» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/09/2019 - දේශය
පරිසරය ආරක්ෂා නොකළහොත් විනාශයි

ලෝකයේ පැවැත්ම විශාල පරිවර්තනයකට යොමු වෙමින් තිබේ. එක පැත්තකින් වෛද්‍ය විද්‍යාව දියුණුය. සියළුම ශරීර අවයව කෘතීමව නිපදවන හැකියාව ලැබී ඇත. අනෙක තාක්ෂණය යෝධ පියවරකය. එම ප‍්‍රයත්නය අනුව තනිවම හිතා මතා තීරණ ගන්නට හැකි රොබෝවරු බිහි වන දිනය වැඩි ඈතක නොවේ. දීර්ඝ කාලයක් ජීවත්වන හා සියළු යටිතල පහසුකම් පරිගණක වලට පවරන පහසුව ළගා වන බව නොයෙක් රටවල පර්යේෂණ සනාථ කරයි. දශක කිහිපයකට කලින් තිබුණ පැවැත්ම අද ඉතා වෙනස්ය. ස්මාට් දුරකතනයක් උපයෝගී කරගෙන සිය අතේ ඇගිළි වලින් එදිනෙදා අවශ්‍යතා බොහෝමයක් කරගත හැකි තත්ත්වයක් සැකසී ඇත. එය තාක්ෂණික වෙනසකි.

පරිවර්තන යුගය අභිමුවෙහි නැවත වතාවක් වෙනත් ස්වරූපයකින් අභියෝගය එල්ල වෙමින් තිබේ. එයට අනුව පරිසරය ගැන අවධානය තියුණු කළ යුතුය. මනුෂ්‍ය ක්‍රියාකාරකම් හෙයින් ගෝලීය උණුසුම වැඩි වෙන බව විද්‍යාඥයෝ තහවුරු කර තිබේ. උණුසුම වැඩිවන විට අර්ධ ගෝල වල ඇති දැවැන්ත අයිස් කලාප දියවන අතර එය සාගර ජල මට්ටම ඉහළ නංවන්නට පටන්ගෙන තිබේ. ගොඩබිම තවත් සීමාවන හේතුවකි. ප‍්‍රජාවගේ ජීවත්වීමට සුදුසු වාසස්ථාන වඩා තීරණාත්මක සේ අඩුවිය හැකි පසුබිමක මෙම අලූත් ස්වභාවය තියුණු අවධානයට ලක් විය යුතුය. ජලය දූෂණය වෙමින් තිබේ. මහ පොලව පොලිතීන් වලින් හා රසායනික වලින් වැසී ඇත. මහ මුහුද පවා පොලිතීන් හා දිරා පත් නොවන ද්‍රව්‍ය වලින් බහුලය. ආහාර භෝග වලට පවා වස විස මුසුවන බව පැහැදිලි අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නොයෙක් රෝගාබාධ හටගන්නා බව වාර්තා සනාථ කරයි. ඉන්ධන පිලිස්සීමෙන් නිපදවන විෂදුම පරිසරයට එකතු වෙයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවේ හා චීනයේ ඇතැම් ප‍්‍රධාන නගර වල හුස්ම ගැනීම පවා ප‍්‍රශ්නයකි. ඔක්සිජන් ප‍්‍රතිශතය අවම මට්ටමකට පත්ව ඇති අතර අජීවී මුහුදු නිර්මාණය වී ඇති ආකාරයට අජීවී භූමි ප‍්‍රදේශ බිහි වන අවදානමක් ඇති වී තිබේ. එය භයානක තත්ත්වයක් බව නොරහසකි.

ජගත් ප‍්‍රජාව දැවැන්ත සංවර්ධන අරගලයක නිරත විය. පුසුගිය දශක ගණනාව තුළ සිදුවූ කාර්මික සංවර්ධනය ලෝකය තුළ ප‍්‍රශ්න මතු කර තිබේ. දියුණු රටවල් සිය සංවර්ධන වැඩ පිලිවෙල අතරතුර සම්පත් භාවිතා කරන ලද ආකාරය අද වන විට බරපතල චෝදනා වලට ලක්ව තිබේ. බටහිර දියුණු රටවල් ඇති කරන ලද බලපෑම ලෝකය විකෘති කර ඇති අතර කාලගුණ විපර්යාස වලට හේතු වී ඇති බව විද්වත්හු ප‍්‍රකාශ කරති. කාලගුණ වෙනස්කම් නිසා ජනයා හා දේපොල වලට අත්පත්ව ඇති ඉරණමට සංවර්ධිත රටවල් වගකිව යුතු බව පෙන්වන්නේ පර්යේෂණ වල ප‍්‍රතිඵල සහිතවය. මෙකී පැති තේරුම් ගැනීම වැදගත්ය.

