» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/05/2016 - ඉරිදා ලංකාදීප
හතරවැනි බලකේන්ද්‍රය ස්වයං පාලිත ව්‍යුහයක් කරගැනීම

රාජ්‍යය තුළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින හතරවැනි ව්‍යුහය වශයෙන් සලකන්නේ ජනමාධ්‍යයයි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය හැරුණ විට පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මාධ්‍ය සතු සුවිශේෂී කාර්ය භාරයක් තිබේ. මාධ්‍ය පාලනය කිරීමට ස්වාධීන අධිකාරියක් පිහිටුවීම ගැන අදහස් පළවෙන්නේ මේ අතරවාරයේය. මාධ්‍ය පාලනය කිරීමට අලූත් අණ පණත් යෝජනා කළ යුතු යැයි ද ප‍්‍රකාශ වෙයි. මෙයින් අදහස් කරන්නේ මෙරට මාධ්‍ය භාවිතාව යම් ආකාරයක නරක එකක් බව සමාජ අසතුටක් ගොඩනැගී ඇති බව අනුමාන කිරිමෙන් විය හැකිය. ජනමාධ්‍ය පෙනී සිටින්නේ ජනතාවගේ යහපත වෙනුවෙන්ය. මාධ්‍ය වෙනුවෙන් ආණ්ඩුව හෝ වෙනත් ස්වාධීන ආයතනයක් ‘‘ක‍්‍රියා කළ යුතු ආකාරය’’ ගැන යම් රාමුවක් සකස් කරන්නට සූදානම් වීම විශේෂ සංවාදයට ලක්විය යුතු එකකි. හතරවැනි ව්‍යුහය පාලනය කරන්නට සමාන්තර ව්‍යුහයකින් කොන්දේසි සකස් කරන අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වලට අත්පත් විය හැකි ඉරණම කුමක්ද?

මෙරට මාධ්‍ය ඉතිහාසය ආරම්භ වන්නේ පුවත් පත් වලින්ය. එයට ආභාෂය ලැබෙන්නේ බටහිර රාමුවෙන් බව සැලකිය හැකිය. යටත් විජිත කාලය තුළ එම රටවල පුවත් පත් පළ කිරීම ඒවායේ පසුබිම මෙරට මාධ්‍ය විකාශට ද, බලපෑමක් ඇති කළේය. සම්ප‍්‍රදාය බිහිවෙන්නේ ඒ අනුවය. පසු කාලයක විද්‍යුත් මාධ්‍ය සහ අන්තර් ජාලය ජනමාධ්‍ය භාවිතාවට එකතු වී ඇත. මුද්‍රිත මාධ්‍ය මගින් කිසියම් අපසුවක් ඇති කරන ලද්දේ නම් සාමාන්‍ය අපරාධ නීතිය අනුව නඩු පවරන්නට ඉඩකඩ තිබිණ. සමහර රටවල මාධ්‍යකරණය ද අපරාධ නීතියට යටත්ය. නමුත් 2001 දී පමණ ශ‍්‍රී ලංකාවේ දී එය ඉවත් වූ අතර පුවත්පතක අනාවරණයකින් යම් අසාධාරණයක් වූ විට එයට උත්තර ලියන්නට, එයින් සාධාරණයක් ඉටු නොවන තැන පුවත්පත් පැමිණිලි කොමිසමට දන්වන්නට සහ එයින් ද අතෘප්තිමත් නම් එය පදනම් කරගෙන අධිකරණයට යන්නට අවස්ථාව තිබේ. පුවත්පත් වල ට එසේ නමුත් එයින් පසු විද්‍යුත් මාධ්‍ය සහ අන්තර් ජාල මාධ්‍ය විකාශය වන විට ඒවායෙන් සිදුවන සන්නිවේදනය කෙරෙහි කි‍්‍රියා කරන්නට යාන්ත‍්‍රනයක් සකස් වූයේ නැත. විද්‍යුත් මාධ්‍ය සහ අන්තර් ජාලය ඔස්සේ සිදුවන සන්නිවේදන ගැටලූ බේරුම් කරගැනීමට ක‍්‍රමවේදයක් අවශ්‍යය. එය සියලූ පාර්ශව එකතු වි කරන සන්නිවේදන කතිකාවතකින් අනතුරුව සිදු විය යුතුය.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය විකාශන අවසරය බලපත‍්‍ර ක‍්‍රමයකට යටත්ය. අන්තර් ජාල මාධ්‍ය පවා ලියා පදිංචි වන ලෙස යෝජනා කරමින් තිබේ. විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් තරංග බෙදා දෙන ආකාරය ගැන අන්තර් ජාතික ප‍්‍රමිති තිබේ. බලපත‍්‍ර නිකුත් කරන සහ ඒවා ස්වාධිනව පාලනය වන දියුණු ක‍්‍රම ඇත. මෙරට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සියලූ මාධ්‍ය තමන්ට ගැලපෙන මෙවැනි සමබර සංවිධානාත්මක ව්‍යුහයක් ගැන සාකච්ඡා කරන්නට අවශ්‍යය. නමුත් ශ‍්‍රී ලංකාව එවැනි ක‍්‍රම අනුගමනය කර නැත. විද්‍යුත් මාධ්‍ය ඩිජිටල් කරණයක් ගැන මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ. පසුගිය කාරණා එසේ තිබිය දී ඩිජිටල් ක‍්‍රමවේදයේ සිට මෙරට විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ බලපත‍්‍ර නිකුත් කරන විනිවිද පෙනෙන අලූත් ව්‍යුහයක් සකස් කළ හැකිය. ජාතික සම්පත් වශයෙන් සලකන තරංග උයාම නිකුත් කර, පසුව එම ආයතන ආණ්ඩුවේ උවමනාවට එරෙහිව ක‍්‍රියා කරන්නේ නම් බලපත‍්‍ර දීර්ඝ නොකිරීම වැනි ක‍්‍රියාපටිපාටියකට ගමන් කළ හැකි බව දැක්වීම අද සිදුවන ක‍්‍රමයයි.

