» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/04/2016 - ඉරිදා ලංකාදීප
නිර්මාණකරණයේ දී විචාරයක වැදගත්කම

නිර්මාණකරණය ඉතාමත් සුවිශේෂී ක්ෂේත‍්‍රයකි. එහි ලා හැකියාව අවශ්‍යය. එය උපතින්ම ලැබෙන අලූත් දේ දකින කුසලතාවයක් හෝ අධ්‍යයනයක් තුළින් ලබා ගත් ආභාෂයක් විය හැකිය. මෙම අංශ දෙක තුළ දීම නිතර කරන ලද අභ්‍යාස අති විශිෂ්ඨ නිර්මාණ සඳහා පදනමක් සපයයි. ඕනෑම නිර්මාණයක් සම්බන්ධයෙන් විචාරයක් නොඑසේනම් විවේචනයක් තුළින් අපේක්ෂා කරන කාර්ය භාරයක් තිබේ. එය සමාජ සංස්කෘතික ප‍්‍රවාහයෙන් බලකර පවරන ලද වගකීමකි. විචාරකයෙකු තමන් දරන මතය ඉදිරිපත් කිරීමෙන් ඉටූ කරන්නේ සමාජය අපේක්ෂා කරන එකී යුක්ති සහගත ප‍්‍රමිතිය ඉටු කරන සුවිශේෂී කාර්ය භාරයයි. කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවක් පදනම් කරගෙන විචාරය කරන්නාගේ අත්දැකීම්, එය ඔහු දකින ආකාරය සෘජුව ඉදිරිපත් කිරීම විචාරයක් වශයෙන් සාමාන්‍ය අර්ථයෙන් දක්වන්නට හැකිය. විචාරකයාගේ ද්‍රෘෂ්ඨි කෝණය අනුව කිසියම් ප‍්‍රමිතියක් හෝ ශ්‍රේණිගත කිරීමක් සිදුවීම ඉතාමත් වැදගත් කාරණයයි. ඒ අනුව භාණ්ඩයක හෝ සේවාවක් සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක ප‍්‍රශස්ථ වටපිටාවක් රාමුවක් සකස් වෙයි. එය ඉතාම වැදගත්ය.

වර්තමානය වන විට පාරිභෝගික සමාජ ක‍්‍රමය තුළ ඕනෑම දෙයක් භාණ්ඩයකි. ඒවා නිෂ්පාදනය කෙරේ. සාහිත්‍ය කෘතියක් නිෂ්පාදනයක් වන අතර එයට ද ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය ලාභය ඇතුළු කාරණා ඇතුලත්ය. නාට්‍යයක්, චිත‍්‍රපටයක් හෝ චිත‍්‍ර යනාදී වශයෙන් ඕනෑම නිර්මාණයක් තුළ භාණ්ඩයක ගති ලක්ෂණ පවතින බව පිළිගැනීමයි. මෙම භාණ්ඩ පරිභෝජනය සඳහා වන අතර නාට්‍යයක් බලන, පොතක් කියවන සහ චිත‍්‍රපටයක් බලන ස්වභාවය තුළ වෙළඳ පොල නියාමනය බල පැවැත්වෙයි. වෙනත් භාණ්ඩ මිලදී ගෙන පරිභෝජනය කිරීමෙන් සතුට ඇතිවෙන ආකාරයටම හෝ එයටත් වඩා සතුට, තෘප්තිය සාහිත්‍යය සේවනයෙන් අපේක්ෂා කළ හැකිය.

මාධ්‍ය භාවිතාව තුළ විචාරකයාගේ කාර්ය භාරය ඉතා සුවිශේෂී සහ වැදගත් එකක් බවට පත්වන්නේ මෙම පරිභෝජනය වෙනුවෙන් ඇති කරන කෘත්‍යය සමගය. රසාස්වාදනය, භාව තෘප්තිය උදෙසා කිසියම් නිර්මාණශීලී නිෂ්පාදනයක් තෝරා ගැනීමේ දී පාඨකයාට විචාරකයා වැදගත්ය. විචාරකයා අනාවරණය කරන මිනුම් දණ්ඩ නිර්මාණයේ ප‍්‍රමිතිය සම්බන්ධව විනිශ්චයක් සපයයි. නිර්මාණ සම්බන්ධයෙන් වර්තමාන මාධ්‍ය භාවිතාව තුළ කරන විවේචනය, විචාරය සම්බන්ධව ගැටලූ තිබේ. මාධ්‍ය භාවිතාව තුළ කරන විචාරයෙහි කේන්ද්‍රීය ලක්ෂණ සම්බන්ධයෙන් පැහැදිලි රාමුවක් නැත. එය සමාජය අපේක්ෂා කරන විචාරය හෝ විවේචනය නොවේ. සරල සාධාරණ එකකි.

