» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/10/2020 - දේශය
හරිත ප‍්‍රතිපත්ති වලින් සන්නද්ධවන අනාගතය

කොවිඞ් වයිරසයේ වසංගත තත්ත්වය හෙයින් ලෝකයේ සෑම රටක්ම පාහේ බලවත් දුෂ්කරතාවයකය. සමහර රටවල් හා නගර වසංගතයේ පළමු වටයේ දී සම්පූර්ණයෙන් වසා දමන ලද අතර දෙවැනි රැල්ල ඉදිරියේ නැවතත් තද තීරණ ගනිමින් සිටින බව පෙනේ. කොවිඞ් වයිරසය පාලනය කරගත හැකි දිනයක් ගැන පැහැදිලි තත්ත්වයක් නැත. ලෝකයේ තිබුණ වේගවත් ගමන සීමා වී තිබේ. ආර්ථික සහ සමාජයීය වශයෙන් නිසොල්මන් වී ඇති අවස්ථාව අලූත් රාමුවකට අවතීර්ණ විය හැකි අවස්ථාවක් බව ප‍්‍රකාශ වෙයි.

ලෝක ප‍්‍රජාව සංවර්ධන ඉලක්කය අනුව වේගවත් ගමනක නිරත විය. තමන්ට අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක මෙවලම් නිපදවා ගත් අතර එහි දී සොබාදහමට එරෙහිව ක‍්‍රියා කරන ලද බවට චෝදනාවක් ඇත. මිහිමත වෙසෙන අනෙක් ජීවීන් හා පද්ධති කෙරෙහි අවම අවධානයක් යොමු කරන ලද අතර පවතින කාලගුණ විපත් එහි ප‍්‍රතිඵලයක් බව විද්වත්හු පෙන්වා දෙති. ඕසෝන ස්ථරයට සිදුවන හානි හේතුකරගෙන ගෝලීය උණුසුම ඉහල නැගෙමින් තිබේ. ද්‍රැව ආසන්නයේ ඇති අයිස් කදු දියැවී සාගරයේ ජල මට්ටම ඉහළ නගින බව වාර්තා කර ඇත. ප්ලාස්ටික්, විෂ රසායන ඇතුළු වියෝජනය නොවන දේ මහ පොලවට එකතු වෙමින් පවතින අතර එය ඉතා භයානක අවස්ථාවක් බව පෙන්වා දී තිබේ. පරිසරය ගැන නොසිතන සංවර්ධනයකින් විපතට පත්වන අනාගත පරපුර ගැන අවධානය යොමු කළ යුතුය. උඵක නනිහ වමෑ අද උපත ලබන දරුවන් වෙනුවෙන් මිහිතලය ආරක්ෂා කළ යුතු අතර එය සම්බන්ධයෙන් විශාල වගකීමක් අද ජීවත්වන පරපුර සතු බව අවිවාදිතය.

පරිසරයට සිදුවන හානිය ගැන නොයෙක් වාර්තා ඉදිරිපත් කරන නමුත් එම අවදානම තේරුම් ගෙන ක‍්‍රියා කරන බවක් අවධාරණය නොවේ. නොබෝදා ලෝක ආර්ථික සංසදය වැදගත් කරුණු ප‍්‍රමාණයක් ඉදිරිපත් කළේය. දැන් මුහුණ දී ඇති කොවිඞ් වසංගත තත්ත්වය හෙයින් යම් ප‍්‍රමාණයකට වේගය අඩු වී ඇති ලෝක ආර්ථිකය අඩපණව ඇති ලෝක ආර්ථික තත්ත්වය පරිසරයට උචිත අන්දමට අලූතින් පන ගැන්විය හැකි බව පෙන්වා දී තිබේ.

ලෝකයේ සංවර්ධනය, ආර්ථික සහ සමාජ ක‍්‍රියාකාරකම් ස්වභාවික පැවැත්මට තර්ජනයක් විය යුතු නැති අතර පාරිසරික සාධක සමග සමාන්තරව ගමන් කළ යුතුය. සාමාන්‍යයෙන් දැනට සිදුවන අන්දමට කර්මාන්ත හා ව්‍යාපාර පරිසරය ගැන එපමණ අවධානයක නැත. නිෂ්පාදනයේ දී වෙළද පොල අවශ්‍යතා ගැන ඉලක්ක කරන අතර පරිසරයට සිදුවන හානිය නිසි තක්සේරුවක නැත. පරිසරයට හානියක් විය හැකි හෙයින් යම් යම් අංශ ගැන නැවත නැවතත් පරීක්ෂාකාරී වන බවක් පෙනෙන්නේ නැත. නීති හා ප‍්‍රතිපත්ති සකස් කරන නමුත් පාරිභෝජනය වෙනුවෙන් කරන සැපයුම අඩාල කරන තීරණගන්නට වෙළද පොල සූදානමක නැත. එම ක‍්‍රියා පටිපාටිය දිගින් දිගටම පැවැතිය යුතු නැත. ජෛව විවිධත්වයට බරපතල හානි සිදුවන අතර නොයෙක් ජීවි විශේෂ සහමුලින්ම වද වී යන තර්ජනයයක් පවතී. ඇමේසන් වනාන්තරයට හා කොරල් පර වලට සිදුවන හානි ඒ අතර ප‍්‍රබලය. ලෝක නිෂ්පාදනයෙන් හරි අඩක් පමණ සිදුවන ආකාරය අනුව පරිසරය අනාරක්ෂිත බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. මේවා ආපසු හරවන්නට අප සියළු දෙනාටම බලවත් වගකීමක් ඇත.

