» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/11/2020 - දේශය
ලෝකය බඩගින්නේ සිටියදී ආහාර අපතේ යැවීම

කුසගින්න බලවත්ව දැනෙන දෙයකි. එහෙත් ලොව පුරා මිලියනයක පිරිසක් නිතිපතා රාත‍්‍රියට කුසට යමක් රහිතව නින්දට යන බව වාර්තා වෙයි. එය එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දුෂ්කරතා සෑහෙන ප‍්‍රමාණයක් වැඩි වී තිබේ. එදාවේල සොයාගැනීමේ ප‍්‍රශ්නය එයින් එකකි. අඩු ආදායමක් ලබන ජනකොටසගේ ජීවනෝපාය අවහිර වී තිබේ. ලැබෙන ආදායම ප‍්‍රමාණවත් නැත. කුස පිරෙන්නට ආහාර කෙසේ වෙතත් එදාවේල ප‍්‍රශ්නයක් බව නොරහසකි. ආහාර රහිතව රාත‍්‍රියට නින්දට යන ජන සංඛ්‍යාව වැඩි වී ඇති බව නිසැකය.

දුප්පත් ජනතාවට ආහාර සපයා ගැනීම ප‍්‍රශ්නයක් නමුත් දියුණු සමාජයන්හි පොහොසත් ජනතාව ආහාර නාස්ති කරන අන්දම ගැන බරපතළ විවේචන තිබේ. ලෝක ආර්ථික සංසදය පසුගියදා ආහාරයට ගත හැකි වට්ටක්කා තොග වශයෙන් විනාශ කිරීම ගැන කරුණක් අනාවරණය කළේය. එය සැණකෙළියක සිරිය නිසා සිදුවන නාස්තියකි. ඇතැම් රටවල් ඔක්තෝබර් 31 වැනිදා හෙලොවින් දිනයට සැණකෙළි පවත්වයි. එය බියකරු ආත්ම මවා පෙන්වන සංදර්ශනයකි. ආර්ථික සංසදය හෙළි කරන ලද කරුණ අනුව ආහාරයට ගත හැකි වට්ටක්කා ගෙඩි මිලියන අටක් බ්‍රිතාන්‍යයේ පැවැති සැණකෙළි අවසානයේ දී කසළ ගොඩට විසිකර ඇත. මෙකී නාස්තිය නුසුදුසු බව පර්ෙය්ෂකයෝ අඟවා සිටියහ. මෙම වට්ටක්කාවලින් අඩුම තරමින් රසකැවිලි නිෂ්පාදනය කළ හැකි බව පරිසරවේදීහු පෙන්වා දුන්හ. එරට එක්තරා සමාගමක් ඉවත දැමූ වට්ටක්කා එකතු කර බියර් නිපදවන උත්සාහයක නිරත වී තිබේ. ඉවතලන ආහාර ඇතුළු කාබනික දේ වලින් විදුලිය නිපදවන ආයතනයක් මෙම වට්ටක්කා එකතු කර විදුලිය නිපදවීමට අදහස් කරන බව නිවේදනය කර ඇත. ගොවියන් වැර වෑයමෙන් වගා කරන ආහාර සෙල්ලමට හෝ විනාශ කිරීම සිදු නොකළ යුතු බව පරිසර හිතකාමීන් පෙන්වන කරුණකි. ශ‍්‍රමය පමණක් නොව යොදවන ලද පොහොර හා රසායන ගැන ඔවුහු තක්සේරු කරති. ස්වභාවික පරිසරය වෙනස් කිරීම හා හරිතාගාරවල වගාව නිසා වායුගෝලයට සිදුවී ඇති හානිය ගැන විවේචන පළ කරති. මෙමකරුණු සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතුය. ආහාර නිපදවීම හා ඒවා වෙළෙඳපොළට එවා විකුණා ගන්නට දරන වෙහෙස ගැන දන්නේ ගොවියන්ය. ගොවිතැන එපා කරන තරමට එය කටුක අත්දැකීමක් බව ඔවුහු අවබෝධ කරගෙන සිටිති.

