රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ රචනා කරන ලද ගීතයක් ආචාර්ය වික්ටර් රත්නායක ශූරීහු ගායනා කර තිබේ. පද රචනය අනුව ‘‘බුදුහාමුදුරුවො අපිත් දකින්නැති, බණත් අහන්නැති ඒකාලේ - නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ’’ යනුවෙන්ය. ඉකුත් භවයන් හි දී නිවන් දකින්නට පින් මද වූ හේතු කල්පනා කරන්නට මෙම ගීතය සිත යොමු කරයි. රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ කොළඹ ගංගාරාම විහාරස්ථානයෙහි වැඩ වෙසෙති. මෙරට සිදුවන දහසකුත් එකක් දේ දැක කම්පාවට පත්ව ඇති බවට කිසිම සැකයක් නැත. ගිත නිර්මාණයට පසුබිම එකි කම්පනයයි.
වර්තමානයේ පැවැත්ම දුෂ්කරය. සංසාරය කෙරෙහි කම්පාවක් ඇති කරවයි. ගෞතම බුදු රජාණන්වහන්සේ දුක, දුක ඇති වීමට හේතුව හා දුක නැතිකරන මග පෙන්වා දුන්හ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ මහරහත් ව නිවන අවබෝධ කරගත හැකි මාර්ගය දැක්වූහ. නැවත ඉපැදීමක් නැති නිර්වානය හැර අනෙක් සැපතක් නැති බව දේශනා කළහ. මහා සංඝරත්නය ශාසනයට ඇතුළුවන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ සැපත සොයා යන අරමුණ ඇතිවය. අද පවතින සංකීර්ණ සමාජ පසුබිම තුළ සන්සුන්ව අරමුණ කරා අවතීර්ණවීම පහසු දෙයක් නොවේ. එසේ තිබිය දී ඇතැම් භික්ෂුන් වහන්සේලා දේශපාලනයට අවතීර්ණවීමට ඇති අධික කැමැත්තට හේතුව කුමක්ද?
පසුගිය මහ මැතිවරණයට අපේක්ෂකයන් වශයෙන් ස්වාමීන් වහන්සේලා හැට නමක් පමණ ඉදිරිපත් ව සිටි බව වාර්තා දක්වයි. බෞද්ධ ජනතාව ස්වාමීන් වහන්සේලා අතරින් කිසිවෙකු තෝරා ගෙන නැත. වතාවක් දෙකක් පාඩමක් ඉගෙන ගත් මෙරට ඡුන්ද දායකයෝ මහජන නියෝජිතයන් වශයෙන් තෝරා ගැනීම ගැන යම් යම් තීන්දු වලට එළැඹ ඇති බව පෙනේ. එහෙත් ජාතික ලැයිස්තුවෙන් ලැබෙන අවසථාවක් පදනම් කරගෙන මතබේධයක් හටගෙන තිබේ. එය සුදුසු නැත. ආදර්ශවත් භික්ෂු චරිත ගැන විශාල ප‍්‍රසාදයක් ඇති සියළු දෙනා සිද්ධිය ගැන කම්පාවට පත්ව තිබේ. සියළු නිකායවල මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් නොයෙක් වතාවල දී භික්ෂු දේශපාලනයෙහි අවැත සහ අවැඩදායක බව ගැන සෘජුව අදහස් පළ කර ඇත. එහෙත් සමහර භික්ෂුන් වහන්සේලා ඒවා අවධානයට ගන්නේ නැත. මෙම සිද්ධිය එයට එක උදාහරණයකි. භික්ෂුන් වහන්සේලා දේශපාලන නායකයන්ට හා පක්ෂ වලට ආධාර වශයෙන් පෙනී සිටි අවස්ථා අප‍්‍රමාණව තිබේ. ජනතාව එවැනි සිද්ධි ගැන දකින කෝණය වෙනස්ය. එවැනි ප‍්‍රයත්න පවා සාධාරණීකරණය කරන්නට පුලූවන්කමක් නැත.
‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ එනම් ‘‘ විනය ශාසනයේ ආයුෂය‘‘බුදු රජාණන් වහන්සේ දේශනාකර ඇති බව දැක්විය යුතුය. නිර්වාණය අවබෝධ කරගැනීම ඒකායන අරමුණ කරගෙන සාසනයට ඇතුළු වන සංඝයාවහන්සේලා අතරින් ඇතැමි භික්ෂුන් වහන්සේලා ගේ ප‍්‍රයත්නය විනය සම්බන්ධ ගැටළුවකි. චතු පාරිශුද්ධි ශීලය හෙවත් කෝටියක් සංවරශීලය භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගත යුතුය. භික්ෂුභාවය ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ දර්ශනයට සෘජුවම සමීපය. ත‍්‍රිපිටකයේ සදහන් වන කරුණු ගවේශනය කළහොත් භික්ෂු ජීවිතය ගැන අවබෝධයක් ලබා ගත හැකිය. අද කරුණු සිදුවෙන්නේ විනය පිටකයේ සදහන් කාරණා වලට අනුකූලවද?
