» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/07/2016 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය ඒකාධිකාරය සහ වෙනස් පැති වලින් ලැබෙන තොරතුරු

ජනමාධ්‍ය තොරතුරු වාර්තා කරන ආකාරය ගැන ජාත්‍යන්තරය තුළ වෙනස් ආකල්ප තිබේ. ඒවා බෙදීම්ය. පක්ෂග‍්‍රාහී මාධ්‍ය වාර්තාකරණය ගැන බලවත් විවේචන ඇත. මෙම මත ඉදිරියට එන්නේ රූපවාහිනී විකාශය පුලූල් වීම සමගය. තාක්ෂණය දියුණු වී ලෝකය පුරා පණිවුඩයක් යොමු කරන්නට හැකිවන විට එය ප‍්‍රබලව මතු වෙයි. බලය ඇති, තාක්ෂණය සහ ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්නට හැකි සමාජ ලෝකය පුරා තමන් දරන මතය පතුරවන්නට මාධ්‍ය උපයෝගී කරගන්නා බව තහවුරු වෙයි. එය එල්ල වෙන්නේ බටහිර රටවල් වලටය. විශේෂයෙන් ඇමරිකාවටය. තාක්ෂණයෙන් දියුණු ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය වැනි රටවල් තමන්ගේ ආදිපත්‍ය පතුරවන්නට මාධ්‍ය භාවිතා කරන බව එයට විකල්ප අදහස් දරන ප‍්‍රජාවගේ තක්සේරුවයි. එය එක්තරා කාලසීමාවක් දක්වා ඇත්ත ප‍්‍රකාශයකි. අද වන විට එය වෙනස් වී තිබේ. තනි, එනම් මාධ්‍ය ඒකාධිකාරය බිඳ වැටී ඇත. නොයෙක් ද්‍රෘෂ්ටිකෝණ වලින් තොරතුර ඉදිරිපත්වන සමාජයක් දක්වා පරිවර්තනයක් සිදුවී තිබේ.

මැද පෙරදිග ගල්ෆ් යුද කාලයේ දී ලෝකයේ තොරතුරු විකාශනය සම්බන්ධ බලවත්ම ව්‍යුහය අත්පත් කරගෙන සිටියේ සී.එන්.එන්. විකාශයයි. ගල්ෆ් කලාපයේ සිට විකාශනය කරන ප‍්‍රවෘත්ති ලෝකයේ අවධානය දිනාගත්තේය. එය බටහිර මාධ්‍යය තමන් දරන අදහස ලෝකය පුරා විසුරුවා හැරීමයි. එම කලාපයේ ගැටුම් සිදුවනවිට එහි අලූත් තොරතුරු බටහිර නායකයන් පවා දැනගත්තේ සී.එන්.එන්. ප‍්‍රවෘත්ති වලින් බව එකල ප‍්‍රකටව තිබුන අදහසකි. මාධ්‍ය තුළ වෙනත් මතයක් තිබුණේ නැත. එයට අවශ්‍ය ආයෝජනය, ඒ වෙනුවෙන් තාක්ෂණය සහිත අන් මාධ්‍ය ආයතන නොවූ පසුබිම තුළ සී.එන්.එන්. විකාශය කරන තොරතුරු වලට හොඳ තොරතුරු වෙළඳ පොලක් සකස්වීම මවිතයට කාරණයක් නොවේ. බී.බී.සී. වැනි මාධ්‍ය ආයතනයක් කරන්නේ ද බටහිර සමාජය, ඒවායේ දේශපාලන සහ ආර්ථික තත්ත්ව ඇසුරෙන් සිද්ධි වාර්තාකිරීමය. එයින් වෙනස් මතයකට මෙම මාධ්‍ය අවධානය යොමු කළේ නැත.

