» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/06/2016 - ඉරිදා ලංකාදීප
ස්වභාවික විපත් සන්නිවේදනයේ එහා ඉවුරේ ව්‍යාකූලතා

ඉකුත් සති කිහිපය ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කළ ප‍්‍රවෘත්ති වලින් සෑහෙන කොටසක් සංවේග ජනක කාරණා වලින් යුක්ත වූ බව නිරීක්ෂණය කළ හැකිය. අධික වැසි එහෙයින් ඇති කරන ලද නාය යාම, ජීවිත සිය ගණනක් රටට අහිමිවීම ඒ අතරින් ප‍්‍රධාන කාරණා වශයෙන් සඳහන් කළ හැකිය. සාමාන්‍යයෙන් ස්වභාවික විපත් අඩු මෙරට පුරවැසියන්ට උද්ගත වූ තත්ත්වය සහ එහි බැරූරුම් තත්ත්වය මැනවින් අවබෝධ කරදෙන්නට මාධ්‍ය පෙන්වූ සමත්කම සුවිශේෂී බව සඳහන් කළ යුතුය. තාක්ෂණයෙන් දියුණු, නව මාධ්‍ය භාවිතාව පුලූල් භාවිතාවක පවතින වර්තමානය විපත විවිධ මාන වලින්, එකිනෙකට වෙනස් පැතිකඩ වලින් සමාජයට සන්නිවේදනය කළේය.

මෙම ස්වභාවික විපතේ මාධ්‍ය ආවරණ විපත සම්බන්ධ මෙහා ඉවුරේ වාර්තාකරණයක් වශයෙන් අවබෝධ කරගත යුතුය. එය එසේ දක්වන්නේ ඇයි? වර්තමානයේ මාධ්‍ය හුදෙක් වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් තිබේ. සම්ප‍්‍රදායික මාධ්‍ය තොරතුරු ගොනු කර වාර්තා සකස් කරන විට නූතන සමාජ මාධ්‍ය කරන්නේ ක්ෂණිකව සිදුවන දේ හෙළිදරව් කිරීමය. එහා ඉවුරේ එනම් විපතට ගොදුරු වූ ජන කොටස සන්නිවේදකයන් බවට පත් නොවන්නේ මන්ද? ස්වභාවික විපත හෙයින් උන් හිටි තැනි අහිමිව අසරණ වූ පිරිස තොරතුරු වාර්තාකරුවන් බවට පත්විය යුතු බවක් මෙයින් අදහස් කරන්නේ නැත. නමුත් තමන් පත්ව ඇති විපත සහ අවශ්‍ය කරන සහය කවරේ ද යන්න ගැන සෘජු කථෝපකතනයකට ව්‍යුහය සකස් වූයේ නැත. සන්නිවේදනයෙහි දියුණුව ඉතා ශූර ආකාරයකට භාවිතා වූයේ නම් තමන් විපතට පත්වූ බව ක්ෂණිකව සන්නිවේදනය විය යුතුය. තමන්ගේ අසල් වැසියන් නාය යාමකට හෝ කැළණි ගඟ අධික ලෙස පිටාර ගැලීමෙන් විපතට පත්වන බව බාහිර ලෝකයට දැන්වීමට මගක් සකස් විය යුතුය. එය එසේ වූයේ නැත. නාය ගිය ප‍්‍රදේශවල දිවි ගලවා ගත් ජන කොටස් තමන් සිටින ඉසව්ව සහ අවශ්‍ය සහාය ඉක්මනින් දැනුම් දී සහන කණ්ඩායම් යොමු කරගත හැකිව තිබිණ. ජලයෙන් නිවාස යට වී දුෂ්කර තත්ත්වයට පත්වන විට කොතැන කොයි අන්දමට එය සිදුවෙමින් පවතින්නේ දැයි සන්නිවේදනය වූයේ නැත.

