» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/01/2016 - ඉරිදා ලංකාදීප
පත්තරේ විස්තරය අන්තර් ජාලයට සීමා විය හැකිය

පත්තරය යන ආකෘතිය අදටත් ජන සමාජය තුළ සුවිශේෂි එකකි. නියම හැඩය, එහි ඇති තීන්ත සුවඳ සහ සිරස්තල වල ඇති ආකර්ශණීය බව සමග පුවත් පත යන සංකල්පය ජන සමාජය තුළ තහවුරු කර තිබේ. නමුත් නූතන භාවිතාව තුළ අන්තර් ජාල මාධ්‍ය භාවිතාව මෙම තීන්ත තැවරෙන මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය ආක‍්‍රමණය කරන්නට පටන්ගෙන තිබේ. එය නව ප‍්‍රවනතාවයකි.

ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බිසෝස් මෙයින් අවුරුදු දෙකකට කලින් ඇමරිකාවේ, වොෂින්ටන් පෝස්ට් පුවත් පත මිලදී ගනියි. මුද්‍රිත මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළට අන්තර් ජාල ආක‍්‍රමණයේ සංන්ධිස්ථානයකි. එම මිලදි ගැනීම ආන්දෝලනාත්මක එකකි. ඊ කොමස් නමැති අන්තර් ජාල වෙළඳාම ආරම්භ කර ඇමරිකානු ඩොලර් බිලියනපති ධන කුවේරයන්ගේ සාමාජිකයෙකු වූ හෙතෙම මුද්‍රිත මාධ්‍ය ක්ෂේත‍්‍රයට අත පොවන්නේ ඇයි? මෙම සිදුවීම මෙම ලිපි පෙලට මෙයට සති කිහිපයකට කලින් ලියමින් මේ ආකාරයටම චීනයේ ප‍්‍රධාන පුවත් පතක් වූ සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත මිලදී ගන්නට එරට ධන කුවේරයෙකු වූ ජැක් මා සමත් වූ බව සඳහන් කළේ ඒ වන විට පැවැති තත්ත්වය අනුවය. මෙම ගනු දෙනු ඔස්සේ ඇමරිකාවේ සහ චීනයේ පුවත් පත් කර්මාන්තය පරිවර්තනයකට ලක්විය හැකි අතර පුවත් පත වෙනුවට මෙම පුද්ගලයන් දෙනොම වඩා සමීප අන්තර් ජාල මාධ්‍ය භාවිතාවට යොමු විය හැකි යැයි ජාත්‍යන්තරය සැක කරමින් සිටියේය.

ඇමරිකාව පුලූල් පාරිභෝගික වෙළඳ පොල සහ ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති රටයි. නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත ලාභ උපයන ව්‍යාපාරයක් නොවන බව ප‍්‍රකට කරුණකි. පැරනි සහ සම්ප‍්‍රදායික පුවත් පත් ව්‍යාපාරය තුළ වොෂින්ටන් පෝස්ට් පුවත් පතට තිබුණේ ඉහළම පිළිගැනීමකි. ප‍්‍රකට ග්‍රෙහැම් අයිතිකාරත්වයට ඒ වෙනුවෙන් සම්භාවනීයත්වයක් තහවුරු කරන්නේය. එවැනි පසුබිමක් පවතින නමුත් මෙම මිලදී ගැනීම ගැන විශ්ලේෂණයක් කළ මතධාරීහු යම් ආකාරයක වෙනස් සහ අලූත් දෙයක් නුදුරු කාලයේ අන්තර් ජාලයේ මාධ්‍ය භාවිතාව තුළ සිදුවිය හැකි බවට අදහස් දැක්වීය. ඉතා ධනවත් ව්‍යාපාරිකු වන ජෙෆ් බිසෝස් සම්ප‍්‍රදායික පුවත්පත් කර්මාන්තයේ අයිතිකරුවකු වන්නට තිරණය කරන්නේ ඇයි ද යන ප‍්‍රශ්නය දැන් ක‍්‍රමයෙන් උත්තර ලැබෙමින් තිබේ.

