» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/12/2020 - දේශය
විදුලියෙන් බස් යන ලෝකයේ රාවණා යුගය ගැන උදම්වන ලංකාව

ලෝකය හැම තැනකම කොවිඞ් කලබැගෑනිය තිබේ. උවදුර ගැන බලවත් භීතියක් ඇත. එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන පර්යේෂණ සාර්ථක වී ඇති බවට තොරතුරු පළවෙයි. මිත්‍යාව පසෙක තිබිය දී යතාර්ථය පිබිදෙමින් තිබේ. පරිසරය වනසන, දරුණු තීන්දු ගත් මිනිසුන් විසින්ම පරිසර හිතකාමී පියවර වලට අවතීර්ණ වෙමින් සිටී. ගෝලීය උණුසුම, කාලගුණ විපත්, වස විස ආහාර සහ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉතිහාසයේ නොතිබුණ රෝග පැතිරෙන කාල වකවානුවක මිනිස් ප‍්‍රජාව තමන්ගේ යහපත වෙනුවෙන් අලූතින් හිතන බව පෙනේ. කොවිඞ් වසංගතය ගැන අවධානය තිබිය දී කාබන් විමෝචනය අවම කරන පියවර අනුගමනයට සූදානම්ය. විදුලිය බලයෙන් ධාවනය කරන වාහන එහි එක පියවරකි. පොදු ජනතාවගේ ප‍්‍රවාහනය සේ ගැනෙන බස් රථ විදුලියබලයට හැරවීම සෑම රටකම බලවත් ප‍්‍රයත්නයක් වී ඇත. වියදම අඩු සහ පරිසර හානියක් නැති බස් රථ ධාවනයටඑකතු කරන සැලසුම් නන් දෙසින් වාර්තා වෙයි.

විදුලිය බස් කර්මාන්තයේ දී චීනය ඉදිරියෙන් සිටී. පසුගිය දා වාර්තා වූ පරිදි චීනය් ෂෙන්ෂෙන් හි දිනට විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ විසි දහසක් තිබේ. ඒ හා සමාන ටැක්සි බලඇනියක් ද නගර පුරා ධාවනය වෙයි. ඉදිරි කාලයේ දී ඉදිකිරීම් කර්මාන්තයේ දී බහුලව භාවිතා කෙරෙන බර වාහන විදුලියබලයට හැරවෙනු ඇත. මෙම සියළු වාහන වලට විදුලිය සැපයෙන්නේ සූර්ය තාප බලයෙන්ය. හිරු එලියෙන් විදුලිය ජනනය වන බැටරි පද්ධති වාහන වලට සවි කර ඇති අතර සෑම තැනකම ඉතා වේගයෙන් ආරෝපනය කරන ස්ථාන පිහිටුවා ඇත. ෂෙන්ෂෙන් චීනයේ නිරිත දිග ‍ දේශයේ පිහිටා ඇති වානිජ කේන්ද්‍රස්ථානයකි. එහි සාප්පු සවාරිය, කොවිඞ් වලට කලින් කාලවකවානුවේ දී ලෝකයේ ජනප‍්‍රිය අංගයක් වී තිබුණ බව මතක් කළ යුතුය. බස් රථ පමණක් හාර ලක්ෂ විසි දහසක් ඇති එම ප‍්‍රදේශයේ විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ ගණන සුළු ප‍්‍රමාණයක් සේ පෙනෙන නමුත් එම ව්‍යාප්‍රතිය ලෝක ප‍්‍රජාව තුළ දැවැන්ත පියවරක් වී ඇත. ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, බි‍්‍රතාන්‍ය, සිංගප්පුරුව, නොර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් හා යුරෝපා ප‍්‍රජාව තුළ විදුලිය බස් භාවිතාව ඇරඹී තිබේ. එකම විදුලිය බස් රථයක් හෝ නැති පමණක් නොව ධාවනයට එකතු වන දිනයක් ගැන සිහිනයක් හෝ නොපෙනෙන රටවල් සෑහෙන ප‍්‍රමාණයක් තවමත් පවතී. වෙනස් වෙමින් සහ වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින යුගයක විදුලිය වාහන නැතිකමත් බලවත් දුප්පත්කමක් සේ සැලකිය හැකිය.