ක්ෂණික ඇමතුමකින්, සමාජ මාධ්‍ය වලින් එම පණිවුඩය බාහිර ලෝකය ට විවෘත වූයේ නම් සහන සම්පාදනය වන ආකාරය මෙයට වඩා වෙනස්ය. මන්ද විපතටපත් වූ අය අතරින් සමහරක් දෙනා කියන්නේ තමන්ට කිසිවක් නොලැබුණ බවය. ගලවා ගන්නට කිසිවෙකු ආවේ නැති බවය. බෝට්ටු වලින් සංචාරය කරමින් සිටි හෙයින් එය අනවශ්‍ය හිරිහැරයක් වූ වගය. සහන කණ්ඩායම් බෝට්ටුවලින් ගමන් කරන විට ගලා එමින් තිබූ ජලයෙහි රැළි නැගී නිවාස වල තිබූ දේ විනාශ වූ බවය. හෙලිකොප්ටර් පහත් කරන විට එයින් එන සුළඟ තවතවත් අපහසුතා ඇති කරන ලද්දේය යනුවෙන්ය. තවත් චෝදනා අතර වූයේ වියලි ආහාර අවශ්‍ය අයට බෙදා දුන්නේ පිසූ ආහාර යන්නයි. බත් පැකැට් බලාපොරොත්තුවෙන් සිටි අපහසුතාවයට පත්වූවන්ට ආහාර මල්ලක් ලැබිණ. සන්නිවේදනය ප‍්‍රජා මට්ටමින් වඩා සූක්ෂම ලෙස කරන යාන්ත‍්‍රණයකට ගමන් කළේ නම් මේ ආකාරයන් සටහන් වන්නේ නැත.

බරපතල විපතක් හමුවේ සියලූම දෙනාගේ තොරතුරු සොයා බලා එකවර වහාම පියවර ගත නොහැකිය. විශේෂයෙන් විපතට පත්වූ ජන කොටස් කරා ලඟා වී ඔවුන්ට සහන සපයන්නට අපහසු පසුබිමක එය වඩා බරපතලය. නමුත් මෙහා ඉවුරෙන් යමක් කරන්නට නොහැකි අවස්ථාවක එහා ඉවුරේ කොටුවී සිටින ජන කොටස් වෙතින් යම් සන්නිවේදනයක් අපේක්ෂා කළ යුතුය. එම පණිවුඩය හඳුනාගෙන ආධාර කණ්ඩායම් පෙළ ගැසෙන්නට අවශ්‍යය. එය නිවැරදිව කරන්නේ කෙසේද? මේවා සන්නිවේදන පර්යේෂකයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අලූතින් සොයා බලා කරුණු විශ්ලේෂණය කළ යුතු පැති සේ සැලකිය හැකිය.

තවත් පැත්තක් තිබේ. ජාතික මාධ්‍ය කාර්ය භාරය ගැන ද සාකච්ඡා කරන්නට අවශ්‍යය. ජාතික විපත් අවස්ථාවල මාධ්‍ය ඉදිරියට පැමිණ වගකිව යුතු කාර්ය භාරයක් ඉටු කරයි. රූපවාහිනී මාධ්‍ය පැමිණෙන්නට කලින් පුවත් පත් හදිසි විපත් වෙනුවෙන් අරමුදල් පිහිටුවා පාඨකයන්ගෙන් ආධාර එකතු කළේය. ආධාර පළ කළ පාඨකයන්ගේ නාම ලේඛන එකල පුවත්පත් වරින්වර පළ කරන ලද්දේය. එහි දී ද පොදු ජනතාව කොපමණ පරිත්‍යාගශීලී ද පමණක් නොව මාධ්‍යයක බලපෑම කෙබඳු ශක්තිමත් එකක් ද යන්න පෙන්නුම් කළේය. ශ‍්‍රී ලංකාව සුනාමි විපතට මුහුණ දෙන අවස්ථාව වන විට එය වෙනත් මුහුණුවරක් ගනිමින් විද්‍යුත් මාධ්‍ය භූමිකාව විශාල කාර්ය භාරයක් ඉටු කළේය. තත්ත්වය සම්බන්දව දැනුවත් කරන, ජනතාවට පණිවුඩ හුවමාරු කරන පමණක් නොව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එකතු කර බෙදා හරින කර්තව්‍යයෙහි නිරත විය. විද්‍යුත් මාධ්‍ය එය කරන්නේ විශාල ජන ආකර්ශණයක් ඇතිවන අන්දමටය. පුලූල් ජනමතයක් ඇති කරමින් මාධ්‍ය ආයතන අත්‍යවශ්‍ය සේවා වලට මැදිහත් වන විට එය දකින ජනතාව වෙනස් තක්සේරුවකට යයි. අගය කරන්නේ මාධ්‍ය නියෝජනය වන අතර ඒ වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන වල කාර්ය භාරය පටු එකක් බවට පත්වෙයි.