භික්ෂුත්වය රැකගනිමින් රට ජාතිය ආරක්ෂා කිරීමට සංඝ රත්නය කැපවී ක‍්‍රියා කරති. සංසාරයෙන් එතෙරවීම අරමුණු කරගෙන සාසනයට ඇතුළු වන සංඝරත්නය අතරින් ඇතැම් භික්ෂූන්වහන්සේලා පිරිසක් තම මූලික අරමුණ පසෙක ලා රට ජාතිය ආරක්ෂා කිරීමේ වගකීම භාරගෙන තිබීම විවාදාත්මකය. දේශපාලනය හා සාසනය අතර බලවත් පරතරයක් තිබේ. බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේ දී ‘‘මහරජ ඔබ ශාක්‍ය වංශයේ මම බුද්ධ වංශයේ ’’ බව පිය රජු අමතා ප‍්‍රකාශ කළ බව මතක් කර දිය යුතුය. බුද්ධ වංශය හැර දමා ‘‘රාජ්‍ය පාලනයට ’’ ඇතුළුවීමට වෑයම් කිරීම මෑත කාලීන ඇතැම් භික්ෂුවකගේ උත්සාහයකි. දේශපාලනය පිරිහී ඇති අතර දේශපාලනයට එන පිරිස අතිශය ¥ෂිත බවට නැගෙන විවාදය තුළ යම් ප‍්‍රමාණයක ඇත්තක් තිබේ. සිදුවන සිද්ධි එයට හොද උදාහරණයකි. මෙරට බුද්ධිමතුන් පවා දේශපාලනයට කැමැති නැත. පක්ෂයක ආධාරකරුවෙකු වශයෙන් පවා ප‍්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ඉතා කලාතුරකින්ය. දක්ෂ හා අවංක චරිත දේශපාලනයට නොගැලපෙන බව පිලිගැනීමට ලක්ව ඇති කරුණකි. අවංක කෙනෙකුට දේශපාලනයේ නිරතවිය හැකිදැයි යන ප‍්‍රශ්නයක් ද තිබේ. එසේ තිබිය දී පවතින වැරදි හදාගන්නට ස්වාමීන් වහන්සේලා දේශපාලනයට අවතීර්ණවීම සුදුසුද?
සමාජය තුළ සිදුවන අයුක්තිය සහ අසාධාරණය දකින අවස්ථාවේ මහණකම නොවැදගත් යැයි ඇතැම් භික්ෂුන්වහන්සේ නමකට කල්පනා කිරීමට අයිතියක් තිබේ. එපමණකට සමාජය පිරිහී ඇත. යුක්තිය හා සාධාරණත්වය ගැන ප‍්‍රශ්න තිබේ. මේවා ගැන හඩ අවදිකළ යුතුය. එබදු අවශ්‍යතාවයක් පැන නගින්නේ නම් භික්ෂුභාවය ලබා ගත් ගුරු හිමිපාණන්ගේ දෙපා නමැද කසාවත විහාරස්ථානයෙහි තබා දේශපාලන වේදිකාවට පැමිණීම සුදුසුය. සසුන් ගතවීමට පමණක් නොව සසුන හැර ගිහි ජීවිතයට ආපසු යන්නට ද බුදු දහමින් බලපෑමක් නැත.
පාර්ලිමේන්තු ක‍්‍රමයට වඩා විශාල සහ පුළුල් විදර්ශනාත්මක අවකාශයක් සංඝරත්නයට තිබේ. එය අමාමහ නිවන් මාර්ගයයි. නැවත ඉපැදීමක් නැතිව සංසාරයෙන් එතෙරවීමය. ජන සමාජය ඉතාම සංකීර්ණ තාක්ෂණික යුගයක පවතී. සමාජයට යහ මග පෙන්වන්නට ඇති එකම තැන පාර්ලිමේන්තුව නොවේ. මහා නායක හිමිපාණන් වහන්සේලාට පමණක් නොව රාජ්‍ය නායකයන්ට ද මෙහි දී වගකීමක් තිබේ. පන්සල හා පාර්ලිමේන්තුව අතර තිබිය යුතු පරතරය සහ ගෞරවය ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන අලූත් නීති පැනවීම පවා අනර්ථයක් විය නොහැකි යෝජනාවකි. දීර්ඝ කාලයක් තිස්සේ කතිකාවත් පණත ක‍්‍රියාත්මක කරගත නොහැකිව තිබේ. දැනට ඇති පාර්ශව වලට තමන්ට ගැලපෙන කතිකාවතක් සම්මත කරගෙන එයට අනුකූලව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කතිකාවත් පණත ඉඩ සලයසි. එය සම්පූර්ණයෙන්ම මහා සංඝරත්නයට බලය ලැබෙන පණතකි. මෙම තීරණාත්මක මොහොතේ දී සංඝ ශාසනයේ පිරිහීම වලකා ගැනීම අපට ඇති විශේෂ අවශ්‍යතාවයක් බව පෙන්වා දිය යුතුය.
|