පෙනෙන ආකාරයට මෙරට මුද්‍රිත, ගුවන් විදුලි, රූපවාහිනි සහ අන්තර් ජාල මාධ්‍ය අතර අන්තර් සම්බන්ධතාවයක් නැත. ජනමාධ්‍ය යන පොදු ආමන්ත‍්‍රණයෙන් තරගකාරීව ව්‍යාපාරයක් ලෙස මෙහෙයැවෙන නමුත් මෙම ආයතන අතර සම්බන්ධතා නැත. පොදුවේ සාකච්ඡා කර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ කවර ආකාරයකට දැයි එකඟතාවයක් ඇති කරගන්නට සූදානම් නැත. එවැනි පසුබිමක් තුළ මෙරට ජනමාධ්‍ය යුක්ති සහගතව ව්‍යාපාර කරන සහ ජනතාවට තොරතුරු ඉදිරිපත් කරන රාමුවක් ඇති කර ගැනීම වැදගත්ය. ජනමාධ්‍ය ක‍්‍රියාත්මකවීමේ දී ජනතාවට යම් අසාධාරණයක් හෝ ඔවුන්ගේ පැත්තෙන් යමක් කියන්නට ඇත්නම් ඒවා විමසා බලන ක‍්‍රමවේදයක් තිබිය යුතුය. සියලූ මාධ්‍ය නියෝජනය කරන ස්වාධීනව මෙහෙයැවෙන ආයතනයක් පිහිටුවිය හැකිය. එයින් පාඨක, ශ‍්‍රාවක සහ නරඹන සියලූ දෙනා අතර විශ්වාසනීයත්වයක් ඇති කළ හැකිය. යම් කාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කර මාධ්‍ය භාවිතාව තුළ ස්වයං පාලනයක් ඇති කර ගන්නට එය එයින් පිටිවහලක් ලැබේ.

එවැනි වෘත්තීය සමබරතාවයක් ඇති නොවන ජනමාධ්‍ය අද දේශපාලණී කරනය වෙමින් තිබේ. දේශපාලන පක්ෂ බලයේ ඉන්නා විට මාධ්‍ය දෙස බලන ආකාරය සහ බලය නැති අවස්ථාවේ දී බලන ආකරය වෙනස්ය. මාධ්‍ය මගින් හෙළිදරව් කරන කාරණා සම්බන්ධයෙන් අති විශාල වන්දි ඉල්ලා එන්තරවාසි යවන සහ නඩු පවරන අතර ආණ්ඩු මාරු වෙන විට ඒවා නිරායාසයෙන්ම සමතයකට පත්වන තැනට හැරෙයි. මෙයින් සිදුවන්නේ මහජන විශ්වාසය පලූදුවීමකි. මාධ්‍ය සම්බන්ධ පවතින ද්‍රෘෂ්ටිය පලූදු වීමකි.

