» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/01/2019 - දේශය
පස් නැති ගොවිතැන!

බ‍්‍රටෝල් බ්‍රෙෂ්ට් ගේ කෘතිය සිංහල වේදිකාවට ගෙන එන හෙන්රි ජයසේන ශූරීහු එය හුණුවටයේ කතාව වශයෙන් නම් තබයි. ඉඩම හිමිවිය යුතු ගොවියාට හා සමානව මවට දරු අයිතිය හිමිවිය යුතුය. තර්කයක් ගොඩ නැගේ. ‘‘ගොවි දන මනා වූ දියණිය වූ සේ ම ගම් බිම් ’’ යනුවෙන් ගායනයෙන් දක්වන්නේ සදාකාලික සත්‍යයක කොටසක් වශයෙනි. යුගානුවර්තනය අනුව ගොවියාට වගා කරනු සඳහා ඉඩම එපමණ අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. අනාගතයේ ගොවිතැනට කොතැනක හෝ ඇති ඉඩක් ගොවිබිමක් වශයෙන් තාක්ෂණිකව පිලියෙල කරගත හැකිය.

වගා කරන්නට පස අවශ්‍ය නැත. පස් අනවශ්‍ය ගොවිතැනක දී ඉඩම ඉතා විශාල ප‍්‍රශ්නයක් නොවේ. පසුගිය දවසක ඔස්ටේ‍්‍රලියාවේ කැන්බරා නගරයේ දී පස් සම්බන්ධ ජාතික සමුළුවක් පවත්වා ඇත. එයට සහභාගී වූ එක විද්‍යාඥයෙකු සිය සගයන්ගෙන් ප‍්‍රශ්නයක් නගා තිබේ. ‘‘මෙම සමුළුව පවත්වන්නේ පස් ගැන පර්යේෂණ පවත්වන්න. හැබැයි, වසර සියයකට පසු ලෝකයේ ආහාර නිෂ්පාදනයට පස සැලකිය යුතු දායකත්වයක් දක්වනු ඇත්ද?’’ යන්නය. පස් ඉතාම වැදගත් යන උත්තරය දෙන අත් සෑහෙන ප‍්‍රමාණයක් එසැවී තිබේ. පසුව මෙම විද්‍යාඥයා සිය පර්යේෂණ වාර්තාව එලි දක්වා ඇත.

මෙම පර්යේෂකයාට අනුව අනාගතයේ සිදුවන ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී පස නොවටිනා සාධකයකි. පස් නැතත් වගා කරන්නට පුලූවන්කම ලැබී තිබේ. දැනටත් ප‍්‍රායෝගිකව සිදුවෙයි. ශාක වර්ධනය දියර පොහොර පෝෂණය මගින් කළ හැකිය. මුල් පද්ධතිය මහ පොලවේ හැදී වැඞී ශක්තිමත්ව කෙලින් සිටිනු සඳහා පමණකි. මුල් වලින් පසේ ඇති පෝෂණය උරා ගනී. ශාඛය වැඩෙන්නේ පොලවේ සවිමත්ව පැලවීමෙන් පසු භූමියේ ඇති පොහොර මුල් පද්ධතියෙන් උරා ගනිමින්ය. කෘෂි විද්‍යාඥයෝ මෙම සම්මතය වෙනස් කර තිබේ. ජලය සහිත මාධ්‍යයක යම් ආධාරකයක් ප‍්‍රයෝජනයට ගෙන සිටුවන පැලයකට යාන්තම් කෙලින් සිටින්නට කොහුබත් හෝ වැලි ටිකක් ප‍්‍රමාණවත්ය. නල මගින් ශාකයේ වැඞීමට අවශ්‍ය පෝෂණය අවශ්‍ය ප‍්‍රමාණයට සැපයේ. එය කරන්නේ ස්වභාවික පරිසරයේ නොවේ. කෘතීමව සකස් කරන ලද හරිතාගාරයක් තුළය.

හරිතාගාර වගාව ලොව පුරා ජනප‍්‍රිය වී තිබේ. අධික හිරු රැස්, ධාරානිපාත වර්ෂාව පමණක් නොව ශීත කාලයේ හමන සුළඟින් ද වගාව ආරක්ෂා කරගත හැකිය. පලිබෝධකයන්ට ළඟා විය නොහැකි ආකාරයට දැල් ආවරණ සකස් කරන අතර එය ශාකයට හෝ අස්වැන්නට බාහිර පලිබෝධ ආක‍්‍රමණ අවම වෙයි. පලිබෝධ නාශක රසායනික භාවිතය ද නතර කළ හැකිය. එය බෝග වගාව සාර්ථක කරන පිලිවෙකත් සේ පිලිගැනීමට ලක්ව ඇත. මෙම හරිතාගාර වල පස් රහිත බෝග වගාව ඉතාම සාර්ථක තත්ත්වයට පත්ව තිබේ.

