» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/09/2020 - දේශය
අනාගතය මිහිරි කරන තිත්ත තීරණ ගැනීම

කොවිඞ් වසංගතය සාර්ථක ලෙස පාලනය කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව සිටී. සති ගණනකින් රට තුළින් රෝගීන් වාර්තා වී නැත. අවදානමක් නැති බව ප‍්‍රකාශ නෙවේ. මෙරට රෝහල් වල පහසුකම් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයට දරා ගත හැකි තරමට ව්‍යාප්තිය අඩාල කර ගෙන තිබේ. මෙරට පළමු රෝගියා වාර්තා වූ මොහොතේ සිට රජය විශාල කැපවීමකින් කටයුතු කළේය. සෞඛ්‍ය අංශ සමග ආරක්ෂක අංශ එකතුවී තීරණ ගත්තේය. එය අවදානම තුරන් කරන්නට බලපාන සාධකයකි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ද එවැනි වේගවත් එකට සම්බන්ධ වූ සැලැස්මක් අවශ්‍යය.

සුනාමියෙන්, ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ශ‍්‍රී ලංකාව ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාර මාලාවකට ගොදුරුවූයේ 2019 වසරේ දී ය. එය සංචාරක හා ආයෝජන අංශ වල බලවත් තිගැස්මක් ඇති කළේය. පුනර්ජීවණයක් සදහා පියවර ගනිමින් සිටින කාල පරිච්ඡේදය තුළ කොවිඞ් -19 වසංගතය තද බලපෑමක් කළේය. එහි ප‍්‍රතිඵල ඉතා දරුණුය. සියළුම දෙනාගේ ආදායම අඩුවී තිබේ. දස දහස් ගණනින් රැකී රක්ෂා අහිමි වී ඇත. නිෂ්පාදනය හා අලෙවිය සීමා සහිත වී ඇත. සේවා අංශයේ පිරිහීමකි. මග තොට යනෙන විට මෙම සිද්ධි සනාථ කරන සංකේත දැක ගත හැකිය.

සෑම නගරයකම ව්‍යාපාර දෙක තුනක් වසා ඇත. ගොඩනැගිලි කුලියට හෝ බද්දට දෙන බවට අලූත් දැන්වීම් අලවා තිබේ. නිවාස කුලියට ගත් සමහර පිරිස හැර ගොස් ඇති බව පෙනේ. විශේෂයෙන් නගරවල නවාතැන් ගෙන සිටි අය අතරින් කොටසක් ස්ථාන හැර ගොස්ය. අලූතින් කුලී නිවැසියන් හා නවාතැන් ඇති බව දක්වන පුවරු එල්ලා තිබේ. අනෙක් අතට පුවත් පත් වල අලූත් දැන්වීම් විශේෂයක් ද නිරීක්ෂණය කළ හැකිය. උකස්කරන ලද රන් භාණ්ඩ බේරා ගෙන වැඩිම මිලකට මිල දී ගන්නා බව දක්වයි. හදිසි අවශ්‍යතාවයකට උකස් කරන රන් භාණ්ඩ පොලිය ගෙවා නැවත බේරා ගැනීමට නොහැකි පිරිසක් සිටී. ඔවුන්ගේ උකස් භාණ්ඩ වෙන්දේසි කෙරේ. සමහර දෙනෙකුගේ විපත තුළින් අලූත් අවස්ථාවක් මතු කර ගෙන ඇත. මේවා සරල සිද්ධි වශයෙන් සැලකිය හැකි නමුත් හොද ආර්ථිකයක් තුළ විද්‍යමාන නොවන පැති වශයෙන් සදහන් කළ හැකිය. නගර ආශ‍්‍රිතව වෙළදාම හෝ සුළු සේවාවන් කරගෙන ගිය පිරිස් වෙළද සැල වසා පදික වේදිකාවට පැමිණ තිබේ. එය ද අවධානයට ගත යුතුය. ප‍්‍රධාන මාර්ග දෙපස ආහාර අලෙවි කරන, බඩු භාණ්ඩ විකුණන පිරිස වැඩි වී ඇත. සමහර දෙනෙකු කුලී ගෙවා ගත නොහැකි නිසා තමන්ට දෛනික ආදායම සොයා ගන්නා තැනට පත්ව සිටී.

ආර්ථිකයක් ඒකාකාරිව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. සාධාරණය. අඩුවන විට ප‍්‍රශ්න වලට මුහුණ දෙන අතර වර්ධන වේගයක් වාර්තාවන විට ඉස්පාසුවක් ලැබේ. අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් සම්බන්ධව මතුවන පීඩනය පාලනය කිරීම අවශ්‍යතාවයකි.

