» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/05/2019 - දේශය
පස් වන පරම්පරාවේ සන්නිවේදනය හා විදුලිය පහන් කණු

පස් වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය බි‍්‍රතාන්‍යයේ භාවිතා කරන දිනය තවත් කල් ගත විය හැකි බව පසුගිය දිනවල අන්තර් ජාතික මාධ්‍ය වාර්තා අනාවරණය කළේය. බි‍්‍රතාන්‍යයේ දී පමණක් ප‍්‍රමාදයට විශේෂ හේතුවක් තිබේ. බි‍්‍රටිෂ් ටෙලිකොම් සමාගම එරට වෙනත් සමාගමකට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට අවතීරණ වී සිටී. එම නිති පියවර අවසන් වන තෙක් පස්වන පරම්පරාවේ දුරකතන සන්නිවේදන ජාලා පුලූල් කිරීම අවහිර විය හැකිය.

පස් වන පරම්පරාවේ සන්නිවේදනය ප‍්‍රබල නමුත් එහි සංඥා අවහිරතා ගැන පැමිණිලි ලැබේ. උස ගෙඩනැගිලි අවට දුබලතා ඇත. ඒවා වලකනු සඳහා පහත් ස්ථාන වල සංඥා කුළුණු ස්ථාපිත කෙරේ. බි‍්‍රතාන්‍ය නගර වල නඩත්තු කරන වීදි ලාම්පු කුළුණු භාවිතා කර පහල මට්ටමින් පස්වන පරම්පරාවේ සංඥා විහිදුවීමට තීරණය කර ඇත. එම තීරණය ගත් බව සැල වූ එක්තරා සමාගමක් ප‍්‍රධාන නගරවල වීදි පහන් කණු ස්ථාපිත කිරීමේ හා නඩත්තු කිරීමේ අයිතිය ලබා ගෙන තිබේ. එය ශූර ව්‍යාපාරික අදහසකි. එම අයිතිය අනුව අනාගතයේ දී පස්වන පරම්පරාවේ සංඥා විසුරුවීමේ දී පහන් කණු අයිති සමාගම් වලට ඒකාධිකාරී බලයක් හිමිවෙයි. බි‍්‍රටිෂ් ටෙලිකොම් සමාගම එම තනි අයිතියක් ලැබීම යුක්ති සහගත නැති බව ඔප්පු කරන්නට සූදානම්ය. අධිකරණයේ තීරණයකින් මෙම උපාය මාර්ග නිරාකරණයවන තෙක් බි‍්‍රතාන්‍යයේ පස්වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ ප‍්‍රගතිය ඉක්මන් නොවනු ඇත. වසර දෙකක පමණ ප‍්‍රමාදයක් විය හැකි බව උපකල්පනය කෙරේ.

තොරතුරු වාර්තා අනුව පස්වන පරම්පරාවේ රැහැන් රහිත දුරකතන සන්නිවේදනය හදුන්වාදීමේ දී බලපාන්නට ඉඩ ඇති නෛතික, තාක්ෂණික හා මෙහෙයුම් බාධා අංශ දහතුනක් හදුනාගෙන තිබේ. මාර්ගස්ථ වීදි පහන් කණු වල අයිතිය නිරාකරණය කරගැනීම එහි එකක් පමණකි. නීති සකස් කරගැනීම, තාක්ෂණික දෝෂ මගහරවා ගැනීම හා ආයෝජනය හමුවේ ගත යුතු තීරණ බාරධුර බව තේරුම් ගැනීම අපහසු නැත. ආයෝජකයන්, පලාත් පාලන ආයතන හා මධ්‍යම රජය අතර සම්බන්ධීකරණය ලෙහෙසි නැති බව පෙනෙන්නට තිබේ. පසවන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය ඉතාම අවශ්‍ය නමුත් මෙම කරුණු නිරාකරණයෙන් තොරව පොදු ජනතාවට එහි ප‍්‍රතිලාභ අත් පත්කර ගැනීමට කිසිම අවස්ථාවක් නැත.

පස් වන පරම්පරවේ රුහැන් රහිත සන්නිවේදනයේ වැදගත්කම ගැන පර්යේෂකයෝ කෙටියෙන් කරුණු පෙන්වා දී තිබේ. හතරවන පරම්පරාවට වඩා ඉතාමත් වේගයෙන් වැඩිම දත්ත ප‍්‍රමාණයක් සන්නිවේදනය කළ හැකිය. අනාගතයේ දී රියැදුරු රහිත වාහන ධාවනය හා කම්හල් වල ජාල ගත රොබෝවරුන්ගේ ක‍්‍රියාකාරීත්වය වෙනුවෙන් පස් වන පරම්පරාවේ සන්නිවේදනය උවමනා කෙරේ. ස්මාට් නගර සංකල්පය තවත් අවශ්‍යතාවයකි. අන්තර් ජාලය හා අසීමාන්තික විනෝදාස්වාදය වෙනුවෙන් පස්වන පරම්පරාවේ සන්නිවේදනය වැදගත් සාධකයකි. සන්නිවේදනය හා සම්බන්ධතා පදනම් කරගත් අලූත් ව්‍යාපාර අවස්ථා වෙනුවෙන් මෙම තාක්ෂණය ඉතා පුලූල් අවස්ථා සම්පාදනය කරනු ඇත. එක අවස්ථාවක එක පද්ධතියක් ඔස්සේ දහස් ගණනක් ස්මාට් දුරකතන ජාල ගත කරන අතර ඒවායෙන් ඉතාම වේගයෙන් නිවැරදිව තොරතුරු හුවමාරු කරගත හැකි වනු ඇත. එය සේවා හා පාරිභෝගික කටයුතු වේගවත් හා පහසු කරනු ඇතැයි ගණන් බලා තිබේ.