ලෝකයේ ජනගහනය බිලියන දහය හෝ පහලොව ඉක්මවා යන දවසක් උදා වනු ඇත. එම ජනගහනයට අවශ්‍ය කරන ආහාර ප‍්‍රමාණය නිෂ්පාදනය පමණක් නොව ඒවා නිපදවන්නේ කෙසේද යන්න ද සෑහෙන අවධානයට ලක් වූ කරුණකි. ඉදිරි වසර තිහ තුළ බඩගින්න නිවනු සඳහා ආහාර නිෂ්පාදය දෙගුණ කළ යුතුය. එය සෑහෙන බරපතල අභියෝගයකි. අලූත් පරම්පරාව මඩට බැස උදැල්ල අල්ලන්නට කැමැති නැත. තමන්ගේ දරුවන් ගොවිපොලෙන් ගලවා ගෙන වඩා උසස් තැනක සේවය කරනු දකින්නට ගොවියෝ කැමැතිය. ශ‍්‍රී ලංකාවේ පවා කෘෂිකර්මයෙහි නියැලෙන තරුණ පරපුර වේගයෙන් අඩු වන බව යතාර්ථයයි. එහි නියැලෙන පිරිස අඩුවන අවස්ථාවක නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේද? ගොවිතැන අලූත් තාක්ෂණික මුහුණුවරකට පත් නොකළහොත් අනාගත පරපුරේ බඩගින්න නිවන්නට හැකියාවක් නැත.

නවීන ආහාර බෝග වගාව අනුව බලශක්තිය හා ජලය පරෙස්සමෙන් පරිහරණය කර අස්වැන්න දහ ගුණයකින් නංවා ගත හැකි වෙතැයි සැලකේ. පරිසර තත්ත්ව හොඳීන් කළමණාකරනය කළහොත් සීමිත ඉඩක සෑහෙන ශාක ප‍්‍රමාණයක් සිටුවිය හැකිය. දැනට ගණන් බලා ඇති අන්දමට අනාගතයේ දී පස් අවශ්‍යතාව දැන් කරන භාවිතාවෙන් සියයට 0.1 ක් විය හැකි යැයි සැලකේ. විද්‍යාගාරයක එලවලූ පලතුරු වගාකරන්නට අකමැති තරුණ පරම්පරාවක් නැත. ඉඩමට ගොස් වගා කරන්නට මැලිවන තරුණයෝ නවීන හරිතාගාරයක ඉතා පිරිසිදු ඇදුම් වලින් සැරසී කෘෂිකර්මයෙහි නිරත වනු ඇත.

ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකයේ අලූත් පර්යේෂණ නිතිපතා සිදුවෙයි. ඒවා එක අරමුණක් කරා යොමු කරන්නට ද හේතුවක් තිබේ. භූමිය සීමිතය. සාගරය හා වනාන්තරය වෙනුවෙන් විශාල වපරිසයක් වෙන් වී ඇත. ජනාවාස හා ඒවායේ යටිතල පහසුකම් වෙන් කරන විට ඉඩම යනු ඉතාමත් සීමිත සාධකයක් වනු ඇත. අඩු ඉඩම් ප‍්‍රමාණයක විශාල ජනගහනයකට ආහාර නිපවන්නේ කෙසේද? මොන යම් ආකාරයකින් හෝ ආහාර නිෂ්පාදනය නැංවීම අවශ්‍යය. පරිසර සාධක පාලනය කර පස් භාවිතයක් නැති ගොවිතැනක් ගැන අවධානය යොමු කරන්නේ එහෙයින්ය.

ආහාර නිපදවීම වේගයෙන් නැවීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකවාසීන්ගෙන් කොටසක් අලූත් වටයකින් දුප්පත් වනු ඇත. ආහාර නිෂ්පාදනය අඩු වන විට මිල ඉහළ යන අතර දිනපතා අවශ්‍යතා වෙනුවෙන් කෑම වේලක් ලබා ගත නොහැකි ජන කොටස වේගයෙන් වර්ධනය වන්නට ඉඩ තිබේ. විද්‍යාඥයෝ අලූත් සොයා ගැනීම් කරන අතරවාරයේ ප‍්‍රතිපත්ති සම්පාදකයෝ ඒවා ප‍්‍රයෝජයට ගත යුතුය. ඉඩම් බෙදා දීම වෙනුවට හරිතාගාරයක පස් නැති ගොවිතැනක් ආරම්භ කරන්නට වෑයම් කරන තරුණයෙකු ගේ කාර්යය වෙනුවෙන් අනුබල දිය යුතුව තිබේ. ආලෝකය පාලනය කරන අතර ජලය හා පොහොර හා කෘෂි හා කෘමි රසායන අවම වශයෙන් භාවිතා කර ඉහළම ඵලදාවක් ගන්නට හැකි අවස්ථා වැඩි දියුණු කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මය අලාභය. ඉඩම් මිල, ජල සම්පාදනය, බලශක්තිය, ප‍්‍රවාහන වියදම් යනාදිය වේගයෙන් ඉහළ ගොස් තිබේ. සම්ප‍්‍රදායික මුහුණුවරින් කෘෂිකර්මය වෙනස් වන වකවානුවන එයට මුහුණ දෙන ඉදිරිගාමී සංකල්ප කෙරෙහි අවධානය යොමු කළ යුතුය.