නමුත් මෙම ස්වභාවය වෙනස් වෙන්නේ අලූත් තොරතුරු නාලිකා බිහිවීමය. බටහිරට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විවෘත ආර්ථිකය සහ විදේශ ප‍්‍රතිපත්ති වෙනස් කෝණයකින් විග‍්‍රහ කරන්නට ඉඩ ලැබෙන්නේ බටහිරට විල්ප අදහස් ඇති අලූත් මාධ්‍ය ප‍්‍රවාහයක් ඉදිරියට පැමිණීම සමගය. චයිනා ටෙලිවිෂන් එහි එක්තරා සන්ධිස්ථානයකි. චීනය ක‍්‍රමයෙන් තමන්ගේ සම්ප‍්‍රදායික ගමනට වෙනස් ලෙස ආර්ථික සහ සමාජ තත්ත්ව ගැන අවධානය යොමු කරන්නට සූදානම් වීම සමග මාධ්‍ය භාවිතාව ද අන්‍ය ආකාරයක් ගත්තේය. ලෝකය තුළ තමන් දරන පෙරදිග මතයක් ද ඇති බව පෙන්වන්නට උත්සුක වූයේය. චීනය ඉක්මනින් තාක්ෂණය සමග නතුවීම සහ ඒ ඔස්සේ වෙළඳ පොල අයිතිය සම්බන්ධව මතුවූ තත්ත්වය මෙම මාධ්‍ය භාවිතාවට මනා පිටිවහලක් විය. එයට අමතර වශයෙන් රුසියානු ආර්.ටී. රූපවාහිනිය, ජපානයේ එන්.එච්.කේ. සහ ඉන්දියාවේ එන්.ඞී.ටී.වී යන රූපවාහිනී නාලිකා වලට බටහිර දකින වාර්තාකරණ කෝණයට වඩා වෙනස් පැත්තකින් සිදුවීම් දෙස බලන්නට උත්සාහ කළේය.

චීනය නාලිකාව විකාශය කරන ප‍්‍රවෘත්ති සහ වැඩසටහන් වලට ලෝකයේ සිදුවීම් ඇතුලත්විය. ඔවුන්ගේ මාධ්‍යවේදීහු නොයෙක් රටවල සිට එකතුකරන තොරතුරු සකස් කරන්නේ ඔවුන් දකින ව්‍යුහයකින්ය. එය මෙතෙක් සී.එන්.එන්. ද්‍රෘෂ්ටියෙන් පමණක් තොරතුරක් දැනගන්නට ලැබුණ ප‍්‍රජාවට අත්පත් වූ විකල්ප අවස්ථාවකි. රුසියාවේ ආර්.ටී. විකාශය එය පෙන්වන්නේ වෙනස් ආකාරයකටය. පසුගිය කාලයේ අරාබිවසන්තය බටහිර මාධ්‍ය වාර්තා කරන ලද්දේ එක්තරා බටහිරට නැඹුරු නමුත් සමබර බවක් පෙන්වන ස්වභාවයකින්ය. නැගෙනහිර ඇතුළු අන් විකල්ප මාධ්‍ය නොතිබුණ වකවානුවක එය එසේ නොවෙන්නට ඉඩ තිබිණ. පසුගිය කාලයේ නාඩියා සාව්චෙන්කෝ එනම් යුක්රේනයේ පළමු මිලිටරි ගුවන් නියමුවරිය ගැන බටහිර මාධ්‍ය වාර්තා කළේ වීරවරියක ලෙසින්ය. හේතුව ඇය ගේ අතින් රුසියානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය වීමේ සිද්ධිය චෝදනා එරෙහිව නැගුණ බරපතල චෝදනා හමුවේ ඇය ක‍්‍රියා කළ ආකාරය බටහිර මාධ්‍ය දකින්නේ ඔවුන්ගේ පැත්තෙන්ය. නමුත් රුසියානු මාධ්‍යවලට එය වෙනස් පැත්තකින් වාර්තා කරන්නට හැකියාව ලැබිණ. ලෝක ආර්ථික අර්බුදයේ විවිධ පැති බටහිර මාධ්‍ය එක්තරා ආකාරයකට විග‍්‍රහ කරන විට චීන රූපවාහිනියට එයට වෙනස් මතයක් තිබූ බව නිරීක්ෂණය කළ හැකිවිය. කලාපයක් තුළ විකාශය වන එන්.ඞී.ටී.වී නාලිකාව හෝ චීනයේ එන්. එච්. කේ. එය දකින්නේ තම තමන්ගේ පැති වලින්ය.