ලෝකයේ කාලගුණ වෙනස්කම් පාලනය කරන හා හැකිතාක් අවම බලපෑමක් කරන සේ හැසිරෙන පැරිස් සම්මුතියකට ජගත් ප‍්‍රජාව අත්සන් කර ඇත. සියළුම රටවල් එළැඹිය හැකි භයානක ඉරණම ඉදිරියේ හැකි තාක් පරෙස්සම් විය යුතු බව අවබෝධ කරගෙන සිටිති. එය අතරවාරයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් විය. ඔහුට අනුව පරිසර ප‍්‍රශ්න ඉදිරියට දමා ඇති කරන ප‍්‍රශ්න ඇමරිකාව වැනි රටවල දියුණුව අඩාල කරන ප‍්‍රයත්නයකි. එකී අදහස මැදහත් ජනතා නායකයන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.

නොබෝදා එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් කර තිබුණ යොවුන් පරිසරවේදීන්ගේ සමුළුවක දී බලවත් හඩක් නැගිණ. අනාගතය භාර ගැනීමට සිටින පිරිස ලෝකයේ සෑම තැනකින්ම එකමුතු විය. පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ගැන හඩක් මතුවිය. ඉතාම සංවේදී අදහස් වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගිය මතය වඩා ශක්තිමත් පණිවුඩයක් වී ඇත. වැඩිහිටියන්ට පාඩමක් ඉගැන්වීමට අද අපි ඉගෙන ගන්නට පාසලට නොගිය බව තරුණ දරුවන් කියා සිටි අතර එය සියුම් ධවනිතාර්ථයක් සහිතය. ලෝකයේ සිදුවන සියළු පරිසර හානි වලකා නැවත ලෝකය යහපත් තැනක් කරන සේ නැවුම් අදහස් ඇති පිරිස බල කරමින් සිටී. අලූත් සොයා ගැනීම්, නවතම අදහස් හා ක‍්‍රියාත්මක වැඩ පිලිවෙල වශයෙන් මහපොලව දූෂණයෙන් ගලවා ගැනීමේ වෑයම අතට ගත යුතුව ඇති බව පෙනේ.

පර්යේෂකයෝ හතරවැනි කාර්මික විප්ලවයක් ගැන සාකච්ඡා කරමින් සිටිති. එහි දී බලශක්ති උත්පාදනය අලූත් දිසාවකට යොමු වනු ඇත. තෙල් දහනය කරමින් කරන බලශක්ති නිපදවීම පරිසරයට ගැටළු සහගතය. මෙතෙක් ඛනිජ තෙල් යුගයේ පැවැති කර්මාන්ත පරිසර හානියක් සිදු නොවන සූර්ය බලශක්තිය කෙරෙහි යොමු වෙමින් තිබේ. කර්මාන්ත හා ප‍්‍රවාහන අංශ වල සිදුවන වෙනස්කම් සම්පූර්ණයෙන්ම සූර්ය බලය මත රදා පවතින අතර වැඩිම පරිසර හානියක් සිදු කරන අංශ අලූත් බලශක්ති උත්පාදනය වෙත නතු විය යුතුව ඇත.

සියළුම රටවල්, ඒවායේ ජීවත්වන වැසියන් සහ සංවිධාන පරිසරය ගැන අවධානය යොමු කරමින් සිටී. එයට හේතුවක් තිබේ. තාක්ෂණික හා කාර්මික වශයෙන් අලූත් සොයා ගැනීම් අත්පත් කරගන්නා නමුත් පරිසරය නොතකා සිටියහොත් පලක් නැති විය හැකි බව ඔප්පු වෙමින් තිබේ. මහ පොලව මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත් වුවහොත් තාක්ෂණයෙන් විද්‍යාවෙන් ජීවත් විය හැකි කාලය ඉතාමත් සීමිතය. සම්පත් පරිහරණය ඉතාම පරෙස්සමෙන් කරන ලෙස පණිවුඩයක් නිකුත් ව තිබේ. හැකිතාක් නැවත ප‍්‍රයෝජනයට ගත යුතුය. කඩදාසියක් පවා නැවත ප‍්‍රයෝජන ගැනීම හා අවශ්‍යනම් පමණක් මුද්‍රණය කළ යුතුය යන අදහස පැන නැගී ඇත. ප‍්‍රතිචක‍්‍රීකරණය ඉතාම වැදගත් කරුණක් සේ මතු වී තිබේ. සියළුම දේ කසල වශයෙන් විසි කරන්නේ නැතිව නැවත ප‍්‍රතිචක‍්‍රීය කරණය කළ හැකි සේ නිපදවන්නට පරිසර ලැදි ව්‍යාපාර උනන්දු වී තිබේ. එය යහපත් ප‍්‍රවණතාවයකි. දෙයක් මිල දී ගන්නා විට, ප‍්‍රයෝජනයෙන් පසු විසි කරන අවස්ථාවේ දී හා තමන්ටම පමණක් උරුම කරගන්නට තැත් කරන විට පරිසරයෙන් එල්ල විය හැකි අභියෝග ගැන කල්පනා කිරීම සුදුසුය.