» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/08/2019 - දේශය
කන්ටේනරයේ අමුතු වැඩ

විවිධ වර්ණ ආලේප කළ විශාල කන්ටේනර් රට පුරා එහා මෙහා ගෙන යන බව සුලබ දර්ශනයකි. බහාලූම් වශයෙන් හදුන්වන මේවා තුළ පිටරටවලින් ගෙන එන දේ හෝ පිටරට වලට යවන දේ ප‍්‍රවේසමෙන් අසුරා ඇත. නැව් මගින් කරන ප‍්‍රවාහනයේ දී භාණ්ඩ වල ආරක්ෂාව හා හැසිරවීම පහසුවන පරිදි කන්ටේනර් භාවිතා කරන්නේ 1940 ගණන් වල සිට බව අනාවරණය වෙයි. එයට කලින් ගල් අඟරු ගැල් සහිත දුම්රියවල කන්ටේනර් හා සමාන විවෘත ක‍්‍රමයක් ඇමරිකාව ඇතුළු රටවල භාවිතා කර තිබේ. නමුත් දෙවන ලෝක යුද්ධය වකවානුවේ මෙම බහාලූම් ස්වභාවය බහුලව භාවිතා වී ඇත. වාහනයකින් හෝ දුම්රියෙන් ගෙන එන කන්ටේනරය කෙලින්ම නැවට පැටවිය හැකි අතර හැසිරවීම පහසු හෙයින් ලොව පුරා ජනප‍්‍රියත්වයට පත්ව තිබේ.

කන්ටේනරය භාණ්ඩ ප‍්‍රවාහනයට පමණක් සීමා නොවේ. භාවිතයෙන් පසු ඉවත දමන කන්ටේනර් වලින් අලූත් යුගයක් ඇරඹී තිබේ. තාවකාලික නිවාස බවට හැරවීම පහසුවෙන්ම කරගෙන යන බව පෙනේ. කොටස් කිහිපයක් ඉවත් කර ප‍්‍රවේශ පහසුව සකස් කරගන්නා අතර හිස් කන්ටේනර් කිහිපයක් යා කර ඒවාට වායු සමනය පහසුකම් සපයා තාවකාලික නවාතැන් බවට හරවා ගනී. දැවැන්ත ඉදිකිරීම් අංගන වල සේවයේ නිරත අංශ විශේෂඥයෝ ඒවායේ නතර වී සම්පූර්ණ අධීක්ෂණ කටයුතු මෙහෙයැවීම වර්තමානයේ සුලබ දසුනකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ආරම්භ කර ඇති කන්ටේනර් ව්‍යාපෘතියක් සෑහෙන අවධානයක් දිනා ගෙන ඇත. එහි කන්ටේනර්තුළ වගා කිරීම අරඹා තිබේ. අබුඩාබි සතිය නමින් අලූත් දේ සොයා, විමසා බලන කාලවකවානුවක් ඇති අතර වසර කිහිපයකට කලින් එහි දී මෙම අදහස ඉදිරිපත් වී තිබුණි. අද එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වෙයි. කන්ටේනර් තුළ නිර්මාණය කරනලද විශේෂ පරිසර පද්ධතියක සලාද වර්ග, නොයෙක් කුළු බඩු හා රස කාරක වගා කෙරේ. පස් නැති ජලජ මාධ්‍යයක පැල රෝපනය කරන අතර ඉතාම අඩු ජල ප‍්‍රමාණයක් භාවිතා වන පරිදි පරිසරය සකස් කර ඇති බව අනාවරණය වෙයි. අබුඩාබි නගරය මැද පෙරදිග කලාපයේ වැඩිම උණුසුමක් ඇති ප‍්‍රදේශයකි. අප‍්‍රියෙල් අවසානයේ සිට සැප්තැම්බර් මාසය මුල තෙක් වැසි නැත. උණුසුම සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ යන කාල සීමාවකි. එවැනි අවකාශයක් තුළ අත්හැර දැමූ කන්ටේනර් පද්ධතියක නිසි සාත්තුව සහිත සලාද වගා කිරීම කෘෂි ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන අදහසක් බවට පත් වී තිබේ.

කන්ටේනර් වල වගා කරන ජල මාධ්‍යයට දියර පොහොර යෙදවේ. සම්පූර්ණයෙන් ආවරණය කර ඇති පරිසරයක කෘෂි රසායන හෝ කෘමි නාශක අවශ්‍ය නැත. ලෙඞ් ආලෝකය රාත‍්‍රියට ලබා දෙන අතර එය ප‍්‍රභා සංස්ලේෂණය වේගවත් කරන බව සාක්ෂාත් වී ඇත. හිරු එළිය පාලනය කරන අතර එය වර්ධනයට අවශ්‍ය තරමට බව පෙන්වා දෙයි. කන්ටේනර් තුළ වගා කිරීම වියදම අධික නමුත් මැද පෙරදිග රටවල ආහාර අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මෙවැනි අලූත් අදහස් ප‍්‍රයෝජනවත් බව සනාථ වී තිබේ. විශේෂයෙන් ලෝකයේ වෙනත් රටකින් ආනයනය කරනු වෙනුවට ඉතාමත් අලූත් නැවුම් සලාද වර්ග කන්ටේනරයකින් නෙලා ගැනීමට හැකිවීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් සතුටට පත්ව ඇති අවස්ථාවකි.

