» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/06/2019 - දේශය
ඇන්ටාක්ටිකාවෙන් අයිස් කදු ඇදගෙන එන ව්‍යාපෘති

පානීය ජලය ගැන ලෝකයේ ඇති ගැටළු දිනෙන් දින උග‍්‍රවෙමින් තිබේ. මේ වන විට ඉන්දියාවේ චෙන්නයි ප‍්‍රාන්තයේ පවතින දරුණු නියඟය එයට සාක්ෂියකි. අසල්වැසි ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ජනකායක් අවම වශයෙන් පානීය ජලය හෝ ප‍්‍රමාණවත්ව නැති අර්බුදයකය. ජල බවුසර් වලින් ගෙනැවිත් බෙදා දෙන තුරු ජනතාව දිග පෝලිම් වල සිටින දර්ශන අන්තර් ජාතික මාධ්‍ය පළ කරමින් සිටින අතර මිලියන දහයක ජනගහනයක් බලවත් දුෂ්කරතාවයකය. චෙන්නයි තමිල්නාඩු අගනුවර වන අතර ශ‍්‍රී ලංකාවට සමීපයෙන්ම පිහිටා ඇති ඉන්දීය ප‍්‍රාන්තය බව අමතක කළ යුතු නැත. සමස්ථයක් වශයෙන් ඉන්දියාවට ලැබෙන මෝසම් වැසි සියයට 43 කින් අඩු වී ඇති බව එරට කාලගුණ බලධාරීහු වාර්තා කර තිබේ. අනෙක භූගත ජලය පසුගිය දශකය තුළ සියයට විස්සකින් පහත බැස ඇත. මෙම අනතුරුදායක තත්ත්වය දෙස සමස්ථ ලෝක වාසීහු බලවත් වික්ෂිප්තව බලා සිටිති.

ජලය ගැන අලූතින් කරන්නට වෑයම් කරන්නේ මොනවාද? බොහෝ රටවල් දැනටමත් මුහුදු ජලය පිරිසිදු කර බෙදාහැරීමේ ව්‍යාපෘති කරගෙන යයි. එය විශාල වියදමක් දරන්නට සිදුවන ව්‍යාපෘති බව සඳහන් කළ යුතුය. ලෝකයේ දැනට කරගෙන යන මුහුදු ජලය පිරිසිදු කර භාවිතාවට ගැනීමේ ව්‍යාපෘති වැඩිපුරම භාවිතා කරන්නේ මැද පෙරදිග රටවල්ය. ලෝකයේ එවැනි ව්‍යාපෘති වලින් නිපදවන ජලයෙන් සියයට හැටක් එම කලාපය භාවිතා කරන අතර සියයට දොලහක පමණ ප‍්‍රතිශතයක් ඇමරිකාව උපයෝගී කරගන්නා බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. ලෝක ගෝලයේ වැඩිම භූමි ප‍්‍රමාණයක් ජලයෙන් වැසී ඇති නමුත් පානීය ජලය වශයෙන් භාවිතා කළ හැකි ප‍්‍රමාණය ඉතාම සුළු ප‍්‍රමාණයක් බව අනාවරණය වන වැදගත් කරුණකි. එවැනි පසුබිමක් මත ලෝකයේ ස්ථාන 13,000 කින් මුහුදු ජලය පිරිසිදු කරන බව 2007 තරම් කාලයේ දී අනාවරණය වී තිබුණි.

ජල හිඟය උග‍්‍ර වන විට මුහුදු ජලය පිරිසිදු කරනු වෙනුවට ඇති තවත් විකල්ප බලන්නට පර්යේෂකයෝ සූදානම්ය. එමිරේට්ස් රාජ්‍යයෙන් අනාවරණය වන තොරතුරකට අනුව ඇන්ටාක්ටිකාවෙන් අයිස් ග්ලැසියර ඇදගෙන එන අදහසක් ඉදිරිපත්ව තිබේ. එමිරේට්ස් හි ඩුබායි නගරයේ ඉංජිනේරුවන් වසර 2020 වන විට අයිස් ග්ලැසියර ඇදගෙන එන අරමුණ ඇතිව නිල වෙබ් අඩවියක් ද ප‍්‍රකාශයට පත් කර ඇත. එහි තොරතුරු හුවමාරු කරගනිමින් සිටින අතර මෙකී අලූත් අදහස ගැන නොයෙක් පැති වලින් හොඳ නරක අදහස් පැන නගින්නට පටන් ගෙන තිබේ. පළමු පියවර වශයෙන් අඩි හත්දාහක් දක්වා දිග මෙටි‍්‍රක් ටොන් මිලියන සියයක් පමණ බර දැවැන්ත අයිස් කන්දක් ඇදගෙන එන්නට සූදානමින් සිටී.

