» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/02/2021 - දේශය
එක ගහක් ආරක්ෂා කරගැනීමෙන් පමණක් විසදුමක් නොවේ

ගහක් දෙකක් සිටුවා පරිසරය ආරක්ෂා කරන්නට නොහැකි බව අලූතින්ම ප‍්‍රකාශවන කරුණකි. වනාන්තරයක් කපා කොටා වැනසීම පමණක් නොව අලූතින්ම වනානාන්තරයක් වැවීමත් උත්තරයක් නොවේ. එක තැනක සිදුරු වහන විට වෙනත් සිදුරු දහස් ගණනකින් පරිසරයට හානිවෙමින් තිබේ. ප‍්‍රකට ප‍්‍රකෝටිපතියෙකු හා නවෝත්පාදන අදහස් සහිත බිල් ගේට්ස් ඔහුගේ අලූත් වෑයම පරිසරය ගැන අවධානය යොමු කිරීමය. කාලගුණ විපත්තියකින් ගැලවෙන්නේ කෙසේ ද යන්න ගැන කෘතියක් ද අලූතින්ම ලියා තිබේ. අද වන විට ජගත් ප‍්‍රජාව මුහුණ දි ඇති කොවිඞ් වසංගතය පාලනය කර ගැනීම සුළු දෙයකි. එහෙත් කාලගුණ විපත්වලින් ගැලවෙන්නට නම් පුලූල් දර්ශනයක් අවශ්‍ය බව ඔහු කියා ඇත. එය විශාල අවධානයකට ලක්ව ඇති කරුණකි.

බිලියන පනස් එකක් බිංදුවකට හරවා ගැනීම බිල් ගේට්ස් පෙන්වා දෙන තර්කයකි. විශාල ඉලක්කමක් බිංදුවට හැරවීම පහසු නැත. මෙටි‍්‍රක් ටොන් බිලියන පනස් එකක් යනු මනුෂ්‍ය කි‍්‍රියාකාරකම් නිසා එක වසරකට වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප‍්‍රමාණයයි. ඒවා කාබන්ඩයොක්සයිඞ් ඇතුළු අහිතකර වාතය බව දැක්වෙයි. මනුෂ්‍යයා විසින් ආහාර නිපදවා ගැනීමට අලූත් ක‍්‍රම භාවිතා කෙරේ. සත්ව නිෂ්පාදන විශේෂිතය. හරිතාගාර තත්ත්ව යටතේ කරන ක‍්‍රියාකාරකම් වලින් අහිතකර වායු නිපදවෙයි. ඒවා වායු ගෝලයට එකතුවන අතර අවසානයේ දී ඕසෝන ස්ථරයට හානියකි. ස්ථරයට හානි වන විට පාර ජම්බුල කිරණ පොලවට පතිත වන අතර සෑම වසරක් පාසා ගෝලීය උණුසුම වැඩිවෙයි. හරිතාගාර විමෝචනය ඔස්සේ අවුරුද්දකට නිපදවන බවට දැනට ගණන් බලා ඇති අහිතකර වායු ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් බිලියන පනස් එකක් නම් හොද පරිසර තත්ත්ව සදහා මෙම ඉලක්කම බිංදුවක් කරගත යුතුය. ගහක් සිටුවීමෙන් හෝ පොලිතීන් භාවිතා කිරීම වැලැක්වීමෙන් පමණක් උත්තරය සොයා ගත නොහැකිය.

දැනට සිදුවී ඇති පරිසර හානිය වලක්වා ගැනීමට වසර තිහක් එක දිගට වෙහෙසෙන්නට සිදුවෙයි. එහෙත් ඒ අතරතුර මිනිසා ගේ ක‍්‍රියාකාරකම් නතර නොවේ. ජල විදුලිය, සූර්ය විදුලියට හෝ සුලං විදුලිය බලාගාර වලින් ශක්තිය නිපදවා ගෙන තෙල් පිලිස්සීම අවම කිරීමෙන් යහපතක් සිදුවනු ඇතැයි තර්කයක් ගොඩනැගීමට බැරිකමක් නැත. එහෙත් අවාසනාවකට මෙකී පරිසර හිතකාමී බලශක්ති උත්පාදනයෙන් පවා වලකා ගත හැක්කේ සම්පූර්ණ හානියෙන් සියයට තිහකට ආසන්න ප‍්‍රමාණයක් පමණකි. ඉතිරි සියයට හැත්තෑව නොනවත්වා අනාගතය අවහිර කරන බව සනාථ කර තිබේ. ලෝකයේ නොයක් රටවල් විදුලිය වාහන භාවිතා කරන පියවර ගෙන තිබේ. සමහර රටවල් වසර 2030-40 ඇතුලත ඉන්ධන භාවිතා කරන සැහැල්ලූ වාහන නගරවලට ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන පියවර ගෙන ඇත. විදුලිය වාහන පරිසර හිතකාමී බව පිලිගත යුතු නමුත් එම වාහන වලට අවශ්‍ය විදුලිය නිපදවන ක‍්‍රමය පරිසරයට හිතකර නැත. ගල් අගුරු හෝ දැවිතෙල් බලාගාර වලින් ඇති කරන හානිය ප‍්‍රබලය. වාහන විදුලියට හරවා බලශක්තියට තෙල් පුලූස්සනවිට පරිසරයට විශාල වාසියක් නැත.