ලෝකයේ ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබේ. එය කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධක දෙකකි. ජනගහණය වැඩිවීම එයින් ප‍්‍රධානය. අනෙක කාලගුණ විපත්ය. ඉන්දියාව හා චීනය වැනි රටවල විශාල ජනගහණයක් වෙසෙති. ආර්ථික දියුණුව සමඟ මෙම රටවල ජනතාවගේ පරිභෝජන රටා වෙනස් වෙමින් තිබේ. පසුගිය කාලවලට වඩා ආහාරපාන පරිභෝජනය කරන්නට දියුණුවන ඉන්දියාවේ හා චීනයේ වැසියන් නැඹුරුවීම, නිපදවන ආහාර ප‍්‍රමාණවත් නැති තත්ත්වයකට ඉඩ සලසයි. දෙවැනුව දක්වන ලද කාලගුණ විපත් හෙයින් වගාබිම් සහ නෙළන අස්වැන්න විනාශ වන තරම ද බලවත් ප‍්‍රශ්නයකි. ආහාර හිඟය ගැන හිතන රටවල් වෙනස් ප‍්‍රතිචාර දක්වන්නට ද පටන්ගෙන තිබේ. නෙදර්ලන්තය කලක සිට නිෂ්පාදිත දිනය අවසන් වීමට නියමිත ටින් හා පැකට් කරන දේ විශාල මිල අඩු කිරීම් සහිතව අලෙවියට අනුමැතිය දී තිබේ. ඒ වෙනුවෙන් වෙනම අලෙවි සල් සහ වෙළෙඳ කවුළු විවිධ කර තිබේ. අඩු ආදායම් ලබන පිරිස් මේවා මිල දී ගනිති. ආහාර වශයෙන් ගත හැකි දෑ සකස් කරන අතර ඒවා නිපදවන හා අලෙවි කරන අතර‍වාරයේ ඉවත දැමීම නාස්තිය සම්බන්ධ ප‍්‍රශ්නයක් පමණක් නොව පරිසර ප‍්‍රශ්න ද මතු කරන්නට හේතුවක් බව අවිවාදිතය. මෙවැනි පැති ගැන අවධානය යොමුකිරීම හෙයින්, කාලසීමාව ඉක්මවීම නිසා හෝ ආහාර විනාශ කිරීම නොකළ යුතු බව කල්පනා කරන පිරිසක් ලෝකයේ සිටින බව ද මෙහි දී මතක් කර දිය යුතුය.

ඉන්දියාව 2011 වසරේ දී එරට වැසියන්ට ආහාර අයිතිය තහවුරු කරන පනතක් ඉදිරිපත් කළ අතර වසර දෙකකට පසු පාර්ලිමේන්තු අනුමැතියෙන් එය නීතියක් බවට පත් කළේය. ලෝකයේ රටවල් හතළිහකට වඩා ප‍්‍රමාණයක් එදිනෙදා ආහාරවේල සම්බන්ධයෙන් අයිතියක් ඇති බව පිළිගෙන තිබේ. අධ්‍යාපනය, කතා කිරීමේ, ලිවීමේ ඇතුළු කාරණා සේ ආහාරය ද අයිතියක් වී ඇත. ආහාර විනාශ කිරීම නරක බව ප‍්‍රකාශ කරන්නට එම අදහස් ද හේතු වී ඇති බව නිසැකය.

මෙරට ආහාර පහසුව හා ජනතාවගේ ජීවන මට්ටම ගැන සිතන ඕනෑම කෙනකු ජනතාවට එදිනෙදා වේල ප‍්‍රශ්නයක් නැති බව හිතන්නට ඉඩ තිබේ. නමුත් ඇත්ත එය නොවේ. ආහාර සම්බන්ධ කරගෙන විශාල පන්ති පරතරයක් නිර්මාණය වී ඇත. එය එතරම් යහපත් නැත. කොවිඩ් නිසා උත්සව අඩු නමුත් සාමාන්‍යයෙන් සාදයක දී නාස්ති කරන ආහාර ප‍්‍රමාණය සුළු පටු නොවේ. ඇතැම් රටවල ස්වේච්ඡා පිරිස් තරු හෝටල හා අවන්හල්වල දෛනික අලෙවියෙන් පසු ඉතිරිවන ආහාර රුගෙන විධිමත්ව බෙදා හරිති. අමෙරිකාවේ ප‍්‍රාන්ත ගණනක එය සිදුවෙයි. එය ආහාර අවශ්‍ය කෙනකුට රසවත් වේලක් සපයනවා පමණක් නොව පරිසරයට ද කරන විශාල මෙහෙවරකි.

ලංකාව හොඳ ආහාර සංස්කෘතියක් තිබුණු රටකි. අරපිරිමැස්ම ගැන පාඩම කියා දුන්නේ මුළුතැන්ගෙයිනි. ගෘහණියෝ ආහාර කල්තබා ගත් අතර ඒවා විනාශ නොකර තබා ගැනීමට ක‍්‍රම අනුගමනය කළහ. කොස්, දෙල් පමණක් නොව දෙහි පවා ගස් යට වැටී විනාශ වෙන්නට ඉඩ දුන්නේ නැත. පරිසරයට කරන ලද සේවය මහත්ය. අතීතයේ උරුමය අප අමතක කර තිබේ.