙන් මෙහෙයැවෙයි. ඒ වෙනුවෙන් ගවේශණගීලී මාධ්‍ය මෙහෙයැවෙන විට එක් පැත්තක් කෙරෙහි පමණක් නැඹුරු වන ස්වභාවයක් ද මතු විය හැකි අතර එය ගවේශණශීලී මාධ්‍යවේදයෙහි ස්වාධිනත්වය සහ අපක්ෂපාතීත්වය පලූදු කරන ප‍්‍රවණතාවයකි.

අන්තර් ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතාව ගවේශණගීලී තොරතුරු නැඹුරු වෙමින් තිබේ. සමාජ මාධ්‍ය ජාලා මගින් ගවේශණයෙහි නිතර මාධ්‍යවේදීන් ගේ අයිතීන් ආරක්ෂා කරමින් ඔවුන් ජාලගත කරන්නට සමත්වී ඇති අතර එය නව ප‍්‍රවනතාවයකි. ස්වාධීන කන්ඩායම් සංවිධානගතවී ගවේශණශීලී තොරතුරු හඹායාමට පෙළැඹී ඇති අතර සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් කරන එවැනි අනාවරණ ඇගයීමට ලක් වී තිබේ. අනාවරණය කරන තොරතුරු මත ප‍්‍රවෘත්ති, විශේෂාංග පමණක් නොව චිත‍්‍රපට නිෂ්පාදනය කරන තරමට එය බලවත් ව්‍යායාමයක් බවට පත්ව ඇති අතර ලෝකය යහපත් තැනක් කරන්නට මෙම සියලූ උත්සාහයන්ගෙන් තැත් දරන්නේය. වැදගත්ම කාරණය එයයි. ජනහිතකාමී ආකාරයට සිය වෘත්තීය හැකියාවන් හැසිරවීමේ දී අනතුර අවදානම පෙනි පෙනී ගවේශණශීලී මාධ්‍යකරණයට යොමුවන වෘත්තීයවේදීන් සමස්ථ ලෝක වාසීන්ගේම පැසසුමට ලක්වන්නේ එය විශාල මෙහෙවරක් හෙයින්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.