ශ‍්‍රී ලංකාවට වඩා බරපතල බිහිසුණු විපත් වලට ගොදුරුවන වෙනත් රටවල මාධ්‍ය ක‍්‍රියා කරන්නේ කෙසේද? රොයිටර්, බී.බී.සී, සී එන්. එන්., එන්. එච්. කේ. හෝ එන්. ඞී. ටී. වී. වැනි මාධ්‍ය ආයතන වල භාවිතාව කෙබඳු එකක් ද? මේවායේ බලය ලෝක ව්‍යාප්තය. එයින් විකාශය කරන ප‍්‍රවෘත්තියකින් ලෝක ව්‍යාප්ත මතයක් ගොඩ නැගිය හැකිවෙයි. තොරතුරු ගවේශණය කර ප‍්‍රවෘත්ති වාර්තාකරණය එවුන්ගේ වගකීම සේ ක‍්‍රියා කරයි. සමාජ සත්කාරයට වැඩි අවධානය යොමු කරන්නේ නැත. ශ‍්‍රී ලංකාව වැනි සමාජ සංස්කෘතික පසුබිමක මාධ්‍ය ව්‍යුහයක් තීරණ ගන්නා ආකාරයට ලෝකයේ අන් රටක සන්නිවේදන ජාලා සැසඳීම කළ යුතු නැත. මෙරට සංවේදී මාධ්‍ය ව්‍යුහය සමග ලෝකයේ වෙනත් තරගකාරී මාධ්‍ය ක්ෂේත‍්‍රයක් ඒ ආකාරයටම හැසිරිය යුතු යැයි අපේක්ෂා නොකෙරේ. නමුත් ප‍්‍රමුඛ වගකීම කෙබඳු සහ කවර ආකාරයක එකක් දැයි විමසිල්ලක් යොමු කිරීම වරදක් නොවේ. හැඟීම් අනුව මෙහෙයැවීම වෙනුවට සමාජය අපේක්ෂා කරන ප‍්‍රවෘත්ති සම්පාදනය කෙරෙහි සූක්ෂම විය යුතුය.

ස්වභාවික විපත් සමග සන්නිවේදන ජාලා ක‍්‍රියාශීලීව කටයුතු කිරිම පමණක් නොව නූතන සමාජ මාධ්‍ය සහ පුද්ගල සන්නිවේදන ව්‍යුහ විපතට පත් පැත්තේ සිට මෙපිටට තොරතුරු යොමු කරන ව්‍යුහය සංවිධාන කරන්නේ කෙසේද යන්න විමසා බැලීම මෙම පසු විපත් අවස්ථාවේහි වැදගත්ය. යම් යම් අවස්ථාවල සන්නිවේදකයන් තොරතුරු සොයා නිර්භීතව විපත් ප‍්‍රදේශ වලට යයි. විපත් හෙයින් බාහිර සමාජයෙන් වෙන් වූ පෙදෙස් වලට ගුවනින් බැස එහි සිට සැබෑ තත්ත්වය වාර්තා කරයි. යුදමය අවස්ථාවල පවා සිදුවන්නේ එය බව සඳහන් කළ යුතුය. මාධ්‍ය වපසරිය තුළ නිම් වලලූ පුලූල් කරන්නේ කෙසේදැයි විමර්ශණශීලී විම යහපත්ය.