දේශීය හා ජාතයන්තර විශේෂඥයෝ ආර්ථික අභියෝග ගැන කරන අනතුරු ඇගවීම අවධානයට ගත යුතුය. ලෝක ආර්ථිකයේ සංවර්ධන වේගය අඩුවන බවට ප‍්‍රකාශ වී තිබේ. එය ඉතිහාසයේ නොවූ වි? තත්ත්වයකි. වසංගත තත්ත්වය තුරන් කරන ප‍්‍රතිකාර සොයා ගන්නා තෙක් අවදානම බැහැර නොවේ. ආර්ථික කටයුතු යථා ස්න්‍භාවයට එන නිශ්චිත කාලවකවානුවක් ගැන උපකල්පනය කිරීමේ දුෂ්කරතාවය මෙයින් දක්වයි. ජීවත්වීමේ අරගලය ඉදිරියේ, මෙමපසුබිම එපමණ අවධානයට ගැනෙන්නේ නැත.

එහෙත් ආණ්ඩුවකට වගකීමක් තිබේ. නිවැරදි ප‍්‍රතිපත්ති මගින් ආර්ථික ක‍්‍රමයක වාසි යම් ප‍්‍රමාණයකට අත්පත් කරගත හැකිය. ප‍්‍රතිසංස්කරණ වලින් වාසි ලබා ගත හැකිවෙයි. ඉක්මනින් තීරණ ගෙන කාර්යක්ෂමව ක‍්‍රියාත්මකවීම ඉතාම වැදගත්ය. එහෙත්, සම්ප‍්‍රදායික සමාජ ක‍්‍රමයක් එකවර වෙනස් කිරීම පහසු නැත. අද අතට ලැබෙන දේ ගැන විශ්වාස කරන අතර අලූත් තීරණ වලින් සිදුවිය හැකි අවදානම ජනතාවට ගැන සැකයක් තිබේ. එම සැකය අසාධාරණ නැත. අලූත් ප‍්‍රතිපත්ති වලින් රට ගොඩනගන බව ප‍්‍රකාශ කරන ලද දේශපාලනඥයෝ පසව මගහැර ගොස් තිබේ. අතීතයෙන් ලැබුණ පාඩම්ය. ජනතා යහපතට බව ප‍්‍රකාශ කරන නමුත් විකල්ප වැඩ පිලිවෙලකට ගමන් කරන්නට ධෛර්යයක් නොතිබුණ අවස්ථා ඇත. මෙරට පාලනය කර ආණ්ඩුවල සෑහෙන හොද අදහස් තිබුණ නමුත් ජනප‍්‍රියත්වය ගිලිහෙන හෙයින් එවැනි අවස්ථාවලින් ප‍්‍රයෝජන ගෙන නැත. ශ‍්‍රී ලංකාව අවස්ථා අහිමිකරගත් රටක් වන අතර ගතානුගතිකත්වය හා ඇබ්බැහිවීම එයට වගකිව යුතුය.

ආර්ථිකයේ වර්ධනය අඩු පසුබිම තුළ දුෂ්කරතා ඇතිවෙයි. ජීවන වියදම ඉහළ යන අතර කර්මාන්ත හා ව්‍යාපාර වලට ගැටළු පැන නැගේ. සෑම ක්ෂේත‍්‍රයකම බිද වැටීම් නිරීක්ෂණය කළ හැකිය. නිසි තීරණ සහිත ප‍්‍රතිසංස්කරණයකින් හැර තාවකාලික පැලැස්තර වලින් විසදුමක් නොලැබේ. නිර්භීත තීන්දු වලින් අලූත් අවකාශයක් විවෘත කරගැනීම බැරිකමක් නැත.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යාපාර හා කර්මාන්ත ප‍්‍රතිසංස්කරණයක් කළ යුතුය. අලූත් බලශක්ති ප‍්‍රභව එනම් සූර්ය විදුලිය හා තොරතුරු තාක්ෂණය යන අංශ එහි දී වැදගත්ය. අලූත් වටයකින් ආයෝජනය අවශ්‍යම සාධකයකි. වාර්තා පෙන්වා දෙන පරිදි පවතින වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සහන වශයෙන් ජනතාවට වෙන් කර ඇති මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 ක් බව හෙළිකරයි. දියුණුවන රටවල එම ප‍්‍රතිශතය සියයට 10-15 අතරය. සහන වැඩ පිලිවෙල තර කිරීම ගැන අවධානය යොමු කිරීම ද අවශ්‍යය. ජනතාව ජීවත් කරන අතර පුනර්ජිවනය ඇති කරන පියවර ගැනීම වගකිව යුතු අංශවල කාර්යභාරයකි. එවැනි පියවර නොගතහොත් රට තුළ දිළිදු ජන කොටස අලූත් වටයකින් ඉහළ යා හැකි අතර සමාජ විෂමතා උග‍්‍රවෙන්නට ඉඩ තිබේ. තත්ත්වය හදුනාගෙන කල් ඇතිව තිත්ත තීරණ ගැනීම අනාගතය ඉමිහිරි කරනු ඇත. කොවිඞ් වසංගතය සාර්ථකව පාලනය කරන්නට ශ‍්‍රී ලංකාව සමත්විය. එම නායකත්වය ආර්ථිකය වෙනුවෙන් ද යෙදවිය යුතුව තිබේ.