ඇන්ටාක්ටිකාවේ ඇති දැවැන්ත අයිස් ග්ලැසියර් වලින් කොටසක් කඩා ගෙන මුහුද ඔස්සේ ඇදගෙන එන අදහස ක‍්‍රියාවට නැගීම පහසු එකක් නොවේ. මහ මුහුදේ සිදුවන නාවික හා ධීවර යාත‍්‍රාවලට බාධාවක් නොවන අතරවාරයේ පරිසරයට සිදුවන වාසි අවාසි මැන බැලිය යුතුය. අනෙක මෙම ග්ලැසියර ඇදගෙන එන විට එයින් කොටසක් දියැවීම වැලැක්විය නොහැකිය. ඇන්ටාක්ටිකාවේ පවතින අධික ශීතල බව පහව උණුසුම් කලාපයට ඇතුළු වන විට අයිස් දියැවීම සාමාන්‍යයෙන් සිදුවන අතර එය ප‍්‍රමාද කිරීම සඳහා යම් උපක‍්‍රම අනුගමනය කරනුනට සිදුවන බව ද අදහස් පළ කරන්නන්ගේ මතය වී ඇත. එයට ප‍්‍රතිචාර දක්වන මෙම සංකල්පය කෙරෙහි උනන්දුවන පාර්ශව අයිස් දියැවීම සියයට බිංදුවක් දක්වා දියුණු කරන තාක්ෂණය ඔවුන් සතුව ඇති බව කියා තිබේ. මෙකී අදහස වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 50-60 අතර පිරිවැයක් දරන්ට සිදුවනු ඇති බව ගණන් බලා ඇත.

ඩුබායි නගරයේ ඇති ජල හිඟය පාලනය කරනු සඳහා අයිස් ග්ලැසියර ඇදගෙන එන ව්‍යාපෘතිය අදහසක් නමුත් ජලය විකිණෙන මිල ගැන තවමත් තක්සේරුවක් නැත. වසර 2030 වන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට පානීය ජල පහසුව ලබා ගැනීම උග‍්‍ර ප‍්‍රශ්නයක් බව ලෝක ආර්ථික සංසදයේ දී අනාවරණය වී තිබේ. එය බරපතල තත්ත්වයක් බව අවිවාදිතය. අනෙක ජලයට ගෙවන මිල අනුව ලෝකයේ දුප්පත්කම තවත් දරුණු විය හැකි බව සමීක්ෂණ පවත්වන අංශ පෙන්වා දී ඇත.

ජලය පිරිපහදු කළ හැකි නමුත් එයට දරන්නට සිදුවන පිරිවැය ඕනෑම රටක ආර්ථිකයට ප‍්‍රශ්නයක් වන හෙයින් ස්වභාවික වැසි සහ භූගත ජලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට පර්යේෂකයෝ පෙළැඹී සිටිති. අනාගතයේ දී පිරිසිදු ජලය බහුලව පැවැතිය හැකි කලාප ලෝකයේ සලකුණු කරන විද්‍යාඥයෝ එම ප‍්‍රදේශ ඉතා අවධානයකින් සංරක්ෂණය කළ යුතු බව අවධාරණය කරති. එම කලාපයට ශ‍්‍රී ලංකාව ද අයත්ය. මෙරට ඇතැම් ප‍්‍රදේශ දැනට නියගයකට මුහුණ පා සිටී. නමුත් ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික ජල සම්පත බහුලය. ගංගා දිය ඇලි මගින් රට පුරා ජල පෝෂණ තත්ත්වය ඇති කර තිබේ. නමුත් සංවර්ධනය හා මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් ස්වභාවික ජල පද්ධති දුෂණය වෙමින් පවතින අතර කළමනාකරණයක් නැති භාවිතාව අනාගතයේ දී අර්බුද ඇති කරන හේතුවක් විය හැකිය. දැනටමත් ජලයට මිලක් නියම වී තිබේ. පානීය ජල බෝතල් අළෙවිය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් ව ඇත. ජල හිගක් ඇතිවුවහොත් මෙම වාතාවරණය වෙනස් මුහුණුවරක් ගනු ඇති අතර එයට මුහුණ දීම වෙනුවෙන් නිසි පියවර ගැනීම අවශ්‍යය. මුහුදු ජලය පිරිසිදු කිරීම හෝ ඇන්ටාක්ටිකාවෙන් ග්ලැසියර් කදු කඩාගෙන ඇදගෙන එන ව්‍යාපෘති වෙනුවෙන් වෙහෙසෙන්නට රටට සිදුවිය හැකි ද යන්න කල්තබා අවධානය යොමු කළ යුතු කරුණකි.