විදුලිය උත්පාදනය සදහා පරිසර හිතකාමී පැති පමණක් නොව දියුණු තාක්ෂණය භාවිතා කළ යුතු බවට මතයක් ඉදිරිපත් වී තිබේ. එය වෙනුවෙන් පෙනී සිටින බිල් ගේට්ස් සදහන් කරන පරිදි න්‍යශ්ඨික බලය අවධානය යොමු කළ යුතු අංශයකි. ඉන්දියාවේ බෝපාල් නගරයේ සිද්ධිය සහ ජපානයේ පුකුෂිමා හි න්‍යශ්ඨික බලාගාරයේ අනතුර ලෝක ඉතිහාසයේ භයානක සිද්ධි වශයෙන් සිත් සසල කරවයි. එයින් පාඩම් ඉගෙනගත් සමහර රටවල් න්‍යශ්ඨික බලයට අත තබන්නට සූදානමක් නැත. 1984 දී සිදුවූ බෝපාල් සිද්ධිය සහ 2011 සිදුවූ පුකුෂිමා බලාගාරයේ අනතුර සිදුවන කාලසීමාවට වඩා විද්‍යාව හා තාක්ෂණය දියුණු වී තිබේ. විශාල පරිවර්තන යුගයකි. ඉතාම ආරක්ෂා සහිතව න්‍යශ්ෂඨික බලය හසුරුවන්නට හැකියාව තිබෙන බව ක්ෂේත‍්‍රයේ නියමුවෝ පෙන්වා දෙති. එවැනි අංශ බලශක්තිය වෙනුවෙන් මනා පිටිවහලක් වනු ඇත.

විද්‍යුත් තැපෑලෙන් ලැබෙන ලිපියක් මුද්‍රණය කිරීමෙන් වැලකෙන සේ පවා උපදෙස් දෙන පරිසර හිතකාමීහු කඩදාසි නිෂ්පාදනය සදහා කරන වනාන්තර විනාශය වලකන අදහස ඇතිව සිටිති. එයින් විශාල පිටිවහලක් ලැබෙන්නේ නැත. එහෙත් සුළු උත්තේජනයක් පවා අලූතින් හිතන තැනකට යොමු කර තිබේ. සමහර පරිසර හිතකාමීහු කිරි නිෂ්පාදන හා මාංශ අනුභවය නතර කර ඇති අතර එයට හේතුව සත්ව පාලනයෙන් සිදුවන වායු විමෝචනය අවම කිරීමට දායකවීම බව නොරහසකි. කුඩා පියවර වලින් පවා මහා ප‍්‍රයත්නයකට පදනම සකස් වෙයි. කෙසේ නමුත් දැනට කරන පර්යේෂණ අනුව වායුගෝලයට වාර්ෂිකව මුදා හැරෙන අහිත කර වායූ මෙටි‍්‍රක් ටොන් බිලියන පනස් එක ඉතා වැදගත් සාධකයකි. ගහකොළ සතා සීපාවා පමණක් නොව සමස්ථ මනුෂ්‍ය සංහතිකය ජීවත්වන ක‍්‍රමය වෙනස් කරන පියවරක් විය යුතුය. අප හිතන පතන, ආහාර ගන්නා පමණක් නොව අදින පළදින දේ වලින් පවා පරිසරයට කරන හානිය බරපතලය.

පවතින අර්බුදය සලකා බලා සෑම පුද්ගලයෙකුටම පරිසර ගිණුමක් ආරම්භ කළ හැකිය. හානිය අවම වන සේ තීරණ ගත යුතු අතර හානි වන සෑම අවස්ථාවකම එයට පිලියම් වශයෙන් යමක් පරිසරයට දායක කරන්නට අවශ්‍යය. එය පහසු දෙයක් නොවේ. එපමණ අපහසු ද නැත. බිලියන 7.8 ක් වන ලෝක ජනගහනය එකමුතුව එකට තීරණ ගතහොත් අනාගත පරපුර වෙනුවෙන් යහපත් ලෝකයක් ඉතිරි කළ හැකිය. විශාල සංකල්පයකි. ශ‍්‍රී ලංකාව සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සෑහෙන ක‍්‍රියාකාරකම් යෝජනා කරයි. අලූතින් යමක් සැලසුම් කරන සෑම අවස්ථාවකම මෙටි‍්‍රක් ටොන් බිලියව පනස් එකක ඉලක්කම තුළ තීරණ ගත යුතුව තිබේ.