පසුගිය දශක දෙක තුළ මාධ්‍ය වාර්තාකරණයේ දැක්ම වෙනස් වෙන්නේ මෙම පසුබිම අනුවය. අද ප‍්‍රජාව එකිනෙකට වෙනස් මත ඇති මාධ්‍ය ජාලා විකාශය කරන තොරතුරු විමසා බලා පැති විග‍්‍රහ කර එක්තරා යුක්තිසහගත ස්ථාවරයකට එන්නට අවස්ථාවක් තිබේ. එය වැදගත්ය. මාධ්‍ය ඒකාධිකාරය වෙනුවට තොරතුරු අනුව ප‍්‍රජාවට තීරණගැනීමට හැකි සමාජයක් බිහිවෙන්නේ ඒ අනුවය. සිද්ධියක් වාර්තාකරන විට එකිනෙකට වෙනස් පැති තිබේ. බටහිර වටිනාකම් වෙනස්ය. සාරධර්ම සලකන ආකාරය හෝ වාර්තාවට අඩංගු කරන කරුණු ආවේනිකය. එයට විකල්ප අන්දමට තොරතුරු ඉදිරිපත් වන විට යම් සමාජයක් තුළ මත සමබරවීමක් සිදුවෙයි. සියලූ පැති වලින් සොයා බලා සාධාරණ විනිශ්චයකට එන්නට අවස්ථාව උදා වෙයි.

පසුගියදා අවසන් වූ බි‍්‍රතාන්‍යයේ ජනමත විචාරණය සම්බන්ධ වාර්තාකරණය එහි එක්තරා උච්ච අවස්ථාවකි. බි‍්‍රතානය තුළ එකම මාධ්‍ය ආයතනයක නිකුත්වන පුවත්පත් දෙකක් ඒ වෙනුවෙන් ස්ථාවරයන් එකිනෙකට වෙනස් ලෙස අනුගමනය කළේය. එහි දී මෙම මාධ්‍ය ක‍්‍රියා කරන ලද්දේ මාධ්‍ය ආයතනයේ එකම කළමණාකාරීත්වය යටතේ වෙනස් මත වෙනුවෙන් පෙනී සිටිමින් බව අවබෝධයට ගැනීම සුදුසුය. එවැනි ප‍්‍රවේශයකට පදනමක් සකස් වූයේ බටහිරට විකල්ප වශයෙන් නැගෙනහිර මතයක් ඇති කරන්නට සමත් වූ මාධ්‍ය භාවිතාව හෙයින් බව සඳහන් කිරීම අවශ්‍යය. මෙම මතය වඩා පුලූල්ව පැතිරෙන්නේ රූපවාහිනි නාලිකා ආකර්ශණීය ලෙස තොරතුර ඉදිරිපත් කිරීම සමග වන නමුත් පුවත් පත සහ ගුවන් විදුලිය ද තාක්ෂණය ඇසුරු කරගෙන ලෝක ව්‍යාප්තව තොරතුරක විවිධ පැති විග‍්‍රහ කරන්නට සමත්ව ඇති බව අද නිරික්ෂණය කළ හැකිය.

තොරතුරක් සමබරව විවිධ පැති වලින් විකාශය කර ඒ ගැන තීරණය ප‍්‍රජාවට බාර කිරීම ඉතාම වැදගත්ය. ඒකාධිකාරී තොරතුරු ව්‍යුයක් වෙනුවට සමස්ථය දැකගන්නට ඉඩක් ලැබෙන හෙයින්ය. බටහිරට හෝ නැගෙනහිරට පමණක් නොව ඕනෑම තොරතුරක විවිධ පැති විග‍්‍රහ කරන නොයෙක් අංශවලින් කරුණු සාකච්ඡා කරන මාධ්‍යවේදයක් ඉතාම වැදගත්ය. මත තුළ ගැනෙන යුක්ති සහගත කාරනා අවධාරණය කර හොඳ දේ පිළිගැනීමට එයින් ලැබෙන අවස්ථාව සන්නිවේදනයේ ප‍්‍රතිලාභයයි.