තොරතුරු ඉදිරිපත් කරන විට ඒවා පක්ෂග‍්‍රාහී නොවී මධ්‍යස්ථව ඉදිරිපත් කිරීම පමණක් නොව ජනතාව දැනගත යුතු සත්‍ය හෙළිදරව් කරන්නට හැකි නිර්භීත වටපිටාවක් ජනමාධ්‍ය ව්‍යුහය තුළ සකස් කරගත හැක්කේ විනිවිද දකින නව ක‍්‍රමවේදයක් ඇසුරෙන් පමණකි. පාලනය සහ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන විනිවිද පෙනෙන ආකාරයට ක‍්‍රියා කිරීම ජාත්‍යන්තරයේ අද පිළිගැනීමට ලක්වී ඇති හොඳම ව්‍යුහයයි. තවත් පාර්ශවයකින් පාලනය කිරීමට වඩා ජනතාවට ඒත්තු ගැන්වෙන ආාකරයට තින්දු ගැනීම තුළ ජනමාධ්‍ය කාර්ය භාරය පවතින රාමුවට වඩා බලවත් එකක් බවට පත් කළ හැකිය. අපේක්ෂා කරන මාධ්‍ය නිදහස හෝ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ද එය මහඟු බලපෑමක් වනු ඇත.

ජනමාධ්‍ය ආයතන විශේෂයෙන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ජාලා එකතු වී තමන්ට අනන්‍ය ආකාරයට විනිවිද පෙනෙන පොදු පාලන ව්‍යුහයක් සකස් කරගැනීම ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. හතරවැනි බලවතා වශයෙන් තමන්ම තමන්ගේ නෛතික සීමව සහ යුක්තිගරුක හැසිරීම විදහා නොදක්වන විට ඒ වෙනුවෙන් මැදිහත්වීමට ආණ්ඩුවට සිදුවන්නේය. ජනතාව පවරන බලය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට බලයට පත්වන ආණ්ඩුවක් නමුත් ජනමාධ්‍යයේ පාලනයට හෝ විකාශනය සම්බන්ධයෙන් නීති සකස් කරන්නට නොඑසේනම් ආචාරධර්ම පද්ධතියක් සකස් කරන්නට සූදානම් වෙයි. එය හොද පැත්තක් නොවේ. ජනමාධ්‍ය භාවිතාව තමන්ට අනන්‍ය සහ යුක්ති සහගත එකක් බවට පත්කරගත හැකි නම් ආණ්ඩුවෙන් නීති පනවන්නට අවශ්‍ය නැත. ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මාධ්‍ය ආණ්ඩුවේ නීති වලින් පාලනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්ත්වයක් නොවේ.

තමන්ගේ ගමන වෙනුවෙන් ජනමාධ්‍ය මගින්ම රාමුවක් සකස් කර නොගතහොත් ආණ්ඩුවේ මැදිහත්මක් සිදුවිය හැකිය. සමාජය පවා එවැනි අවශ්‍යතාවයක් ඇතිබව පිළිගතහොත් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් නීති රීති පනවා මාධ්‍ය අධිකාරි පිහිටුවීම හොද අදහසක් යැයි කියන්නට බැරි නැත. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය පාලනයට ආණ්ඩුවෙන් නියාමනයක් ගෙන එන්නට කලින් තමන්ම සාධාරණ ව්‍යුහයක් සකස් කරගැනීමට උනන්දු වීම වැදගත්ය. මාධ්‍ය ආයතන අතර පවතින බෙදීම් තුරන් කළ යුතුය. මුද්‍රිත සහ විද්‍යුත් යනුවෙන් බෙදී දුරස්ථව ක‍්‍රියා කරන ආකාරයෙන් ම දුබලතා මතුවන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන උවමනාවෙන් යම් ආකරයකට දුරස්ථවෙයි. අද පවතින තත්ත්වය සමාලෝචනය කර අලූත් ආකාරයකට ව්‍යුහය සකස් කරගන්නට මාධ්‍ය ආයතන එකමුතු නොවුනහොත් ඒ වෙනුවෙන් මැදිහත්වෙන්නට ආණ්ඩුව පියවර ගන්නා වග නිසැකය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන පියවරක් නොවේ. ස්වාධීන මාධ්‍ය ව්‍යුහයක් ගැන එයින් පසු අපේක්ෂා තැබිය නොහැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.