අනාගතෙයේ හතරවැනි කර්මාන්ත යුගයේ සිදුවන නිෂ්පාදන අංශය ගැන මෑතක දී අනාවරණය වූ තොරතුරු අනුව කම්හල් වල මෙහෙයුම් වලින් සියයට අනූනමයක් ස්වයංකී‍්‍රයව සිදුකෙරේ. මිනිස් ශ‍්‍රමය භාවිතා කිරීම සියයට එකකට සීමා වනු ඇත. සියළුම යන්ත‍්‍ර රොබෝ තාක්ෂණයෙන් යුක්ත වන අතර රොබෝ යන්ත‍්‍ර වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන වාතයේ ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය පවා ස්වයංක‍්‍රීවය පාලනය කෙරේ. ඉතාම ඉහළ ගුණාත්මක භාවයක් සහිත පස්වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය මෙහි දී උපයෝගී කර ගැනීමට සිදුවනු ඇත.

දැන් භාවිතා වන හතරවැනි පරම්පරාවේ සන්නිවේදනයට වඩා පස් වැනි පරම්පරාවේ දත්ත සම්පේ‍්‍රශණය දහ ගුණයක් වේගවත්ය. වර්ග කිලෝමීටරයක් තුළ එකිනෙකට වෙනස් මෙවලම් මිලියනයක් එකිනෙකට සම්බන්ධ කළ හැකි වනු ඇති බව සැලකේ. දැනට භාවිතාවන සියළුම ගණන් ගැනීම් පරාජය කර ඉතා වේගයෙන් හා නිවැරදිව සන්නිවේදනයෙහි නිරත වනු ඇත. මෙය අද පවතින ජනතාව අතර සන්නිවේදනය අභිබවා සමස්ථ සංහතිකය සමග කරන සන්නිවේදනයෙහි සමත්වන ගුණාත්මක පරිවර්තනයකි. එමගින් යන්ත‍්‍ර හා යන්ත‍්‍ර අතර කරන සන්නිවේදන ව්‍යුහයක් බිහි කර ඇත. අවසානයේ දී එය ඉතාම බුද්ධිමත් රොබෝ තාක්ෂණ යුගයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉදිරි වසර පහ තුළ පස් වැනි පරම්පරාවේ රැහැන් රහිත තාක්ෂණය ලෝක ව්‍යාප්ත වුවහොත් ලෝකය පුරා පවතින සෑම දෙයක්ම එකිනෙක හා සම්බන්ධ වනු ඇත. අන්තර් ජාල සම්බන්ධතාවයේ නතරවීමක් නැත. එය සුළඟ මෙන් ස්වභාවිකව පවතින අතර පරිගණක ජාලා හා රොබෝ තාක්ෂණය එකට එකතු වී, තීන්දු ගැනීමේ දී කාලය ගතවීම ඉතාම අවම මට්ටමකට පත් විය හැකිය. මේවා අද පවතින ස්වභාවය අනුව හිතා ගැනීමට හෝ නොහැකි වේගයකි. එකිනෙක තැන් වල ඇති දත්ත සම්පූර්ණයෙන් එකට සම්බන්ධ වන අතර ව්‍යාපාර, කර්මාන්ත හා සේවා අංශ විශ්වාසවන්ත, සීමාවක් රහිත ඉතාම කාර්යක්ෂම තැනකට හැරවෙනු ඇත. යම් භාණ්ඩයක් හිඟ වෙළඳ පොලකට භාණ්ඩ ඇති තැනකින් සැපයෙන තීරණය ක්ෂණයකින් ගැනෙන අතර ඒවා වෙන්කර ප‍්‍රමාදයකින් තොරව සැපයෙන අඩුම කාලයකින් ප‍්‍රවාහනය කරන ආකාරය යෝජනා කරන්නට ප‍්‍රමාදයක් නොවේ. සෞඛ්‍ය, ප‍්‍රවාහන හා ගොවිපොල නිෂ්පාදන ප‍්‍රවාහනය වැනි කාරණා වල දී මෙම තාක්ෂණය යහමින් භාවිතා කරන්නට ඉඩ තිබේ.

පස්වන පරම්පරාවේ සන්නිවේදනය ශ‍්‍රී ලංකාවේ අත්හදා බලා තිබේ. එය විශාල ආයෝජනයක් අවශ්‍ය ව්‍යවසායයක් වනු ඇත. අනෙක් පැත්ත ගැන මෙතෙක් අවධානය යොමු කර නැත. බි‍්‍රතාන්‍යයේ වැනි තත්ත්වයක් උදා විය නොහැකි යැයි ඉදුරා ප‍්‍රකාශ කළ හැකිද? පැති දහ තුනක ව්‍යුහයක් සම්බන්ධීකරණය කළ හැකි අන්දමට බල ඒකකයක් ගොඩනගා ගැනීමට අපට පුලූවන්තමක් තිබේද? අන්තිමේ දී පස්වන පරම්පරාවේ සන්නිවේදනය වෙනුවෙන් යටිතල පහසුක ම් සඳහා වීදි ලාම්පු කණු හෝ වෙනත් යටිතලපහසුකම් වෙනුවෙන් ඇති විය හැකි අරගලය කෙබදු එකක් විය හැකිද? තාක්ෂණයෙන් ලැබෙන අති විශාල අවස්ථා ගැන පමණක් නොව ඒවා පිලිගැනීමට හැකි ඉදිරිගාමී සමාජ ව්‍යුහයක් ගැන ද අවධානය යොමු කළ යුතුය.