ජෙෆ් බිසෝස් පාරිභෝගික තෘප්තිය ගැන ඉහළින් තකන්නෙකි. පාරිභෝගිකයාගේ උවමනාව සාක්ෂාත් කිරීම සාර්ථකත්වය බව හෙතෙම තදින් විශ්වාස කරයි. ඔහුගේ ඊමේල් ලිපිනයට පසුගිය දිනයක කෙටි ලිපියක් ලැබුණි. එය වොෂින්ටන් පෝස්ට් පාඨකයෙකු ගෙන්ය. ඔහුගේ පැමිණිල්ල වූයේ අන්තර් ජාල ඇප් එක ඔස්සේ පුවත් පත කියවන්නට ලැබෙන පරිදි සකස් වෙන්නට එනම් බාගත කරගන්නට විශාල කාලයක් මිඩංගු වන බවය. කාර්ය බහුල වේගවත් සමාජ ක‍්‍රමය තුළ සිය පුවත් පත පරිභෝජනය කරන 'පාරිභෝගිකයෙකුගෙන්' යොමු වූ මෙවැනි පැමිණිල්ලක් නොසලකා හැරිය යුතු එකක් නොවන බව ජෙෆ් තීරණය කරයි. ඔහු නොපමාව එය පුවත් පත භාර නිලධාරියාට යොමු කර එයට හේතුව විමසයි. ඔහු උත්තර දෙන්නේ යම් ප‍්‍රමාදයක් ඇති නමුත් එය ඉක්මනින් සකස්කර තත්පර දෙකකින් ඇප් එකට ඩවුන් ලෝඞ් වන සහ එමගින් පැහැදිලිව පුවත්පත කියවන්නට හැකිවන ආකාරයට සකස් කරන බවයි. නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් වියදම් කර 2013 දී තමන් මිලදී ගත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත කියවන්නට තත්පර දෙකක් වැය කිරීම පවා ප‍්‍රමාදයක් වශයෙන් ජෙෆ් නිරීක්ෂණය කරයි. ඔහු කියන්නේ තත්ත්පරයකින් දාහකින් පංගුවක් තුළ පුවත්පත වෙබ් ඇප් එකකින් කියවන්නට පහසුව තිබිය යුතු බවය. පාඨකයන්ට මුල් තැන දෙන භාවිතාව ගැන මෙයට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.

ජෙෆ් බිසෝස් පාරිභෝගික තෘප්තිය ගැන සැලකිල්ලක් දක්වන්නෙකි. මෙම අරමුණ සාක්ෂාත් කරගන්නට සති දෙකකට වතාවක් කර්තෘ මණ්ඩලය හමුවෙන්නට ඔහු දැන් යෝජනා කරයි. මෙම හමුවීම මත අයිතිකාරයාගේ භූමිකාව මතු වෙමින් තිබේ. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ අධිපතිවරයා වූයේ කර්තෘවරයාය. අයිතියට වඩා කතුවරයාගේ භූමිකාව බලවත්විය. පෘථුල දැනුමක් ඇති දාර්ශනිකයෙකි. එය නිරූපනය කරන්නේ කතු වැකියයි. කර්තෘට ලියුම් වලින් ජන මතයට ඉඩ සම්පාදනය කළ අතර ප‍්‍රවෘත්ති වාර්තාකරණය සමබර එකක් විය. නමුත් ජෙෆ් බිසෝස් සූදානම් වෙන්නේ කර්තෘ බලතල ජනප‍්‍රියවාදයට ඇතුළු කරන්නටය. වෙළඳ පොල තුළ පාඨකයන් ඉල්ලන දේ දෙන්නට සූදානම් පුවත් පත් රටාවක් ඇති කරන්නටය. සති දෙකකට වතාවක් කර්තෘ මණ්ඩලය හමුවන කර්තෘ වරුන් ඔහු අභිමුවට කැඳවන පුවත් පත් කලාවකට වොෂින්ටන් පෝස්ට් පත්වන අතර තුර පුවත් පත් කර්මාන්තය ද අන්තර් ජාලය වෙත පරිවර්තනය වෙමින් තිබේ. අද වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් අන්තර් ජාල සම්බන්ධතා සහිත වන අතර මෙම ප‍්‍රමාණය තව දුරටත් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අන්තර් ජාලය පරිහරණය කරන සමාජය තොරතුරු කියවන්නේ සම්ප‍්‍රදායික පුවත් පතෙන් නොවේ. අත ඇති ස්මාට් දුරකථනයෙන්ය. වොෂින්ටන් පෝස්ට් පුවත් පත මේ ආකාරයේ පරිවර්තනයක් සිදුවන විට ඉතා ඉක්මනින් තොරතුර සමාජගත වන සහ එය කෙරෙහි ඇති කරන බලපෑම ඉතාම සියුම් ආකාරයට වෙනස් පැති කරා යොමු වෙමින් පවතී.

