» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/10/2019 - දේශය
ක්ෂණික විරෝධතාවලට මුහුණ දෙන ආණ්ඩු

ක්ෂණික කැරළිකරුවන් යනුවෙන් නම් කරන ලද කණ්ඩායම් ලෝකය පුරා හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. මෙම කැරළිකරුවෝ බහුතරයක් ආණ්ඩු පෙරලන විප්ලවකරුවෝ නොවෙති. පීඩන කණ්ඩායම් වශයෙන් හැසිරෙති. පසුගියදා ලන්ඩන් පොලිසිය ක්ෂණයකින් පැන නැගී මහත් ආන්දෝලනයක් ඇති කරන සිද්ධි පාලනය කරනු සදහා අලූත් නීති පනවන සේ ඉල්ලා සිටියේය. බි‍්‍රතාන්‍ය රජය ද එකී ඉල්ලීම ගැන අවධානය යොමු කර තිබේ. අලූතින් සූදානම් කළ යුතු නීති හා ඒවායේ බලපෑම ගැන තවමත් නිසි අවබෝධයක් ඇති කරගැනීමට අසමත්වීම බරපතල ගැටළුවකි.

ක්ෂණික කැරළි ජාත්‍යන්තරයට අලූත් ප‍්‍රවණතාවයකි. මෙම කැරළිකරුවන් බහුතරයකගේ විරෝධතා වල පසුබිම පරිසරය හෝ ස්වභාවිකත්වය මුහුණ පා ඇති ඉරණම බව පෙනේ. පරිසර ප‍්‍රශ්න අන්තර් ජාතිකව ඉහළ අවධානයක් ගෙන ඇත. ලෝක විනාශ කරන නරක තීරණ වලට එරෙහි වන ජනී ජනයා නොයෙක් අන්දමට බලපෑම් කිරීම අරඹා තිබේ. ඒවා සංවිධානාත්මක වන අතර එම සංවිධාන හදුනා ගැනීම පහසු නැත. ඉතාම සියුම් සන්නිවේදන ක‍්‍රම භාවිතා කරති. නූතන සමාජ මාධ්‍ය ජාලා වලින් තොරතුරු බෙදා හදා ගන්නා අතර එම තොරතුරු පදනම් කරගෙන ක‍්‍රියාකාරී වෙති.

පාරිසරික අවදානමක් මතු වී ඇති බව ප‍්‍රකාශ කරන කැරළිකරුවෝ පිරිසක් පසුගියදා ලන්ඩන් හි උමං දුම්රිය මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර කළහ. එය මගී ජනතාව අසරණ කරන ලද අවස්ථාවකි. විරෝධතාකරුවෝ හදුනා ගැනීමට ආරක්ෂක අංශ අසමත් වූහ. නිසි විධානයක් දෙන නායකත්වයක් විරෝධතා කරුවන් අතර හදුනාගත හැකි වූයේ නැත. එයට හේතුවක් තිබේ. සමාජ මාධ්‍ය වලින් තොරතුරු හුවමාරු කරගන්නා කැරළිකරුවෝ එක් අයෙක් දෙදෙනෙකු වශයෙන් කලින් කතා කරගන්නා තැන් වලට පැමිණෙති. ඉන් පසුව සිය පෙරැළිය අරඹති. සාමාන්‍යයෙන් විරෝධයකට කලින් සහභාගිකයන් එකතු කරගත යුතුය. එය විශාල සංවිධානාත්මක වැඩ පිලිවෙලකි. සාකච්ඡා වට ගණනාවක් පවත්වන්නට සිදුවෙයි. සමහර අවස්ථාවල නායකයෝ පත්කරගෙන කාර්යය බෙදා ගැනීමට සිදුවෙයි. මෙවැනි පියවර අතරතුරු ආරක්ෂක අංශ වල ඔත්තු සේවා සිද්ධි අනාවරණය කරගනිති. විරෝධතා සූදානම කල්තබා දැනගන්නා අවස්ථාවේ දී එයට මුහුණදීමට ශක්තිමත්වීම සාමාන්‍යයෙන් සිදුවන ස්වභාවයයි. නමුත් වර්තමාන කැරළි ක්ෂණයකින් පැන නැගී වහා විහිදී යන ස්වභාවයක තිබේ. ලන්ඩන් නගරයේ දී එකතු වූ කැරළිකරුවෝ ලෝකයය විනාශ කරන බලවතුන්ගේ කි‍්‍රියාපටිපාටියටඑරෙහි වූ අතර වැඩි දෙනෙකු සිය අනන්‍යතාව හදුනාගත නොහැකි පරිදි වෙස් මුහුණු පැළද සිටියහ. වෙස් මුහුණු පවා ප‍්‍රකට චිත‍්‍රපට හා රූපවාහිනීයෙන් ප‍්‍රකට චරිතයක අනුසාරයෙන් විය. මහජන චීන සමූහාණ්ඩුවෙන් වෙන්වන අයිතිය ඉල්ලන හොංකොං කැරළිකරුවෝ පවා මෙම උපක‍්‍රමයට නතු වී සිටිති. ක්ෂණයකින් එකතු වී, කල්ලි ගැසෙන කණ්ඩායම ඉතා තද විරෝධයක් ගෙන යති. සටන් පාඨ කියා කෑගසති. එදිනෙදා ජන ජීවිතයට බාධා සිදුවන අතර පොලිසිය හෝ ආරක්ෂක අංශ පැමිණ විරෝධතා පාලනය කරනු සදහා සූදානම් වන විට එතැන කැරළිකරුවන් නැති තරමට සියල්ල සන්සුන් ස්වභාවයක් ගැනීම මේවායේ මුහුණුවර වී තිබේ.

