» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/03/2021 - දේශය
වනාන්තර ආරක්ෂා කරන වගකීම ජනතාව අතට

පරිසරය ආරක්ෂා කරගැනීම ගැන දක්වන උනන්දුව ගෝලීය ප‍්‍රවණතාවයක් බවට පත්ව තිබේ. එක ජන කොට්ඨාශයකට හෝ තෝරා ගත් පැලැන්තියකට පමණක් ගහ කොළ වන සතුන් ගැන අවධානයක් දැක්වීම කළ නොහැකිය. ජනගහනය වැඩිවන විට මනුෂ්‍ය අවශ්‍යතා ඉහළ යයි. පරිසරයට සිදුවන හානිය නොසලකා ජීවත්වීමේ අරගලය ගැන පමණක් අවධානයක් යොදවයි. එයින් සිදුවන හානිය ප‍්‍රබලය. සීමාව ඉක්මවා කරන සම්පත් පරිහරණය අසාධාරණ ප‍්‍රයත්නයක් වන අතර මතු පරපුර බලවත් විපතකට තල්ලූ කිරීමකි. ආණ්ඩු පමණක් නොව ජනතා සංවිධාන අත්වැල් බැදගෙන තිබේ. සොබා දහම ආරක්ෂා කරගෙන ජීවත් වන අරගලය ඇරඹී ඇත.

ලෝකයේ නොයෙක් රටවල් පරිසරය ආරක්ෂා කරගෙන සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට වෑයම් කරයි. විවිධ ක‍්‍රමෝපාය අනුගමනය කරන බව වාර්තා වෙයි. චීනය වනාන්තර, තෘණ භූමි සහ වන සතුන් ගැන සොයා බැලීමට රට පුරා ස්වේච්ඡා කණ්ඩායම් පත් කරන්නට යයි. 2017 වසරේ දී මෙම වැඩ සටහන අත්හදා බැලීමක් වශයෙන් ක‍්‍රියාත්මක කළේය. එයින් ප‍්‍රයෝජනයක් ලැබී තිබේ. වසර 2022 වන චීනය පුරා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

චීන දේශපාලනය තනි පක්ෂ ක‍්‍රමයකි. කොමියුනිස්ට් පක්ෂය ඉතාම බලවත්ය. සුළු දේශපාලන පක්ෂ අටක් ගැන සදහනක් පවතින නමුත් බලය ලබා ගැනීමේ රාමුවට එපිටින් තිබේ. ලබන ජුලි මාසයේ දී පක්ෂයේ නිල ඉතිහාසය වසර සියයක් සපුරයි. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය කවුන්සලය මෙම වනාන්තර ආරක්ෂක බලකාය පත් කිරීම අනුමත කර තිබේ. වනාන්තරය හා තෘණ භූමි ආරක්ෂා කරගැනීම පළමු වගකීම වශයෙන් සදහන්ය. නූතන තාක්ෂණික මෙවලම් මෙහි දී භාවිතා කරන බව දැක්වෙයි. කැලෑබද ප‍්‍රදේශවල සිදුවන ගස් කපන ජාවාරම් ගැන අවධානයෙන් සිටින අතර ලදු කැලෑ විනාශ කරන හෝ ස්වභාවික ගිනි ගැනීම් ගැන වාර්තා සටහන් කරගෙන අදාල බලධාරීන් දැනුම්වත් කරන්නට තොරතරු තාක්ෂණය භාවිතා කරන බව දැක්වෙයි. මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණක් නොව වනාන්තර වල පැවැත්මට තර්ජනයක් වන අනෙක් වන සතුන් ගේ උපද්‍රව සහ ගස් වලට වැළදෙන රෝග ගැන අවධානය යොමු කර නිසි පිලියම් වෙනුවෙන් පියවර ගැනීම මෙම බලකායට පැවරෙන වගකීමකි.

