» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/03/2019 - දේශය
ගූගල් සමාගමෙන් ස්මාට් නගරයක්

කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ නොසලකා හැර තිබුණ ප‍්‍රදේශයක වග තුග ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබේ. එයට හේතුව ලෝකයේ පළමු ස්මාට් නගරය තනන්නට ඇති සූදානමයි. සුප‍්‍රකට ගූගල් සමාගම එයට මුල් වී සිටී. ඇපල් සන්නාමයට පසු ලෝකයේ ප‍්‍රබලම සන්නාමය සේ නැවත නැවතත් සම්මාන දිනා ඇති ගූගල් සමාගම 1988 වසරේ බිහි වූ අතර අද වන විට වැඩිම වාර ගණනක් ප‍්‍රවේශ වූ අන්තර් ජාල අඩවිය වශයෙන් එම සමාගමේ වෙබ් අඩවිය පිලිගැනීමට ලක් ව ඇත. අන්තර් ජාල සේවා, ඔන්ලයින් දැන්වීම් තාක්ෂණය, සෙවුම් යන්ත‍්‍ර, ක්ලවුඞ් පරිගණක, මෘදුකාංග හා දෘඩාංග ගැන කියැවෙන විට ගූගල් පෙරමුණෙහි සිටී. අනාගතය සම්පූර්ණයෙන්ම තාක්ෂණ පසුබිමකට හැරවෙන විට ස්මාට් නගරයක අවශ්‍යතාව මතු වී තිබේ. ගූගල් සමාගම ටොරන්ටෝ නගරයේ පැත්තක තිබුණ මත්ස්‍ය සැකසුම් කලාපයක ප‍්‍රයෝජනයට නොගත් ඉඩම් ප‍්‍රමාණයක අලූත් ස්මාට් නගරය ඉදිකරන පියවර ගෙන තිබේ.

වර්තමානයේ නගර වල බලවත් ගැටළු බවට පත්ව ඇති අධික තදබදය, අකාර්යක්ෂම සේවා සහ ඉල්ලූමට තරම් නොසෑහෙන නිවාස ප‍්‍රශ්නය පළමු තැනෙක සේ සලකා මෙම නගරය සැලසුම් කරනු ඇත. නිල් ගොඩනැගිලි සංකල්පය මෙහිදී අනුගමනය කෙරේ. හරිත ගොඩනැගිලි සංකල්පය ජාත්‍යන්තරයේ ක‍්‍රියාත්මකය. එහි දී පරිසර සාධක සලකා බලයි. ගහ කොළ පවතින වටපිටාවක ඉදි කෙරේ. නිල් ගොඩනැගිලි ඉතා විශාල ඒවා සේ ඉදිකරන නමුත් එහි ජීවත්වන පිරිසට ඉතා පහසුවක් දැනෙන ආකාරයට නිර්මාණය කර ඇත. ස්වභාවිකව දැනෙන ඉක්මනින් අනෙක් සේවා වලට ළඟා විය හැකි ආකාරයට නිල් ගොඩනැගිලි නිර්මාණය වන අතර ඒවායේ වාසස්ථානය හිතට අස්වැසිල්ලක් වන බව සැලකේ. මාර්ග තැනීමේ දී ජනයාට පහසුවෙන් ගමනා ගමනයට ඉඩ ලැබේ. වීදි වල පයින් ඇවිදින පිරිස කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සාමාන්‍යයෙන් ගොඩනැගිලි රහිතතැන් වල ‘‘රේන් කෝට්’’ සංකල්පයක් හදුන්වා දී තිබේ. එය පරිසර උෂ්ණත්වය පාලනය කරන ක‍්‍රමයකි. මහ මග ඇවිදින විට අධික සීතල හෝ අධික උණුසුම දැනෙන්නේ නැත. විනිවිද පෙනෙන ආවරණ මගින් පරිසරයේ කාලගුණ වෙනස්කම් පාලනය කෙරේ. ටොරොන්ටෝවේ හිම මිදෙන කාලයට පවා මෙම ස්මාට් නගරයේ තත්ත්වය ඉතාම යහපත් වනු ඇත. පදික වේදිකා වල දී හිම උණුසුම් කර ඒවායේ ගමන් කරන අය ලිස්සා වැටෙන අවස්ථා සම්පූර්ණයෙන්ම පාලනය කරයි.

නගරාලෝකකරණය අනෙක් වැදගත්ම කාරණයකි. වාහන ගමන් කරන ස්ථාන, පදික වේදිකා යනාදිය වෙනස ආලෝක වලින් ස්වයංකී‍්‍රයව ආලෝකවත් වන අතර ඒවායේ ලෙඞ් විදුලිය පහන් වලින් නොයෙක් වර්ණ ඇති කර ජනතාවගේ අවධානය වෙනස් කරන්නට හැකියාව ලැබේ. වීදියේ සීමා සළකුණු කිරීම නවීන ආකාරයකට සිදුවන අතර ඉතාම පහසුවෙන් මාර්ග වෙන්කර අවශ්‍යනම් පාපැදි වලට මංතීරු වෙන් කරන්නට ද ස්මාට් ආකාරයකට කළ හැකිය. වීදියේ ගමන් කරන වාහන හෝ ජනී ජනයා කුඩා රහසිගත කැමරා වලින් පටිගත කරන අතර එසේ කරන්නේ හිතට අනියත බියක් ඇති නොකරන ආකාරයකටය. පටිගත කරන දර්ශන ස්මාට් පරිගණක පද්ධති වලින් හදුනාගෙන අනාරක්ෂිත භාවය සහමුලින්ම තුරන් කරනු ඇත. මගීන් ගේ හෝ වාහන වල හැසිරීම නිරීක්ෂණය කර අවශ්‍ය පරිදි නගරය වහාම සැලසුම් කිරීමට හැකියාව ලැබේ. එය ජීවත්වන ජනතාවගේ ප‍්‍රතිචාර අනුව සැලසුම් කිරීමක් වශයෙන් නම් කර ඇත. හේතුව එක පැත්තකට පමණක් ගමන් කරන ස්වභාවයක් නිරීක්ෂණය කරන විට එම පැත්තට පොදු පහසුකම් නංවන ක්ෂණික තිරණ ගත හැකි පරිදි බව දැක්වේ.

