» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/11/2019 - දේශය
නීල හරිත ආර්ථිකයක ප‍්‍රවනතා

ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි ස්වභාවික සම්පත් වලින් අනූන දූපතකි. රට වට කර මහා සාගරයකි. අලූත් සාගර සීමා කලාප වෙන් කිරීම අනුව රටට හිමි සාගර කලාපය භූමි ප‍්‍රමාණයට වඩා සෑහෙන විශාලත්වයක් තිබේ. සාගරය දෙස ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර තිබේද? සාගරය නොසලකා හැර ඇති තරම කොපමණ ද යත් වෙරළබඩ නිවාස මහ මුහුදට පිටුපා තිබේ. සියළු කැලි කසල මහ මුහුදට පාකර යවන ආකල්පයක පසුවෙයි. අනාගතය බිහිවෙන රාමුව අනුව සාගරය තරම් වැදගත් තැනක් නැති විය හැකිය. ගොඩබිම ප‍්‍රමාණවත් නැති පසුබිමක අභ්‍යවකාශය හා මහා සාගරය වෙත යොමු වන මනුෂ්‍ය වර්ගයා යොමු වෙමින් සිටිති. අභ්‍යවකාශය තරමට සාගරය ගැන අවධානය යොමු කර නැති බවට මතයක් ද තිබේ. අලූතින්ම අනාවරණය කරන තොරතුරු අනුව නීල හරිත ආර්ථිකයක් ගොඩනගා ගැනෙන අතර එය සම්පූර්ණයෙන්ම මහ මුහුද ආශ‍්‍රිතවය.

තිරසාර සාගර ආර්ථිකය ඉහළ පෙලේ කතිකාවතක් ආරම්භ කර ඇති අතර දැනට මහා සාගරයෙන් උඵයා ගන්නා ආහාර ප‍්‍රමාණය මෙන් හයගුණයක් වැඩි ආහාර තොගයක් ලෝක වාසීන් වෙනුවෙන් නිපදවා ගැනීමට මහ සාගරය භාවිතා කරනු හැකි වෙතැයි එයින් පෙන්වා දී ඇත. සාගරය ඉතා විශිෂ්ඨ එහෙත්තවමත් අතතබා නැති සම්පත් විශාල සංචිතයකින් යුක්ත වන අතර අනාගතයේ දී ලෝක තලයේ වෙසෙන ජනගහනයට එයින් ආර්ථික හා සමාජ වාසි සම්පාදනය කරගත යුතු බව මෙම කතිකාව පෙන්වා දෙයි. අනෙක් ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලය හා සමානව සලකන විට අඩුම පාරිසරික හානියක් සිදුවන අන්දමට සාගර ආහාර නිෂ්පාදනය කළ හැකි අතර එය සෞඛ්‍යයට හිතකර පමණක් නොව ඉහළ ආදායම් උත්පාදන ව්‍යාපාරයක් වනු ඇති බව ද දැක්වෙයි. මුහුදු ආහාර මිනිස් සිරුරට අවශ්‍ය පෝටීන, විටමින් වර්ග හා විශේෂයෙන් ඔමේගා තී‍්‍ර වලින් සමන්විත බව මෙම නීල හරිත ආර්ථිකයක් උදෙසා එකතු වී ඇති රටවල් දහ හතරක ප‍්‍රධානීහු පෙන්වා දී ඇත. දැනට අල්ලාගන්නා මසුන් ප‍්‍රමාණය මෙන් සියයට විස්සක් වැඩිපුර අල්ලා ගැනීමට තාක්ෂණය භාවිතා කළ හැකි අතර එය සියයට හතලිහක් දක්වා නංවා ගැනීමට අනාගතයේ දී හැකිවනු ඇති බව අනාවරණයවන තවත් කරුණකි. දැනට පෙන්වා දෙන පරිදි කෙන්යාව මිලියන ගණනක් අලූත් වෘත්තීය අවස්ථා සාගරය ආශ‍්‍රිතව බිහි කරගත හැකි බවට සැලසුම් කර තිබේ. එය එක රටකට සීමා නොවන අතර දැනට නැගී එන අප‍්‍රිකාව බලවත් පරිවර්තනයකට ලක් කරනු ඇති බව ස`දහන්ය.