කෘතීම වගා බිම් ආශි‍්‍රතව සකස් කරන ලද පරිසර පද්ධති වල පලා හා සලාද වර්ග වගා කිරීම සඳහා ලෝකය පුරා සෑහෙන බලවත් නැඹුරුවක් තිබේ. කෘෂි පර්යේෂකයන්ගේ වාර්තා වලට අනුව දියර මාධ්‍ය වල සකස් කරන ලද පරිසර පද්ධති තුළ කරන මෙවැනි සලාද ඇතුළු ආහාර වගාව වසර 2024 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 13.9 ක වෙළඳාමක් දක්වා ඉහළ යනු ඇතැයි සැලකේ. 2017 වසරේ දී එයට හිමි වී තිබුණ වෙළඳ පොල ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් පමණ සීමිත ප‍්‍රමාණයකි. වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.8 ක් බවට පත් වනු ඇතැයි සැලකේ. ලෝක ප‍්‍රජාවට අවශ්‍ය වන ආහාර තොගය දැන් භාවිතා කරන ප‍්‍රමාණයට වඩා සියයට හැත්තෑවක් දක්වා ඉහළ යන බව ගණන් බලා ඇත. එපමණ වගා කරන්නට ප‍්‍රමාණවත් ඉඩම් නැති පසුබිමක කාන්තාර ප‍්‍රදේශ වල පවා කන්ටේනර් වල වගා කළ යුතු බව සැකයක් නැත.

අත්හැර දමන ලද කන්ටේනර් භාවිතා කර විශ්ව විද්‍යාලයක කොටසක් නිර්මාණය කර තිබේ. එය බැංකොක් හි පිහිටා ඇත. තිරසාර සංවර්ධනය පිලිබඳ අධ්‍යයන පීඨය සම්පූර්ණයෙන්ම සකස් කරන්නේ අත්හැර දැමූ විවිධ වර්ඛ වලින් යුතු කන්ටේනර් 17 කින්ය. කොටසක් පංති කාමර සකස් කර ඇති අතර එළිමහන් ප‍්‍රදේශ පවා කන්ටේනරයේ කොටස් ඉවත් කිරීමෙන් නිර්මාණයකර තිබේ. සැම්සුන්ග් සමාගම අප‍්‍රිකාවේ දුප්පත් ප‍්‍රදේශවලට අලූත් පාසල් කන්ටේනර් තුළ හදන ප‍්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එයට විදුලිය සපයන්නේ සූර්ය කෝෂ වලින්ය. ඇමරිකාවේ බටහිර ටෙක්සාස් හි වෙළඳ සංකීර්ණයක් සම්පූර්ණයෙන්ම අත් හරින ලද කන්ටේනර් වලින් සකස් කර තිබේ. අනෙක 2022 දී කටාර් හි පවත්වන්නට නියමිත ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී මාධ්‍ය, විනිශ්චය හා තීරක මැදිරි වලට කන්ටේනර් යොදා ගැනීමට පියවර ගෙන ඇත. පිටතින් රළු කන්ටේනරයක් නමුත් ඇතුලතින් සිත්ගන්නා මැදිරි වශයෙන් වැඩි දියුණු කරන අතර ඒවාට සම්පූර්ණයෙන්ම දැක බලාගත හැකි පරිදි තාක්ෂණික පහසුකම් සපයන බව සංවිධායකයෝ නිවේදනය කර ඇත.

ලෝකය පුරා භාණ්ඩ ප‍්‍රවාහනය කරන විට ඒවායෙන් සියයට හැත්තෑවක් කන්ටේනර් මගින් සිදුකෙරේ. අති විශාල බහාලූම් ප‍්‍රමාණයක් රටින් රට ගමන් කරමින් සිටින බව පැහැදිලිය. අත්හරින බහාලූම් නොඑසේනම් කන්ටේනර් පරිසරයට හානියක් කරන තැනට පත් කළ යුතු නැත. ඒවායෙන් ලබා ගත හැකි ප‍්‍රයෝජන වල තරම ගැන ලෝකයේ නොයෙක් තැන් වලින් තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. අලූත් අදහස් ඇති පිරිස එකතු විය යුතුය. දැවැන්ත අවකාශයක් තුළ කළ හැකි දේ ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. වගා කරන්නට හැකි කන්ටේනරයක් වෙනත් දෙයකට ද භාවිතා කළ හැකිය