වනාන්තර ආරක්ෂා කරන බලධරයෙකු සමාජය තුළින් පත් කරගන්නා ප‍්‍රයත්නය හදුන්වා දෙන ලද 2017 වසරේ දී ප‍්‍රාදේශීය කොටස් විසි තුනකට පළමු වරට හදුන්වා දෙන ලද බව සදහන්ය. තල තුනකින් මෙම බලකාය සේවය කරයි. නාගරික අර්ධ නාගරික සහ ප‍්‍රාදේශීය වශයෙනි. ප‍්‍රාදේශීය පිරිස් වෙත වැඩි බරක් පැටවී තිබේ. වනාන්තර ආසන්නයෙහි වෙසෙන අඩු ආදායමක් සහිත ජනතාව වනාන්තර ආරක්ෂාව වෙනුවෙන් සම්බන්ධ කර ගැනේ. ගස් වල හටගන්නා බීජ ශීත කාලයෙන් පසු පැලවෙන්නට පටන් ගන්නා අතර ඒවාට නිසි සාත්තුව සැපයීම එම ජන කොටස් වලට පැවැරී ඇති වගකීමකි. වැ ඩිපුර පැල ඉවත් කර බදුන් ගත කෙරේ. ඒවා අලූත් පද්ධතියකට යොමු කරන අතර පැල සිටුවන පිරිස ඒවා වනාන්තර පුලූල් කරන අවසථා වල දී භාවිතයට ගන්නා බව වාර්තා වෙයි. සෑම පුද්ගලයෙකුටම ගහකොළ වල වැදගත්කම කියා දෙන අතර වනාන්තර ආශ‍්‍රිතව විශාල පුවරු සවිකර අවබෝධය ඇති කරන ක‍්‍රියාමාර්ග ගෙන ඇත. නොයෙක් තැන් වල ඔක්සිජන් ඝනත්වය ගැන ස්වයංක‍්‍රීයව දැනුම්වත් කරන ඩිජිටල් පුවරු ස්ථාපිත කර ඇත. ප‍්‍රමාණවත් ඔක්සිජන් ප‍්‍රතිශතය සහිත අවස්ථාවල එය කොළ පැහැයෙන් දක්වන අතර එය රතු හෙවත් අවදානම් සහගත තැනකට හැරෙන්නට නොදී පවත්වා ගැනීමට මෙම නියමුවන් කැපවීමෙන් සේවය කරති. එක දවසකට සමහර කොටස් වල දෙතුන් වතාවක් සංචාරය කරන්නට සිදුවී තිබෙන බව චීනයේ ජින්ග්ඬේ ප‍්‍රදේශයේ වන ස්වේච්ඡා නිලධාරිනියක ජාත්‍යන්තර මාධ්‍යයට දක්වා ඇත. එය නැගෙනහිර කදුකරයේ ගම්මානයකි. එය අධික වන ඝනත්වයක් සහිතය. ආරක්ෂා කරගැනීමට පිණිස දිනකට වාර ගණනාවක් විදුලි යතුරු පැදියකින් යන එන ඇය මහත් ආස්වාදයක් සහිත වගකීමක් බව ප‍්‍රකාශ කරන්නීය.

ලෝකයේ කාලගුණ වෙනස්කම් වලට හේතු වන පරිදි පරිසර විනාශය වලක්වන මැදිහත්වීම් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. නොයෙක් රටවල බලධාරීන් පමණක් නොව ස්වේච්ඡා කණ්ඩායම් ද බලමුළු ගැන්වී ඇත. තවත් පැත්තක් තිබේ. ගහකොළ පමණක් ආරක්ෂා කරගැනීමෙන් සම්පූර්ණ සුරක්ෂිත භාවයක් නොලැබේ. පොලීතීන් භාවිතය, පොසිල බලශක්ති පරිහරණය සහ කැනීම් වැනි කටයුතු ගැන පවා අවධානයකය. ගස් ආරක්ෂා කරන නමුත් එක ගුවන් යානයක ගමන පවා ඉන්ධන දහනයෙන් මහත් හානියක් බව දක්වයි. සත්ව පාලනය වැනි කටයුතු වල දී භාවිතා කරන හරිතාගාර ආවරණ සංකල්පය ද ප‍්‍රශ්නයක් බව දැක්වෙයි. ඒවායෙන් නිපදවන මීතෙන් වායුව විශාල හානියකි. ජාත්‍යන්තර පර්යේෂකයෝ සමස්ථ ව්‍යුහයම වෙනස් කළ යුතු බව දක්වති. ගස් ආරක්ෂා කරගැනීම පමණක් නොව ජීවත්වන රටාව ගැන අලූතින් හිතන්නට බලකරන පසුබිමකි. නොදැනුවත්ව කරන දෙයින් පවා සියුම් බලපෑමක් සිදුවෙයි. අවසානයේ දී ගෝලීය උණුසුම ඉහළ නගී. එයට හේතුව ඕසෝන ස්ථරයට හානි සිදුවීමය. ඕසෝන ස්ථරයට කරන හානි හැකිතාක් අවම කරන සේ හැසිරෙන බවට පැරිස් සම්මුතියකට ජගත් ප‍්‍රජාව අත්සන් කර ඇත. සියළුම රටවල් එළැඹිය හැකි භයානක ඉරණම ඉදිරියේ හැකිතාක් පරෙස්සම් විය යුතු බව අවබෝධ කරගෙන සිටිති.

සියළුම රටවල්, ඒවායේ ජීවත්වන වැසියන් සහ සංවිධාන පරිසරය ගැන අවධානය යොමු කරමින් සිටී. එයට හේතුවක් තිබේ. තාක්ෂණික හා කාර්මික වශයෙන් අලූත් සොයා ගැනීම් අත්පත් කරගන්නා නමුත් පරිසරය නොතකා සිටියහොත් පලක් නැති විය හැකි බව ප‍්‍රකාශ වෙමින් තිබේ. මහ පොලව මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත් වුවහොත් තාක්ෂණයෙන් විද්‍යාවෙන් ජීවත් විය හැකි කාලය ඉතාමත් සීමිතය. සම්පත් පරිහරණය ඉතාම පරෙස්සමෙන් කරන ලෙස පණිවුඩයක් නිකුත් ව තිබේ. පරිසරය ගැන සිතන අතරවාරයේ විනාශය ගැන විරෝධය පමණක් නොව ආරක්ෂා කරගැනීමට ප‍්‍රජාව හා ග‍්‍රාමීය නායකත්වය සංවිධාන ගත කරන වැඩ පිලිවෙලක් ද සූදානම් කරගත යුතුය.