සංකීර්ණ සන්නිවේදන ව්‍යුහය තුළ මාධ්‍ය ක්ෂේත‍්‍රය තිරස් ආකාරයේ ප‍්‍රසාරණයක් සිදුවී තිබේ. මාධ්‍ය ජාල ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ ගිය එකකි. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි මාධ්‍ය අංශ වල සිට වෙබ්, බ්ලොග් සහ සමාජ මාධ්‍ය දක්වා විශාල පරාසයක අංශ ගණනාවක පැතිරීමක් මෑත භාගය තුළ සිදුවී තිබේ. මෙම විහිදීම තුළ විචාරකයාගේ කාර්ය භාරය ඉටු වෙන්නේ ද? නිර්මාණයක ගැඹුර මෙම විචාර මගින් නිරීක්ෂණය හැකි ද යන්න විමසා බැලීම වැදගත්ය. වර්තමාන මාධ්‍ය භාවිතාව තුළ හොඳ පොතක් ගැන අදීන විචාරය සීමිතය. හොඳ සිනමාවක් ගැන ලියන ද්‍රෘෂ්ටිවාදී ලියැවිල්ල සීමාසහිතය. නාට්‍යයක් ගැන දක්වන විචාර ස්වාධීන බව දැක්විය හැකිද? ටෙලි නාට්‍යක් ගීත සාහිත්‍යයක් චිත‍්‍රකලාවක් ගැන විචාරයක් සිදුවන බවක් නිරීක්ෂණය කළ හැකිද? මෙම අංශ සියල්ල ප‍්‍රධාන ධාරාව තුළ අවශේෂ කාරණා බවට පත්ව තිබේ. මාධ්‍ය තුළ බරපතලම සහ ප‍්‍රමුඛ කාරණය බවට පත්ව ඇත්තේ දේශපාලනයයි.

නොබෝදා ලෝක නාට්‍ය දිනය පවත්වන විට කලා පිටුවල තොරතුරු වලට සහ ඒ වෙනුවෙන් සංවිදානය කරන ලද උත්සවයකට පමණක් වූ අතර එය ප‍්‍රමාණවත් දැයි නාට්‍ය වේදීන්ගේ මැසිවිල්ලට හේතුවිය. ලෝක නාට්‍ය දිනය සමරන්නේ මේ ආකාරයට දැයි ඔවුහු ප‍්‍රශ්න කළේය. නාට්‍ය දිනයේ පවා පවුලේ හතර පස් දෙනෙකුට එකතු වී නාට්‍යයක් බලන්නට යන්නට වියදම් කළ නොහැකි වටපිටාවක් ආර්ථික වශයෙන් සකස් වූ ආකාරයට වෙනස් වී ඇති බව මතවාදීව සාකච්ඡා කරන්නේ නැත. එය අවශ්‍යයෙන්ම සිදුවිය යුතු විචාරයකි. එමගින් සේවයක් ඉටු කරන්නේ රසවතුන්ටය. සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ පාරිභෝගිකයන්ටය. චිත‍්‍රපට උළෙල පවත්වන විට එය සාර්ථකත්වය ගැන විවාද ඇතිවෙයි. නිර්මාණ වල පසුබිම නොවේ. පොත් ප‍්‍රදර්ශන පැවැත්වෙන විට එහි විකිණෙන පොත පත පමණක් නොව එයින් ඇති කරන දැනුම පරිශීලනය කරන සමාජය ප‍්‍රමාණත්මක එකක් නොවන බව දැක්වෙයි. මේවා විචාර වශයෙන් සැලකිය හැකිද? මෙම තත්ත්වයට හේතුවක් තිබේ. සමාජය තුළ සාහිත්‍ය සහ නිර්මාණ කරණය සම්බන්ධව පවතින දුබල ප‍්‍රවේශයයි. එම තත්ත්වය ඇතිකරන්නේ සාහිත්‍ය හෝ නිර්මාණශීලීත්වය කෙරෙහි සමාජය ගොදුරු කරගෙන ඇති අල්ප අවාධානයයි.

පුවත් පත් සාහිත්‍යයට සේවයක් කළ හැකි මාධ්‍යයකි. ගුවන් විදුලිය හෝ රූපවාහිනය ප‍්‍රමාණාත්මකව එය ඉටු නොකරන පසුබිම අනුව මුද්‍රිත මාධ්‍ය තුළින් විශාල කාර්ය භාරයක් කළ හැකිය. නමුත් එවැනි පුලූල් වගකීමක් සිදුවෙමින් තිබේද? ග‍්‍රන්ථ විචාරය සරල ලියැවිල්ලක් පමණකි. එය කෙරෙන්නේ අලෙවිය ඉලක්ක කරගෙනය. හොඳ නරක පොත පත ගැන එකම ආකාරයකින් සිදුවන සරල අනාවරණ කෘති පළ කරන ග‍්‍රන්ථ කර්තෘවරුන්ට පමණක් නොව ඒවා ප‍්‍රකාශයට පත්කරන පාර්ශවයට වාසිදායකය. මාධ්‍ය බලපෑම පුලූල් වන විට විචාරය තුළින් අරමුණු කරන්නේ එයට පාදක වන නිර්මාණයේ අළෙවිය වන අතර ඇතැම් චිත‍්‍රපට, ඒවායේ සී. ඞී. එසේත් නැත්නම් ගීත නිකුත් කිරීම් ප‍්‍රචාරණයක් කරන්නේ විචාරානුකූල සැලැස්මක් අනුව බවට මත පැතිර යමින් තිබේ.