ලෝක ආර්ථික සංසදය අවධානයට ලක් විය යුතු කරුණු තුනක් පෙන්වා දී තිබේ. ආහාර නිපදවීම, ඉඩම් පරිහරණය හා සාගරය භාවිතා කරන ආකාරය ගැන නැවත හිතා බලන්න අවශ්‍ය බව පළමු කරුණය. යටිතල පහසුකම් දියුණු කිරීමේ දී පරිසරයට එකග වන පරිදි හැසිරවීම දෙවැනි කරුණකි. බලශකතිය උත්පාදනය කරන පිලිවෙල හා භාවිතා කරන අන්දම ගැන තීරණ ගත යුතු වීම තෙවැනි කරුණ වශයෙන් පෙන්වා දී ඇත. මෙකී අංශ තුන ලෝක ආර්ථික කටයුතු වලින් තුනෙක් එකක් වන අතර එම ක්ෂේත‍්‍රවලින් ලෝකයේ දැනට රැුකියාවෙහි නිරත සෑම තුන් දෙනෙකුගෙන්ම දෙදෙනෙකු නිරත බව ප‍්‍රකාශ වෙයි. තුනෙන් දෙකක් රැකියා කරන හා ආර්ථිකයේ තුනෙන් එකක් වගකියන අංශ තුනක සිදුවන බලපෑම පාලනය කිරීම බලවත් වෙහෙසක් දැරිය යුතු තත්ත්වයකි. ලෝකයේ පවතින වත්මන් ස්වභාවය පරිසරය ආරක්ෂා කරන පියවරක් කරා වහාම පරිවර්තනයකට අවකාශයක් තිබේද? ප‍්‍රායෝගිකව ඉතා අපහසුය. එහෙත් පරිසරය ගැන නොසිතන සංවර්ධනයකින් පලක් නැති තැනට ජාත්‍යන්තරය පැමිණ සිටී.

විද්වත්හු කරුණු දක්වන අන්දමට අවධානයට ගත යුතු කරුණු පහලොවක දීර්ඝ සැලැස්මක් ප‍්‍රකාශයට පත්ව තිබේ. මෙම සැලැස්ම එකම නොවේ. ලෝකයේ නොයෙක් රටවල් සහ සංවිධාන එකිනෙකට වෙනස් පියවර යෝජනා කරන අතර මුලින් දක්වන කරුණු ඒවා අතර එක පාර්ශවයක් පමණකි. එයට අනුව කෘෂිකාර්මික කටයුතු ගැන නැවත අලූතින් පිලිවෙලකට යා යුතු අතර පරිසරය ගැන හිතන නිෂ්පාදන පියවරක් විය යුතුය. නගර නිර්මාණයේ දී හුදෙක් වනාන්තර හා පරිසරය ගැන නොතකන පියවර පියවර වලට යා යුතු නැත. අධිවේගී මාර්ග හෝ දුම්රිය මාර්ග ගොඩනගනවිට පරිසරයට උචිතව තීරණගැනීම අවශ්‍යය. මෙම කරුණු 15 කින් සමන්විත සැලැස්ම සමග නොයෙක් අපහසුතා සහ ව්‍යාපාර හා කර්මාන්ත වලට බාධා සිදුවන්නට ඉඩ තිබේ. නීති හෙයින් ජනතාව වික්ෂිප්ත වනු ඇත. පාලනය කරන තත්ත්ව හමුවේ ජනතාව විරෝධය පළ නරනු නිසැකය. එය නැවත වටයකින් ලෝකයේ සමාජ දේශපාලන ව්‍යුහය අවුල් කරන ස්වභාවයක් විය හැකිය. කෙසේ වෙතත් පරිසරයට උචිත තීරණගෙන කරන නිෂ්පාදන හා කර්මාන්ත ක‍්‍රියාපටිපාටියකදී අලූත් ව්‍යාපාර ට්‍ර්ලියන 10.1 ක් දක්වා බිහිවනු ඇති බව දැක්වෙයි. එය ඔස්සේ ශ‍්‍රම බලකාය වෙනුවෙන් නවතම රැකියා අවස්ථා මිලියන 395 ක් බිහිවනු ඇති බව ගණන් බලා තිබේ. අලූත් පරිසර හිතකර තත්ත්ව වලට නැඹුරුවීමෙන් ගොඩනැගෙන මෙම ව්‍යුහය මහපොලව අලූතින් තනනු ඇත.

මහ පොලව සහ ජෛවයේ පැවැත්ම නැවත ගොඩනගන මෙම ක‍්‍රියාවලිය හුදෙක් ආණ්ඩුවලට හෝ රජයට අයත් ආයතන වලට පමණක් කළ හැකි දෙයක් නොවේ. පුද්ගලික අංශයට ද වගකීමක් ඇත. මහජනතාව වශයෙන් අප සියළුම දෙනා එවැනි පියවර වලට නැඹුරු විය යුතුය. වෙළද පොලට එන නිෂ්පාදනයක් පරිසරයට හානිකර කරන නිපැයුමක් ද යන්න සොයා බලා අඩුම තරමින් පරිභෝජනයෙන් වැලකෙන හෝ පියවරකට යා යුතුය. ලෝකයේ සෑම රටකම ජනී ජනයා, විශේෂයෙන් තරුණ පෙළ පරිසරය ආරක්ෂා කරන පැවැත්ම ගැන හිතන සංස්කෘතියකට ඇතුළු වෙමින් සිටී. එය අගය කළ යුතු අතර ඔවුන්ගේ හඩට අවනතවීම වැදගත් බව අවධානයට ගත යුතුය.