ජාත්‍යන්තර වාර්තා අනුව වායු ගෝලයට කාබන්ඩයොක්සයිඞ් එකතුකරන ප‍්‍රධාන කාරණා අතර බස් රථ හතරවැනි තැන ගනී. පළමු තැන සේ සලකන්නේ අභ්‍යන්තර ගුවන් ගමන්ය. දෙවැනුව දීර්ඝ ගුවන් යානා සහ තෙවැනුව කාර් වලින් කාබන්ඩයොක්සයිඞ් පිට කෙරේ. හතරවැනි තැනට එන බස් රථ වලින් කිසිම වායුවක් විමෝචනය නොවන තැනට පත්කරගැනීම අභිලාශය වී ඇත. එක බස් රථයකින් එම රථයේ භාවිතා කාලය තුළ ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක ඉන්ධන භාවිතා කරන බව ගණන් බලා ඇත. පිටකරන දුම මහත් විනාශයක් බව සැලකිය යුතුය. මුල් කාලයේ දී සෑම විනාඩි පහකට වතාවක් විදුලි බස් රථය නතර කර චාර්ජ් කරගත යුතු අතර දැන් එය අධික වාහන තදබදයක් ඇති අවස්ථාවක ගමන් කරන බස් රථය තිරිංග තද කරන විට පවා විදුලියක් නිපදවා බැටරිය ආරෝපනය කරන තරමට දියුණු වී තිබේ. තවත් වසර දහයක් දොලහක් ගතවන විට බැටරි තාක්ෂණය දියුණුවුවහොත් ප‍්‍රවාහනය තෙල් භාවිතාවක් නැති යුගයකට හැරවෙන බව නිසැකය.

ඉන්දියාව පවා එට බස් වලින් සියයට දහයක් විදුලියට හරවන වෑයමක සිටී. ඔස්ට්‍රේලියාවේ නාගරික බල ප‍්‍රදේශයේ සියයට පනහක් සහ 2024 වන විට සිඞ්නි නගරයේ බස් හත්දහසක් විදුලියට හැරවෙනු ඇත. නිවියෝක් හා වොෂින්ටන් නගර වල ද සෝලාවිදුලිය බස් දැකිය හැකි දර්ශනයකි. ඇමැස්ටඩ‍්‍රෑන් නගරය ඉන්ධන බාවිතා කරන වාහන 2030 වසරේ සිට නගරයට ඇතුළු කිරීම තහනම් කිරීමට යයි.

පොසිල ඉන්ධන භාවිතය අත්හරින රටවල් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඉන්ධන දැවීමෙන් සිදුවන පාරිසරික හානිය තක්සේරු කරන අතර හිරු එළියෙන් නිපදවන පිරිසිදු විදුලිය ජන ජීවිතයට ආශීර්වාදයක් බව පිලිගෙන ඇත. විශේෂයෙන් පොදු ප‍්‍රවාහනයට භාවිතා කරන බස් රථ විදුලියෙන් ධාවනය කරන ඒවා බවටට හැරවීම නොයෙක් රටවල බලවත් ප‍්‍රයත්නයකි. වායු ගෝලය පිරිසිදු කරන උවමනාවෙන් විදුලිය වාහන හදුන්වා දෙන රටවල් ජනතාව වෙනුවෙන් විවිධ සහන හදුන්වා දෙන බව ද පෙන්වා දිය යුතුය. එස්ටෝනියාව එයින් එකකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ ධාවනය කරන පොදු ප‍්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ගාස්තු වලින් තොරය. එයින් කොටසක් විදුලියෙන් ධාවනය වෙයි. එස්ටෝනියාව උතුරු යුරෝපීය රටකි. කාලයක් සෝවියට් දේශය යටත් කරගෙන සිටියේය. මිලියන 1.5 ක පමණ ජනගහනයක් ජීවත්වන අතර 1991 වසරේ දී ස්වාධීනත්වය ලැබීය. එස්තොනියාව ඉ ආණ්ඩුකරනට ආරම්භ කළේ රට නිදහස ලබා අවුරුදු හයක් වන විට දීය. අද වන විට පුරවැසියන්ට සිය උවමනා එපාකම් වලින් සියයට අනූනමයක්ම අන්තර් ජාලය සම්බන්ධ කරගෙන කරගත හැකි තරමට දියුණුය.

ඉන්ධන භාවිතාව අත් හැරීම, විදුලිය බලයෙන් ධාවනය වන වාහන සහ බස් ගාස්තු නැති නගර යනාදි වශයෙන් ජගත් ප‍්‍රජාව ප‍්‍රවාහනයේ අලූත් රාමු හදුන්වා දෙමින් සිටී. මේවායෙන් අත්පත් කරගන්නා අවස්ථා ජන සමාජයේ පැවැත්මට ඉතා යහපත්ය. අලූතින් හිතන්නට අවශ්‍යය. පරිසරයේ සුරක්ෂිතතාව ජන ජීවිතයේ ඉතා ප‍්‍රබල සාධකයක් බවට පත් වෙමින් තිබේ. ශ‍්‍රි ලංකාවට ඉතිහාසයක් ඇත. රාවණා යුගයක් ගැන අප‍්‍රමාණව කතාන්දර තිබේ. දඩුමොනරය ගැන කතාකරන්නේ ආඩම්බරයෙන්ය. ලෝකයේ අනෙක් රටවල් හිරු එලියෙන් බස් ගමන අරඹන අතරවාරයේ ශ‍්‍රී ලංකාව පසුවන තැන ගැන කල්පනා කිරීම සුදුසුය.