කැනඩා රජයට අයත් ඉඩම් පසුගිය 2017 වසරේ දී මෙම ස්මාට් නගර යෝජනාවට වෙන් කරගත් අතර පළමු පියවර වශයෙන් අක්කර දොලහක ස්මාවක් දියුණු කිරීමට ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියනයකි. පන් දහසක පිරිසක් වෙනුවෙන් ස්මාට් නිවාස එහි ඉදිවෙයි. දෙවැනි හා තුන්වැනි අදියර වල දී අක්කර 350 ක් සහ හැත්තැ පන්දහසකට වාසස්ථානය සකස් වන පරිදි මෙම ස්මාට් නගරය ඉදිකරන්නට හැකි වෙතැයි විශ්වාස කෙරේ.

ස්මාට් නගර ඉදිකරන සංකල්ප ලෝකයේ නොයෙක් අවස්ථා වල වාර්තා වී තිබේ. වෝල්ට් ඩිස්නි එයට සූදානම්ව සිටි නමුත් ඔහුගේ අභාවයෙන් එය පසෙකට විය. එය 1960 ගණන් වලය. පසුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තය ස්මාට් අන්දමට දියුණු කළේය. ඇරිසෝනා ප‍්‍රාන්තයේ කාන්තාර ප‍්‍රදේශයක් ස්මාට් නගරයක් කරන්නට 2017 වසරේ දී සුප‍්‍රකට ව්‍යවසායක බිල් ගේට්ස් ඇමරිකානු ඩොලර් මිලියන අසූවක් ආයෝජනය කර ඇත. ටොරන්ටෝ ප‍්‍රයත්නය එයට එහා ගිය දියුණු අදහසක් වී ඇත.

ටොරොන්ටෝ ස්මාට් නගරය හැදෙන අවස්ථාවේ දී දේශපාලනඥයන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන්, ජනතා සංවිධාන හා විවිධ උපදේශකයන් එකිනෙකට වෙනස් විවිධ අදහස් පළ කර තිබේ. ඒවාට අනුව මෙම සැලැස්ම සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත් වෙන්නට ද බැරි නැත. නමුත් නගරය සැලසුම් කරන වෘත්තීයවේදීහු සම්පූර්ණයෙන්ම ජනහිතකාමී නගරයක් හදා එතැන රැකියා අවස්ථා බිහි කරන්නට ද සූදානම්ය.

ස්මාට් නගරය හදන අතරවාරයේ මෙහි පැවැත්ම ගැන විශාල සංවාදයක් ඇති කරන්නට සංවිධායකයෝ සූදානම්ය. අනාගත නගරයක පුරවැසියන්ගේ මානසිකත්වය එහි ඇති කරන්නට මහන්සි වෙති.

ටොරොන්ටෝ ස්මාට් නගරයේ පුස්තකාලයේ සාමාජිකත්වයේ සිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඇති කාඞ්පත පවා ස්මාට් හා ඩිජිටල් තාක්ෂණයෙන් පොහොසත්ය. පැය විසි හතරම රොබෝවරුන් වැනි කෘතීම බුද්ධියේ පාලනයට යටත්ය. වාහන පවා රියැදුරු රහිතව ධාවනය කරන සැලසුම් තිබේ. කැලිකසල වර්ගීකරණය පවා කෘතීම විද්‍යුත් සංවේදක සහිත රොබෝවරුන්ගේ හදුනා ගැනීමට ලක් වෙයි. තෝරා වෙන් කිරීම පහසු හෙයින් කසල බැහැර කිරීම නගරයට ප‍්‍රශ්නයක් වෙන්නේ නැත. නගරයේ පාලනය හා ජාතික ආණ්ඩුවේ මැදිහත්වීම ඉතාම දියුණු තත්ත්වයකට හරවන අතර පලාත් පාලන ආයතන හා රජයේ කාර්යාල වල සේවා කෙලින්ම අන්තර් ජාලය මගින් කර ගැනීමට ඉඩ කඩ ලැබේ. බොහෝ විට මෙම ස්මාට් නගරයේ ජීවත්වන පුරවැසියන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය පවා ස්මාට් විය හැකි බව ප‍්‍රකාශ වී තිබේ.

නගරයේ ඉදිකිරීම් නොබෝදා කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ගේ අවධානයට ලක්ව ඇත. ලෝකයේ පැවැත්ම වෙනස්වන අතර එයට මුහුණදීමට සූදානම් විය යුතු බව ස්මාට් නගරය හැදෙන තොරතුර ගැන දේශපාලනඥයන් මතු කර ඇති අදහසකි. එක්කෝ ලෝකයේ හොඳම තැන විය හැකිය. මිහිපිට දිව්‍ය ලෝකයකි. නැත්නම් ඉතාම නරක තැන වෙන්නට බැරි නැති බව විචාරකයන්ගේ කල්පනාවයි.