» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/06/2020 - දේශය
අලූතින් හිතන්නට නැවතත් අවස්ථාවක්

අලූත් දෑ නොතනන ජාතියට ඉදිරි ගමනක් නැති බව කුමාරණතුංග මුනිදාස ශූරීහු ඔහුගේ නිර්මාණයකින් දක්වා තිබේ. රසාලිප්තව ඉදිරිපත් කරන එහි අවසානයේ දක්වන්නේ ඛේදනීය අවසානයක් කරා යොමු වන බවය. එය කදිම අවවාදයකි. අලූත් යුගයකට ඇතුළුවීම වර්තමානයේ එළැඹ ඇති අභියෝගයකි. වෙනස්වන්නට උනන්දුවක් ඇති බව දක්වන නමුත් නැවතත් ප‍්‍රවේශය පැරණි සුපරුදු ගතානුගතික ව්‍යුහයටම බව නිරීක්ෂණය කළ හැකිය.

අනපේක්ෂිතව මුහුණදුන් බරපතල ඉරණමෙන් ක‍්‍රමයෙන් නිදහස් වෙමින් සිටි. කොවිඞ්-19 වයිරසයේ බලපෑම ගැන මෙයින් අදහස් කෙරේ. මිලියන ගණනක් රෝගී විය. ලක්ෂ ගණනක් ජීවිත අහිමිවිය. මෙම අමිහිරි පසුබිම තුළින් අත්දැකීමක් ලැබූ රටවල් අලූත් ජවයකින් නැවත නැගී සිටිමින් අතර තාක්ෂණය එහි යහමින් පවතින බව දැකගත හැකිය. සම්ප‍්‍රදායික රාමුවට බැහැරින් පවතින අවස්ථා තුළින් නවීන සමාජ ආර්ථික දියුණුවක් ඇති කරගැනීම ගැන අවධානය යොමු කළ යුතුය. එය ශ‍්‍රී ලංකාවට මෙම අවස්ථාවේ දී ගත හැකි එක පියවරකි.

නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ රට වෙනස් කර ජනතාවගේ අභිවෘද්ධිය ඇති කරන්නට මෙරට පාලනය කළ ආණ්ඩු නොයෙක් පියවර ගත්හ. ඒවායේ සාර්ථක හා අසාර්ථක භාවය ගැන විවේචන තිබේ. ජනතාව අතෘප්තිමත්ය. තරුණ පෙල ඉච්ඡා භංගත්වයට පත්ව සිටී. රට තුළ ඇති වූ කැරළි එහි උච්ඡතම අවස්ථා වශයෙන් දැකිවිය හැකිය. පටු දේශපාලන කදවුරු තුළින් පාක්ෂිකයන්ට පමණක් සේවය කිරීම වෙනුවට ජනතාවගේ සැබෑ අවශ්‍යතා හදුනාගැනීමට අවශ්‍ය පියවර පවතින ක‍්‍රමය තුළ නැත. වේගවත් වෙනස්කම් වලට බාධා තිබේ. දේශපාලන ගතානුගතිකත්වය තදින් තිබේ. අලූත් ආයෝජන වෙනුවෙන් රටට වත්කමක් නැත. ජනතාව තුළ පවා ආණ්ඩුවෙන් යැපෙන, සහනාධාර ක‍්‍රම වලින් ජීවත්වන ආකල්ප ඇතිකර තිබේ. එය බලය ලබා ගැනීම අරමුණු කරගෙන දේශපාලනඥයන් ගෙන ගිය වැඩ පිලිවෙලක ප‍්‍රතිඵල බව සදහන් කරන්නට අවශ්‍යය.