අන්තර් ජාල ප‍්‍රවෘත්ති සන්නිවේදනය ලෝක ජන මාධ්‍ය භාවිතාව රාමු කරන ආකාරය දෙස අවධානය යොමු කරන විට ශ‍්‍රී ලංකාවේ අන්තර් ජාල තොරතුරු සන්නිවේදනයෙහි භාවිතාව ගමන් කරමින් සිටින දිසාව කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යය. අනාගතයේ දී මාධ්‍ය භූමිකාවේ ප‍්‍රධාන කාර්ය භාරයක් අන්තර් ජාල පුවත් පත් හා වෙබ් අඩවි වලට හිමිවිය හැකිය. පුවත් පත පමණක් නොව සියලූ විද්‍යුත් මාධ්‍ය පවා අලූත් රාමුවක් තුළ නවීන තාක්ෂණ යුගයට ඇතුලූ විය හැකිය.

එක පැත්තකින් කර්තෘවරයාගේ බලය ආයෝජකයාගේ අණසකට යටත්වන සහ පාරිභෝජනවාදයට නතුවන විට මුද්‍රිත පුවත් පතක අන්තර්ගතය කෙබඳු විය හැකිද? අනෙක් පැත්තෙන් අන්තර්ජාලය බලවත් වන විට පුවත් පත සතු රාමුව කෙබඳු එකක් ද? ශ‍්‍රී ලංකාවට ද මුහුණ දෙන්නට සිදුවිය හැකි තත්ත්වය එයට වෙනස් වෙන්නට ඉඩක් නැත. අනාගතයේ දී වෙළඳ පොලට ගැලපෙන ආකාරයට ප‍්‍රවෘත්ති පත‍්‍රය හදන්නට අයිතිකාර බලපෑමක් ඇතිවියහැකිය. ප‍්‍රවෘත්ති පාරිභෝජනය කරන පාඨකයාගේ රුචිය අනුව පුවත්පතේ අන්තර්ගතය සහමුලින්ම වෙනස් කරන්නට ඉඩ කඩ තිබේ. දැනට එම තත්ත්වය පාලනය කරන්නේ කර්තෘවරයාය. ඔහුට ඒ වෙනුවෙන් පෙනී සිටින්නට පෞර්ෂයක් තිබේ. නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත මිලදී ගත් ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බිසෝස් පාරිබෝගිකයා පදනම් කරගෙන මාධ්‍ය හදන්නට සූදානම් වන ගමන තුළ තවත් අවුරුදු දහයකින් මෙම කර්මාන්තය පැවැතිය හැකිතත්ත්වය කුමක්ද? මේ වෙනුවෙන් සූදානම්වීම සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට කර්තෘ මණ්ඩලයට අදහසක් අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.