සාගරයෙන් වඩා ප‍්‍රයෝජන අපේක්ෂා කරන අතර එහි සිදුවන පාරිසරික හානි අවම කරන පියවර ගැනීමට ද ජගත් ප‍්‍රජාව අවධානය යොමු කර ඇත. පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය සීමා කරන නීති කෙරෙහි ජාත්‍යන්තරය සම්මුතියකට එළැඹ තිබේ. අන්තර් ජාතික වාර්තා අනුව ඉවත දමන දිරාපත් නොවන ද්‍රව්‍ය ගංගා ඇල මාර්ග ඔස්සේ මහ මුහුදට එකතු වෙන ප‍්‍රධාන රටවල් විස්සක් හදුනාගෙන ඇති අතර ඇමරිකාව, ඉන්දියාව හා වීනය එහි පෙරමුණ ගෙන තිබේ. ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, ශ‍්‍රී ලංකාව, තායිලන්තය සහ මැලේසියාව ඇතුළු රටවල් සෑහෙන ප‍්‍රමාණයක් මෙම ලැයිස්තුවට ඇත. අවුරැද්දකට ටොන් මිලියන 600 කට ආසන්න ප‍්‍රමාණයක ආහාර, පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතුවීම නීල හරිත ආර්ථිකයක් ගැන උදම් අනන ප‍්‍රධානීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.

ඉන්දුනීසියාව මෑතක දී සාගරයට අපද්‍රව්‍ය යොමු නොකරන දීර්ඝ කාලීන වැඩසටහනක් සැලසුම් කළේය. විකල්ප වශයෙන් ප්ලාස්ටික් අතහැර දිරාපත් වන ජෛව ප්ලාස්ටික් නිෂ්පාදනය නංවන්නට සැලසුම් කර ඇත. කාබනික තන්තු විශේෂ භාවිතා කර පරිසර හිතකාමී ඇසුරුම් නිපදවීමය. මෙතෙක් කල් මයියොක්කා, බඩ ඉරිඟු, උක්ගස් වැනි දේ ජෛව ප්ලාස්ටික් නිපදවන්නට උපයෝගී කරගත්තේය. ඒවා ආහාර වශයෙන් ගත හැකිව තිබිය දී ඇසුරුම් නිපදවන්නට වියදම් කිරීම ප‍්‍රශ්නයක් වන තැනට ලකුණු පහල විය. ඉන්දුනීසියාව මුහුදු පැලෑටි වලින් ජෛව ප්ලාස්ටික් නිපදවන්නට යයි. ඉන්දුනීසියාව ඒවා වැඩිම නිෂ්පාදනයෙහි ලා ලෝකයේ දෙවැනි තැන උසුලන අතර මෙම මුහුදු පැලෑටි භාවිතා කර ජෛව ප්ලාස්ට්ක් නිෂ්පාදනය කරනු ඇත. ඉන්දුනිසියාව දූපත් දහ හත් දහසකින් සමන්විත අතර අති විශාල වෙරළ තීරයක් හිමිය. හොඳින් හිරු රැස් වැටෙන නොගැඹුරු මුහුදේ වගාකරන මුහුදු පැලෑටි නිෂ්පාදනය එරට කාන්තාවන් අතර ප‍්‍රචලිත වී තිබේ. ඉදිරියේ දී මෙම නිෂ්පාදන දෙගුණ තෙගුණ කරන අතරවාරයේ ඒවායෙන් රටට අවශ්‍ය ජෛව ප්ලාස්ටික් නිපදවා ගැනීම එරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අදහසයි.

පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට සාගරය සියයට පහලොවක ප‍්‍රතිශතයක් කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කරගනී. උශ්ණත්වය සියයට අනූවක් පාලනය කරයි. නිපදවිය හැකි ආහාර ප‍්‍රමාණය අති විශාලය. දියුණුම ආර්ථිකයක් ඇති රටවලට පවා අනාගතයේ දී එම රටවල දළ දේශීය නිෂ්පාදනයේ වැඩිම දායකත්වයක්දක්වන අංශ අතර හත්වැනි තැන මහා සාගරයට හිමිවන ලකුණු ඇති බව දැක්වේ.

ශ‍්‍රී ලංකාවට ද අලූතින් හිතන්නට පසුබිමක් නිර්මාණය වී තිබේ. මහා සාගරය ප‍්‍රයෝජනයට ගත යුතු අතර එයට අවශ්‍ය තාක්ෂණය හා විද්‍යාත්මක පර්යේෂණ වලට යොමු විය යුතුය. අලූත් දැනුම සහ අලූත් ශ‍්‍රමික පරපුරක් මෙයට යොමු කරගැනීම සුදුසුය. සම්ප‍්‍රදායික ධීවර කර්මාන්තය වෙනුවට සාගරයේ සම්පත් පරිපාලනය කරන එයින් අස්වැන්න නෙලා ගන්නා යුගයක් බිහි වෙමින් තිබේ. තවමත් මෙරට සාගර සීමාවේ ඇති සම්පත් ගැන ගවේශනයක් කර නැත. අඩුම තරමින් ප‍්‍රාථමික අංශ එනම් ඛනිජ තෙල් හෝ ගෑස් ගැන පර්යේෂන පවා මූලික අවධියෙහි තිබේ. එයට එපිට විශාල වපරිසයක් ශ‍්‍රී ලංකාවට තිබේ. එහි කොටස්කරුවන් බවට පත්වීම ශ‍්‍රී ලංකාවේ අනාග’ පරපුරේ ඉලක්කය විය යුතුව ඇත.