ආරක්ෂක අංශ වල සුපුරුදු කැරළි මර්දන ඒකක, කුළු පොලූ හමුදා, ජල ප‍්‍රහාරක රථ යනාදිය නූතන නව මාධ්‍ය යුගයේ කැරළිකරුවන්ට අදාල නැත. ලන්ඩන් පොලිසිය පෙන්වා දෙන අන්දමට පවතින නීති වලින් මෙම ක්ෂණික කැරළි මර්දනය කරනු නොහැකිය.

ක්ෂණික කැරළි පැන නැගීමේ දී සලකා බැලිය යුතු වැදගත්ම කාරණයක් තිබේ. තද අධිශ්ඨානයක් හා ඕනෑකමක් ඇති පුද්ගලයෝ මේවායේ දී හුදෙක් සහභාගීත්වයෙන් පමණක් නතර වන්නේ නැත. සාමාන්‍යයෙන් සිදුවන විරෝධතා වල දී සිද්ධිය වාර්තා කිරීම තවත් පාර්ශවයක කාර්යයකි. නමුත් නව මාධ්‍ය භාවිතාවේ නිරත පිරිස සිද්ධිය කරගෙන යන අතර දහස් ගණන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ස්වකීය කි‍්‍රයාදාමය ගැන නොයෙක් තොරතුරු පළ කරති. සජීවි විකාශ ගෙන යති. විවිධ මත පැතිරවීම ඉතාම බහුලය. සුළු සිද්ධි පවා මහා බලවත් ස්වභාවයකින් ජාත්‍යන්තරය තුළ විහිදෙන අතර එය ආණ්ඩු අසරණ කරන දැවැන්ත අභියෝගයක් බවට පත්ව තිබේ.

පරිසර ප‍්‍රශ්න මෙම කැරළිකරුවන්ගේ තද අවධානයට ලක්ව ඇත. මම මගේ දරු පවුලේ අනාගතය ගැන ශෝක වන බව කියන මැදි වයස් පුද්ගලයෙකු ගේ ප‍්‍රකාශයක් බි‍්‍රතාන්‍යයේ මාධ්‍ය වාර්තා අතර ප‍්‍රධාන තැනක් ගෙන තිබේ. ඔහු මෙම අවසානයක් නොපෙනෙන ක්ෂණික කැරළි කරුවන් අතරට එකතුවූයේ කෙසේද යන්න ඔහු හෝ දන්නේ නැත. තිබුණ හැගීම නිසා එකතු වූ අතර පසුව දැවැන්ත බලයක් ප‍්‍රදර්ශනය වී තිබේ. ලන්ඩන් පොලිසිය මෙම කැරළි මර්දනය කළ හැකි නමුත් පවතින නීති එයට ප‍්‍රමාණවත් නැති බව දක්වයි. 1986 පැවැති පොදු නීති හා විධිවිධාන නැවත වෙනස් කිරීම ගැන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ හා පොලිසිය අතර දීර්ඝ සාකච්ඡා පැවැත්වෙන බව ලැබෙන තොරතුරු වැඩි දුරටත් ස`දහන් කරයි.

ලන්ඩන් නගරයේ නිතර ඇතිවන විරෝධතා පාලනය කරනු අරමුණු කරගෙන ඒවා වාරණය කරන ස්ථිර තහනමක් පනවා තිබුණ ද මෙම ක්ෂණික කැරළිකරුවෝ එම අවහිර මැඩගෙන යන්නට සමත්ව තිබේ. පසුගිය සතියේ පැවැති එවැනි විරෝධයකට තිස් දහසකට අධික ප‍්‍රමාණයක් සහභාගී වී ඇති අතර එයින් එක්දහස් පන්සියයක් පමණ අත් අඩංගුවට ගත් නමුත් පසුව අවවාද කර නිදහස් කරනු හැර අනෙක් යමක් කරන්නට ආරක්ෂක අංශ අසමත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ පැන නැගෙන මෙවැනි අලූත් පැති සම්බන්ධයෙන් ක‍්‍රියා කරන්නේ කෙසේ ද යන්න ගැන බි‍්‍රතාන්‍ය පමණක් නොව චීනය ද විවිධ අත්හදා බැලීම් කරන බව නිරීක්ෂණය කළ හැකිය. එහෙත් ජනතාව සංවිධානය වන ආකාරය පාලනය කිරීම පහසු නැත. සමාජ මාධ්‍ය, ඒවායේ හුවමාරු වන විවිධ පණිවුඩ ක්ෂණික කැරළිකරුවන් උත්තේජනය කරන බව පෙනෙන්නට තිබේ.