පුවත්පතක හෝ යම් මාධ්‍යයක කරුණු පළ කර ගැනීම අළෙවියට බලපාන අතර එය වෙනුවෙන් අවශ්‍ය සම්බන්ධතා ඇති කරගැනීම ඉතාම වැදගත් කාරණයක් බවට පත්ව තිබේ. එයින් සිදුවන්නේ විචාරයක් නොවේ. විචාරක මූල ධර්ම අනුව කිසියම් ඉලක්කගත අරමුණක් සාකාෂාත් කරනු සඳහා නිර්මාණය මෙහෙයවන ලද බව අනාවරණය කර එහි ගැඹුර විමසා බැලීමක් නොවේ. එම තත්ත්වය සිනමා විචාරයට ද බලපා ඇත. ග‍්‍රන්ථ විචාරය, සිනමා විචාරය සහ නාට්‍ය වැනි අංශ ගැන කරන විචාරයක් නොව එය යම් ආකාරයක ප‍්‍රචාරයක් බලපවත්වන ආකාරයට කරගෙන යන බව ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. එයින් සාහිත්‍ය ගවේශනය අරමුණු කරගෙන සිටින පාරිභෝගිකයන්ට තෘප්තියක් ලැබේද? නිසි ප‍්‍රමිතියක් ඇති කර නිර්මාණ ගැන ශ්‍රේණිගත කිරීමක් සිදුවන්නේ ද යන්න අද අවධාරණයෙන් විමසා බැලිය යුතුය.

නූතන සන්නිවේදන ව්‍යුහය තුළ සිනමාව, සංගීතය, කලාව අන්තර් ජාතික වෙළඳ පොලකි. එහි නියෝජනය වන බලවේග ඉතාමත් සූක්ෂම ආකාරයකට මෙහෙයැවෙයි. නිර්මාණයක් වෙනුවෙන් එහි ආරම්භයේ සිට එළි දක්වන අවස්ථාව දක්වා විවිධ ආකාරයට වානිජකරණය වී තිබේ. ඒවා විචාරක ආකාරයට නොව ප‍්‍රචාරාත්මක ආකාරයට පවත්වාගෙන යන අතර එය වෙළඳ පොළ ඉලක්ක කරන මුහුණුවරක් ගෙන තිබේ. ජනතාව වෙනුවෙන් නොවේ. එකී ස්වභාවය විසින් නිර්මාණයක් විචාරය කිරීමේ ස්වභාවය යටපත් කර තිබේ. ගුණාංග ගැන යුක්ති සහගත විචාරයක් වෙනුවට පවතින මෙම ස්වභාවය තුළ පරිවර්තනයක් කළ හැකි විය යුතුය. එය ප‍්‍රබෝධය සහ රස වින්දනය වෙනුවෙන් වැදගත්ය.

එවැනි පරිවර්තනයක් වෙනුවේන ආණ්ඩුවට ද යම් කාර්ය භාරයක් කළ හැකි බව පෙනේ. රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය, විචාරය සහ රසවින්දනය වෙනුවෙන් ප‍්‍රමිති ඇති කළ යුතුය. ලෝකයේ නොයෙක් රටවල පුද්ගලික මාධ්‍ය හෝ අන්තර් ජාලය වානිජ අරමුණු ඇතිව ක‍්‍රියා කරන විට ප‍්‍රශස්ථ මට්ටම ඇති කරන්නේ රාජ්‍ය පාලනය යටතේ පවතින මාධ්‍ය ව්‍යුහයයි. එපමණක් නොව රාජ්‍ය තුළ පවත්වන උත්සව, රාජ්‍ය ආයතන වලින් අනුග‍්‍රහය දක්වන සංස්කාතික අංග යනාදිය තුළ ප‍්‍රමිතිය නියෝජනය කළ යුතුය. අනුකාරකත්වය අත් හැරීම අවශ්‍යය. රස වින්දනය වෙනුවෙන් ඉඩ කඩ සැපයීම අවශ්‍යය. රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය එවැනි වෙනස්වීමක් වෙනුවෙන් හැඩගැසෙන විට සමාජය තුළ විචාරයේ ගුණය බලපවත්වන බව සඳහන් කරන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.