ලෝකය නිසොල්මන්ව තිබී එයින් පසු අවදිවන අලූත් යුගය තුළ මෙතෙක් නොතිබුණ අවස්ථා මතුවෙමින් තිබේ. ජන ජීවිතයේ සෑම අංශයකම විශාල දියුණුවකට ඒවා බලපානු ඇත. මෙතෙක් ගමන් කරමින් තිබුණ වේගය අභිබවා අලූත් නවීකරණයක් සිදුවෙමින් පවතී. උදාහරණයක් වශයෙන් තෙල් බලයෙන් වාහන ගමනාගමනය වෙනුවට සූර්ය බලයෙන් ආරෝපනය කරන ලද බැටරි වලින් වාහන ධාවනය ගැන සිහින මවමින් සිටියේය. නොයෙක් රටවල් එම උත්සාහය දෙතුන් ගුණයකින් නංවා ගෙන ඇත. භාණ්ඩ මිල දී ගැනීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් විශාල පරිවර්තන සිදුවී ඇත. කෙලින්ම නිෂ්පාදකයා හා පාරිභෝගිකයා මුණ ගැසෙන අන්දමට තාක්ෂණය හසුරුවා ඇති අතර වෙනම සේවා ජාල ද නිර්මාණය වී තිබේ. වෙළද සැලකට ගොස් භාණ්ඩ මිල දී ගැනීම වෙනුවට නිවසේ සිටම ඇනවුම් කරන අතර ගෙවීමට ද අතින් මුදල් හුවමාරු නොකරන තැනට පත්ව තිබේ. මිල දී ගන්නා දේ භාණ්ඩ බෙදාහරින සේවකයෝ නිවෙස් වලටම ගෙනැවිත් දෙති. එය ද පියවරක් ඉදිරියට ගමන් කර තිබේ. නියමුවන් රහිත ඩ්‍රෝනා යාත‍්‍රා මගින් දොරකඩටම අවශ්‍ය දේ ප‍්‍රවාහනය කෙරේ. සමහර රටවල් අත්‍යවශ්‍ය ඖෂධ හා රෝගීන්ට සැපයෙන් සේවා වෙනුවෙන් ඩ්‍රෝන යාත‍්‍රා වානිජ මට්ටමකින් අරඹා ඇත.

ආණ්ඩු තීරණ ගන්නා අන්දම හා ජාත්‍යන්තර සම්බන්ධතා වෙනස් ව්‍යුහයක් ගෙන තිබේ. එයින් අපේක්ෂා කරන්නේ ජනතාව කාර්යාලය වෙත නොපැමිණ සිය නිවසේ සිටම අවශ්‍ය කාර්ය කරගැනීමට ඉඩ සැලසීමයි. ශ‍්‍රී ලංකාව සෑහෙන කාලයක් තිස්සේ බලය බෙදාහැරීම ගැන සාකච්ඡා කරමින් සිටී. පලාත් සභා ත‍්‍රමය ගැන විවේචන තිබේ. මේවා වෙනුවට අන්තර් ජාලයෙන් ඉක්මනින් ජනතාවට සේවාසපයන රටක් හැදිය හැකිය. එය අලූත් යුගයට ඉක්මනින් ඇතුළු වීමකි. වේගවත් පියවරක් වනු ඇත. කඩදාසි පුරවා, තැපෑලෙන් යවා පෝලිම්ම වල සිටින යුගය අවසන් කරන්නට ශ‍්‍රී ලංකාව මහන්සි විය යුතුය. එය කළ නොහැකි දෙයක් නොවේ. මෙරට මානව සම්පත ඉතාම දක්ෂය. තොරතුරු තාක්ෂණ අවබෝධය තිබේ. පස්වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනයට ආයෝජනය කළහොත් අනෙක් රටවලට කලින් රොබෝ තාක්ෂණයට ද අවතීර්ණ විය හැකිය. මේවා විශාල දේ වන අතර ශ‍්‍රී ලංකාව වැනි රටකට කළ නොහැකි දේ බව කල්පනා කිරීම සුදුසු නැත.

අපට හුරු වි තිබුණ පැරණි ව්‍යුහය අවසන්ය. ඉදිරි වසර දහය තුළ නිර්මාණය වන ලෝක ස්වභාවයට ගැලපෙන පරිදි තීරණ ගත යුතුව තිබේ. මධ්‍ය පරිමාන ව්‍යවසායක අංශ මෙම පර්වර්තනයේ දි ගැටළුවලට මුහුණ දෙන්නට ඉඩ තිබේ. වෙනස්කම් ඇති කරන තීරණ මහා පරිමාන ව්‍යවසායකයන්ට ඉක්මනින් ගත හැකි නමුත් මැද සිටින පිරිසට අභියෝග මතුවෙයි. අලූත් ව්‍යුහයන්ට යා යුතු අතර ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති සකස් කරන විට එවැනි අවාසියකට පත් විය හැකි පැති ගැන සොයා බැලීම සුදුසුය.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දුෂ්කරතාවට පත් වූ කර්මාන්ත හා ව්‍යාපාර නගා සිටුවන පියවර ඇරඹී තිබේ.තිබේ. තිබුණ රාමුව නැවත හදන පියවර පමණක් ප‍්‍රමාණවත් නැත. අලූත් තීරණ ගත යුතුය. මෙතෙක් පැවැති ආර්ථික සහ සමාජ ක‍්‍රමය ගැන නැවත හැදීම අනාගතයට වැදගත් නැත.