» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/01/2021 - දේශය
මුදලාලි ග‍්‍රහණගෙන් පාරිභෝගිකයා නිදහස්

වෙළද ව්‍යාපාර තුළ අතරමැදියෝ සිටිති. නිෂ්පාදනය එක තැනෙකය. තොග වශයෙන් මිල දී ගන්නෝ සිටිති. ඒවා නැවත නැවතත් වෙළදුන් අත හුවමාරු වෙයි. අවසානයේ දී පාරිභෝගිකයා මිල දී ගන්නේ අතින් අත හුවමාරු වූ භාණ්ඩයකි. හත් අට පොලක දී අතරමැදියන් ලාභ උපයන විට ඒවාට වන්දි ගෙවන්නේ පාරිභෝගිකයෝ බව අමතක කළ යුතු නැත. නීති හදා මිල පාලන වැටලීම් කළ යුගය අවසන් වෙමින් තිබේ. මුදලාලිලා නැත. මෙරට ව්‍යවහාරයෙන් සදහන් කළහොත් ජාවාරම්කාර මාෆියාව අහෝසි වන දිනය අත ළගය. වෙළදාමට තාක්ෂණය එකතුවෙයි. නිපදවන තැන හා පාරිභෝගිකයා අතර සෘජු සම්බන්ධතා වලින් නැවුම් නිෂ්පාදන අඩුම මිලට සැපයෙන රාමුවක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා අනාවරණය කරයි.

අන්තර් ජාලයෙන් ඇනවුම් කළ හැකි අතර නිවසටම පැමිණෙයි. ඇමරිකාව, චීනය යන රටවල දැන් ඉතාමත් ජනප‍්‍රිය වී තිබේ. පොදුවේ වෙළද පොලට නිපදවන සංකල්පය ද සීමා වන ලකුණු පහල වී ඇත. පාරිභෝගිකයෙකුට තමන් කැමැති ඇදුමක් රහිත විලාසිතාව හෝ වර්ණය අනුව අනන්‍ය ආකාරයකට ඉල්ලා සිටියහොත් එය වහා සපයන්නට තරම් ඇගළුම් කර්මාන්තයට තාක්ෂණය ඇතුළු වී ඇත. එය නිෂ්පාදකයා කෙලින්ම එක පාරිභෝගිකයෙකුට සපයන ඇදුමකි. ආහාර පාන යනාදිය පවා කලින් ඇනවුම් කළ පරිදි තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයෙන් අවශ්‍ය රස කාරක සහිතව නැවුම්ව පුද්ගලයෙකුට වෙන්කර නිපදවන ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර නිපදවා ඇති අතර ඒවා කාර්ය බහුල සමාජය තුළ භාවිතාව ඇරඹී තිබේ. නිවසේ දී ඇනවුම් කරන ආහාරය අතරමග නියමිත තැනකින් වාහනයේ සිට මිල දී ගත හැකි තරමට ව්‍යුහය වෙනස් කර ඇත.

මෙවැනි ඇනවුම්, පුද්ගල මිල දී ගැනීම් යනාදී වෙළදාම පවා නැවතත් සංකීර්ණ පැත්තකට හැරී තිබේ. එයට අනුව කිසිම මනුෂ්‍යයෙකු සම්බන්ධයක් නැති වෙළදාම් ක‍්‍රමයක් ද හදුන්වා දී තිබේ. ප‍්‍රකට ඇමේසන් ව්‍යාපාරය එය 2018 දී පාරිබෝගිකයන්ට සැපයීය. චිකාගෝ නගරයේ අරඹන ලද අලෙවිසැලක කැමරා සිය ගණනක් සහ ඒවාට සම්බන්ධ වූ සෙන්සර් උපාංග විශාල ප‍්‍රමාණයකි. වෙලද සැලේ පාරිභෝගිකයා හදුනා ගන්නා යන්ත‍්‍ර එතැනට පැමිණ භාන්ඩ තෝරාගෙන පිටත්වන ගනුදෙනුකරුවන්ගේ ගිණුමෙන් මොහොතකින් මුදල් අය කරගැනේ. ඇමේසන් වෙළද ජාලයේ ගිණුමක් පමණක් ප‍්‍රමාණවත්ය. ගිණුම් හිමියා ස්වයංක‍්‍රීයව හදුනා ගන්නා යන්ත‍්‍ර අතට ගෙන දොරටුවෙන් ඉවත්වන පාරිභෝගිකයෝ කරන මිල දී ගැනීම අනවශ්‍ය හිරිහැර වලින් තොර කරන ව්‍යාපාරයක් බවට හාරවා ඇත. ඇමේසන් සමාගම මෙම වෙළද සැල් සැන් ප‍්‍රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලීස් නගරවල අරඹන ලද අතර පසුව ඉන්දුනීසියාවේ ජකර්තා නගරයට ද හදුන්වා දී තිබේ. චීනයේ ඞී.ජේ ඩොට් කොම් නමැති ව්‍යාපාරය සම්පූර්ණ ස්වයංකී‍්‍රය වෙළද සැල් සියයක් ආරම්භ කරන්නට සැලසුම් කර තිබේ. එය දැන් ඇමේසන් සමාගම චීනයේ පවත්වාගෙන යන කාර්ය මණ්ඩලයක් නැති පරිගණක ගත වෙළද සැලට එකතුවක් වශයෙනි.

