» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/07/2019 - දේශය
මොලයට පරිගනකයක් සවිකිරීම

‘‘අනේ අපේ දරුවාට නම් කිසිම මොලයක් නැහැ’’ යනුවෙන් ශෝක වෙන්නට නුදුරු අනාගතයේ මවකට සිදු නොවිය හැකිය. දැන් සිදුවන පර්යේෂණ සාර්ථක වූවහොත් බුද්ධිය ගැන පවතින එකිනෙකට වෙනස් ප‍්‍රමිති දුරු විය හැකිය. යම් අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු ගේ බුද්ධිය, මතකය හෝ මානසික ක‍්‍රියාකාරීත්වය අඩු ලූහුඩු බවක් අනාවරණය වුවහොත් වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් පරි පරිගණකයක් හිසට පැළඳීය හැකි වන අතර එය අසමාන කාර්ය භාරයක් ඉටු කරනු නිසැකය.

විදුලියෙන් ධාවනය වන ටෙස්ලා සුපිරි වාහනය නිර්මාණය කළ සමාගමේ සම කොටස්කරු වන ඊලොන් මස්ක් පසුව අධිවේගයෙන් ගමන් කළ හැකි වායු රික්තක ධාවන පථයක් සැලසුම් කළේය. සෝලා සිටි සමාගම ද ඔහුගේ නිර්මාණ සංකල්ප විදහා දක්වයි. කෘතීම බුද්ධිය ගැන අනාවරණ වෙනුවෙන් තවත් සමාගමක් පිහිටුවීය. ඒවායෙන් මතු වූ අලූත් අදහස් ලෝකය කළඹවමින් තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන 20 ඉක්වමන පුද්ගලික ධනයක් හිමි ඊලොන් මස්ක් ස්පේස් එක්ස් වැඩසටහනේ නිර්මාතෘය. එමගින් සංචාරකයන් අභ්‍යවකාශයට ගෙනයන සංකල්පයක් ගැන සිහින මැවූ අතර එය අතිවිශාල වියදම් සහගත කාර්යයක් වන හෙයින් ප‍්‍රමාද වෙමින් තිබුණි. යූසකු මිසාවා නමැති ජපන් ධනවතෙකු එලොන් මස්ක් ගේ අධිෂ්ඨානය සාර්ථක කරන්නට සහාය වෙන අතර ඔහු පළමු ගමන සිය වියදමෙන් වෙන් කරගත්තේය. මිනිසුන්ට භාවිතා කළ හැකි මොලයක් තනන සංකල්පය ඔහු අවධානයට ගන්නේ එයින් පසුවය.

කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය පවත්වන ලද සැසි වාරයක දී ඊලෝන් මස්ක් මානව බුද්ධිය අභිබවා යා හැකි සුපිරි පරිගනකයක් නිපදවිය හැකි බව කියා සිටියේය. එතැනින් නතර නොවූ හෙතෙම පසුව මනුෂ්‍යයාගේ මොලයට සම්බන්ධ කළ හැකි මෙවලමක් ගැන පර්යේෂණ ඇරඹීය. නියුරොලින්ක් යනුවෙන් වෙනත් සමාගමක් වසර දෙකකට කලින් පිහිටුවන ලද අතර වසර 2020 වන විට එනම් තවත් අවුරුද්දකින් එම මෙවලම මිනිස් සිරුරකට සම්බන්ධකර අත්හදා බලන සූදානමක සිටී. එම පර්යේෂණයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකානු නීතියෙන් අනුමැතිය අපේක්ෂාවෙන් සිටී.

කෘතීම මොලයක් ගැන කරන ලද පර්යේෂණ මීයන් ඇසුරෙහි කර තිබේ. ඒවා සාර්ථක වී ඇත. අනතුරුව වදුරෙකුට පරිගනකයක් භාවිතා කරන අවස්ථාව සාර්ථකව අත්හදා බලන ලද අතර එය මෙම කෘතීම මොලය නිපදවන පර්යේෂණයෙහි තවත් ජයග‍්‍රාහී පියවරක් වී ඇත. එලොන් මස්ක් ගේ පරීක්ෂණ අනුව මිනිස් කෙස් ගසකට වඩා සිහින් සන්නිවේදන නූල් විශේෂයක් නිපදවන්නට සමත්ව තිබේ. ඒවා මොලයේ ස්නායු වලට සම්බන්ධ කර එනම් නියුරෝන වලට බද්ධ කරන්නට හැකියාව ලැබී ඇත.