චීනයෙන් අනාවරණය වන කරුණු අනුව එරට ග‍්‍රාමීය ජනතාවට පවා නගරයේ ඇති වෙළද සැල් වලට ප‍්‍රවේශවන තාක්ෂණය සකස් කර ඇත. සෙන්සර් පද්ධතියක් මගින් ගනුදෙනුකරු හදුනා ගන්නා අතර ඕනෑම තැනකින් ඇනවුම් කරන හෝ මිල දී ගන්නා දේ පාරිභෝගිකයා අතට පත් කෙරේ. අලිබාබා හා ඞී.ජේ. ඩොට් කොම් සමාගම් සේවා සැපයීමේ දී සෑහෙන ප‍්‍රගතියක් පෙන්වා තිබේ. චීනය වී චැට් හා අලි පේ ක‍්‍රමයට මුදල් ගෙවන්නට හුරුවෙමින් සිටියේය. එවැනි ක‍්‍රම වලින් බටහිර රටවල වෙළද පොල වලින්න මිල දී ගැනීම කළ නොහැකි තැනක තිබුණි. තාක්ෂණය එය වෙනස්කර තිබේ. අලිපේ වලින් ගෙවන අතර සුප‍්‍රකට වෝල්මාර්ට් වෙළද සංකීර්ණයේ අලෙවියට තබා ඇති දෙයක් චීනයේ දුර බැහැර නගරයකට ලැබීම අලූත්ම අත්දැකීමක් වී ඇත. තාක්ෂණය හා වෙළද සහකරුවන් නැති වෙළදාමක් මගින් රැකියා අහිමිවීමක් ගැන භිතියක් තිබුණත්, වෙළද සැල තුළ මුදලාලි සංකල්පය වෙනුවට මිල දී ගන්නා දේ වහා ප‍්‍රවාහනය කරන්නට තවමත් මිනිස් ශ‍්‍රමය භාවිතා කරන බව චීනය දක්වයි. කෙසේ වෙතත් අනාගතයේ දී ඩ්‍රෝන තාක්ෂණය ද එකතු වෙන්නට ඉඩ තිබේ. සමහර රටවල තරමක දුරක් සුළු භාණ්ඩ ප‍්‍රමාණයක් ඩ්‍රෝන යන්ත‍්‍ර වලින් ගුවනින් ගෙන යන බව දැනටමත් ප‍්‍රසිද්ධය.

ඊ වෙළදාම නොඑසේනම් පරිගනක යන්ත‍්‍ර වලින් කරන ගනුදෙනු වල දී විශාල ජනගහනයක් සහිත චීනය ඉදිරියෙන් සිටී. 2019 වසරේ ලෝකයේ කරන ලද ඊ වෙළදාමෙන් සියයට 57 ක් චීනයෙන් වාර්තා වූ බව සදහන්ය. එම වසර තුළ කරන ලද ප‍්‍රවර්ධනයක් අනුව අලිබාබා සමාගම කුඩා වෙළද සැල් ලක්ෂයක් අන්තර් ජාල ගනුදෙනු ස්ථාන බවට හරවා තිබේ.නොදන්නා තැනක ගනුදෙනුකරුවෝ වෙළද සැලට නොපැමිණ ගනුදෙනු කරන අතර එය ගනුදෙනු කරුවන් පැමිණ මුදලාලිලා නැති වෙළද සැලකින් භාණ්ඩ රැගෙන ස්වයංක‍්‍රීයව මිල අය කරගන්නට සලස්වා පිටත්ව යන ක‍්‍රමයට වඩා වෙනස්ය. මෙම ක‍්‍රම දෙක මගින්ම දැන් පවතින අධිපතිවාදී වෙළද රාමුවට තර්ජනයක් ඇති කරන බව නිසැකය.

තාක්ෂණය සමග වෙළදාම සේවාවක ස්වරුපයට පත්ව ඇති අතර පාරිභෝගිකයාට රිසි තැනකින් තමන්ට අවශ්‍ය දේ කැමැති පරිදි මිලයට ගන්නා අවස්ථාව විවෘත වෙමින් තිබේ. අසල ඇති වෙළද සැලෙන් එම මුදලාලිගේ අණසක හා නියමකරන මිල අනුව භාණ්ඩයක් මිල දී ගත යුතු රාමුව සහමුලින්ම වෙනස් වන අතර එය පාරි‌භෝගිකයා වඩාත් උසස් තැනකට කැදවන සාධාරණ වෙළද සංකල්පයක් නිර්මාණය කරනු ඇත. නිෂ්පාදකයාට ද එයින් අත්වන වාසිය ඉමහත්ය. ගොවිපොල තුළ ඊ වෙළදාමක් ආරම්භ කරන්නට හැකියාව තිබේ. මෙවැනි වෙනස්කම් වෙනුවෙන් තාක්ෂණය අවශ්‍යය. තොරතුරු සන්නිවේදනය දියුණු කළ යුතුය. ලෝකයේ අනෙක් රටවල් වල සිදුවන දේ සිහින පමණක් විය යුතු නැත. යතාර්ථයක් කරගත හැකි වන පරිදි තාක්ෂණය යාවත්කාලීන කිරීමට පියවර ගැනීම අවශ්‍යය. ආණ්ඩු පමණක් නොව පුද්ගලික අංශය පවා සන්නිවේදනයේ නවීන ස්වභාවය සමග එකතුවන පියවර සාකච්ඡා කිරීම සුදුසුය.