මෙකී පර්යේෂණය සාර්ථක වුවහොත් මානව ශිෂ්ඨාචාරයේ දැවැන්ත පෙරැලියක් සනිටුහන් වනු ඇත. දැනට කරගෙන යන පර්යේෂණ අනුව කෘතීම බුද්ධිය මානවයා පරාජය කරන බව උපකල්පනය වෙයි. මිනිසුන් නිපදවන කෘතීම බුද්ධියෙන් සමන්විත පරිගනකයක් මිනිසා පරාජය කිරීම නතර කිරීමට නම් මනුෂ්‍යයා ද ඒ හා සමාන බුද්ධියක පිහිටවිය යුතුය යන අදහස පැන නැගී ඇත. මිනිස් මොලයට බද්ධ කරන කෘතීම උපාංගයකින් හැර වේගවත් පරිනාමයක් මනුෂ්‍යයා වෙතින් අපේක්ෂා කරන්නටහැකියාවක් නැත. සාමාන්‍ය පරිනාමන වේගය අනුව ඉතාම ඉහළ බුද්ධියක් සෑම පුද්ගලයෙකුම එක හා සමාන්තරව ලැබීම කිසිසේත් සිදුවිය නොහැකි එකක් බව පෙනෙන්නට තිබේ. එවැනි පසුබිමක දී මානවයා පරිගණක හමුවේ අසාර්ථක වනු වැලැක්විය නොහැකිය. ඊලෝන් මස්ක් ගේ උත්සාහය මෙම බුද්ධි ප‍්‍රභව දෙක එනම් කෘතීම බුද්ධිය දියුණු වන තරමටම යම් වෙමලමක් මගින් මානව බුද්ධිය ද ඉතාම ඉහළ මටට්මකට කැඳවීමය.

මස්ක් ගේ සමාගමේ එනම් නියුරෝලින්ක් හි ප‍්‍රධානියාවශයෙන් ක‍්‍රියා කරන මැක්ස් හොඩාක් දක්වන පරිදි මෙම කෘතීම මොලය නිෂ්පාදනය හුදෙක් විශාල දේ බලාපොරොත්තු ඇති නොකළත් විශේෂ හේතු මත මොලය දුබලවනන රෝගීන්ට ආශීර්වාදයක් වනු ඇති බව දැක්වෙයි. දැනටමත් පාකින්සන් රෝගය පැතිර යමින් තිබේ. ක‍්‍රමයෙන් මොලය දුර්වල වන අතර මතකය හීනවෙයි. අනුමැතිය ලැබුනහොත් මොලය දුර්වල වන පාකින්සන් රෝගීන්ට පවතින දුබලතා දහස් ගුණයකින් මැඩ පවත්වන කෘතිම මෙවලමක් වශයෙන් අලූතින් සොයා ගැනෙන මොලයක් සැපයෙන මෙවලමට හැකියාවක් ලැබෙනු ඇත. එය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ පාකින්සන් රෝගය වැලැක්වීම හා එයින් ඇතිකරන රෝගී තත්ත්වය පාලනය කරන්නට ඖෂධ සොයමින් අද දක්වා කරන පර්යේෂණ අභිබවා යන දැවැන්ත පියවරක් සේ සැලකේ.

මොලය වැඩි දියුණු කරන පිටතින් පැළඳීය හැකි මෙවලමක් ගැන හෙළිදරව් වන අවස්ථාවේ එම උපකරණයේ පර්යේෂණ ගැන සැක පහලවීම ද වැලැක්විය නොහැකිය. එලෝන් මස්ක් සඳහන් කරන පරිදි අවස්ථාවක් ලැබුණහොත් අලියෙකු හෝ වදුරෙකු මෙම කෘතීම බුද්ධි මෙවලම පැළඳගෙන කාමරයකට ඇතුල් කළ හැකි බව පෙන්වා දී තිබේ. එවැනි අත්හදා බැලීමක් පවා අනාගතයේ දී ලෝකයේ පැවැත්ම කොපමණ විශාල පරිවර්තනයක් කරනු ඇත්දැයි සිතා ගැනීම පවා අපහසුය.

ඊලෝන් මස්ක් දකුණු අප‍්‍රිකාවේ උපත ලැබූ, නව සොයා ගැනීම් වෙනුවෙන් වෙහෙසෙන පර්යේෂකයෙකි. මූලික අධ්‍යාපනයෙන් පසු කැනඩාවට පැමිණි හෙතෙම එහි පුරවැසි බව ලබා පරිගණක මෘදුකාංග අංශයට යොමුවිය. දහ නම වැනි වියේදී ඇමරිකාවට පැමිණ පින්සෙල්වියානු විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබයි. තම සහෝදරයා සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන හෙතෙම පසුව එය දියුණු කරගත් අතර එහි දෙවැනි පියවර බවට පත් කරගත්තේ පේ පැල් නමැති විද්‍යුත් මුදල් හුවමාරු ක‍්‍රමය හදුන්වා දීමය. තව තවත් සමාගම් එකතු කරගෙන ව්‍යාපාර ලෝකයේ ඉදිරියට එන විට ස්පේස් එක්ස් නමැති අභ්‍යවකාශ වැඩ සටහන ආරම්භ කරන 2002 අවුරුද්දේ දී ඇමරිකානු ඩොලර් මිලියන සියයක ආයෝජනයකිනිය. ඔහු සිහින වමන සියලූ දේ තුළින් මිනිසුන් කිසිසේත් අපේක්ෂා නොකරන ලද කලාපයකට ජන ජීවිතය යොමු කරන අතර ඒවා නවෝත්පාදනය කරන සංකීර්ණ ආයෝජන වශයෙන් ඉතිහාසය අලූත් කරන්නට ඊලෝන් මස්ක් සමත්වීම විශේෂත්වයකි.