» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/02/2019 - දේශය
හරිතාගාර වායු විමෝචනය බලවත් ගැටළුවකි

බිල් හා මෙලින්ඩා ගේට් පදනම ලෝකයේ විශාල අවධානයකට ලක් වූ සමාජ ව්‍යාපාරයකි. පුද්ගලික පදනමක් වශයෙන් දැවැන්ත අරමුදලක් එමගින් ලෝකයේ යහපතට වැය කෙරේ. එය ඇමරිකානු ඩොලර් බිලියන 50.7 ඉක්මවයි. පළමුවෙන් සිය පුද්ගලික වත්කම් වලින් ඇමරිකානු ඩොලර් 28 ක් යොදවා ආරම්භ කරන ලද අතර පසුව ලොව ධනවතුන් එයට පරිත්‍යාග එවූහ. බිල් හා මෙලින්ඩා අවුරුද්දක් පාසා ජාත්‍යන්තර අවධානයට ලක් විය යුතු කරුණු ඇතුලත් කර ලිපියක් ලියයි.

2019 වසරේ දී ලියන ලිපියට අධ්‍යාපනය, සෞඛ්‍ය යන අංශ ගැන අවධානයට ලක් කර තිබේ. අධ්‍යාපනය අභිබවා සොඛ්‍ය අංශයෙහි ලෝක ව්‍යාප්තව සිදුවූ ප‍්‍රගතිය විදහා දක්වා ඇත. හරිතාගාර වායු විමෝචනය එහි පෙන්වා දී ඇති එක කරුණකි. කාලගුණ විපර්යාස වලට බරපතල ලෙස හේතු වන හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීමට මනුෂ්‍ය ප‍්‍රජාවට පුලූවන් කමක් තිබේ. හරිතාගාර වායු විමෝචනය පාලනය කරගත නොහැකිවීමෙන් ගෝලීය උණුසුම වැඩිවන අතර එය ග්ලැසියර් දියැවීමේ සිට අධික වියලි තත්ත්වයක් ඇතිවීම දක්වා නොයෙක් පරාසයන්ගෙන් අහිතකර තත්ත්ව ඇති කරයි. බිල් හා මෙලින්ඩා පදනම විග‍්‍රහ කර ලියන ලිපිය අනුව විදුලිය බල උත්පාදනය හරිතාගාර වායු විමෝචනය වැඩි කරන ප‍්‍රබල හේතුව වී තිබේ. අනෙක කෘෂිකර්මයයි. ප‍්‍රවාහන අංශය තෙවැනි සාධකයයි.

පොසිල ඉන්ධන දහනය කර විදුලිය නිපදවන විට එයින් නිකුත් කරන කාබන්ඩයොක්සයිඞ් ඇතුළු අහිතකර වායු ඉතාම අහිතකරය. එය ඕසෝන ස්ථරයට හානිදායකය. ඛනිජ තෙල්, ගල් අඟුරු හෝ ද්‍රව ගෑස් යන කවර අංශයකින් නමුත් එකිනෙකට වෙනස් ප‍්‍රතිශත වලින් හානිය එල්ල වෙයි. පරිසර සාධක වලට බලපෑමක් නොකරන හරිත විදුලිය උත්පාදනය නොඑසේනම් පුනර්ජනණීයය විදුලිය කෙරෙහි ලෝක ප‍්‍රජාව අවධානය යොමු කර තිබේ. කෘෂිකර්මයේ දී සිදුවන හරිතාගාර වායු විමෝචදනය මෑතක් වනතුරු එපමණ අවධානයට ලක් වූයේ නැත. නමුත් සත්ව පාලනය අධික හානි ඇති කරන බව අනාවරණය වී තිබේ. අකාබනික පොහොර භාවිතය ද අහිතකරය. කෘෂි රසායනික භාවිතය වැඩි වන විට හානිය ඉහළ යයි. ගොවිපොල අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ගිනි තැබීම ඉතාම අහිතකර තත්ත්වයකි. සාමාන්‍ය ගොවි ජනතාව පමණක් නොව විශාල පරිමාරණයෙන් ගොවිතැන් කිරීමේ දී ද, එම අංශ අවධානයට නොගැනෙති. පොලිතීන් එලිමහනේ දහනය කිරීම ද අහිතකරය. ප‍්‍රවාහනය මගින් සිදුවන හානිය පොසිල ඉන්ධන භාවිතා කිරීම නිසා බව පළවෙයි. අධික ඉන්ධන දහනය පාලනය කිරීමට නොයෙක් විධි විධාන යොදන නමුත් සැලකිය යුතු ප‍්‍රතිඵල තවම අත්වී නැත.

සංවර්ධනය ලෝකයේ පැවැත්මට තර්ජනයක් වී තිබේ. සෑම මාසයක් පාසා නිව්යෝක් නගරය තරම් විශාල ගොඩනැගිලි කොතැනක හෝ ඉදිවෙයි. පවතින ගොඩනැගිලි ප‍්‍රමාණය වසර 2060 වන විට දෙගුණයක් වනු ඇත. බිල් හා මෙලින්ඩා පදනම කවර ක‍්‍රමයකින් හෝ යහපත අරමුණු කරගෙන පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටියි. විදුලියබල උත්පාදනයේ දී හරිත තත්ත්ව ඇති කිරීම සඳහා පමණක් ඇමරිකානු ඩොලර් බිලියනයක් වෙන්කරන්නට පදනම සමත්ව ඇත.

වසර විසි පහකට කලින් බිල් හා මෙලින්ඩා පදනම ලෝකයේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය ගැන අවධානය යොමු කළේය. ඇමරිකාවේ අධ්‍යාපනය ඉහළ නැංවීමට වැඩි නැඹුරුවක් තිබුණි. ආපසු හැරී බලන විට අධ්‍යාපන ක්ෂේත‍්‍රය අභිබවා සෞඛ්‍ය අංශය වෙනුවෙන් වෙහෙසවීමේ ප‍්‍රතිඵලය අත්පත් වී ඇති බව බිල් හා මෙලින්ඩා යොමු කරන ලිපිය පෙන්වා දෙන කරුණකි. මුල් කාල වකවානුවේ ලක්ෂ ගණනින් දරුවෝ පාචනයෙන් මිය ගියහ. දුප්පත් රටවල එන්නත්කරණය සුලබ වූයේ නැත. නමුත් වේගයෙන් එන්නත්කරණය ගැන අවබෝධය දිය හැකි වී තිබේ. දරුවන්ගේ පමණක් නොව මව්වරුන්ගේ මරණ ද සාපේක්ෂව පහත වැටී ඇත. පදනමේ සෘජු මෙහෙයුම හෙයින් මැලේරියාව පාලනය කරගත හැකි වූ බව ද දක්වයි. දීර්ඝ කාලීනව ප‍්‍රතිශක්තීකරණය ඇති කරන එන්නතක් සොයා ගන්නා තෙක් මැලේරියාව සහමුලින්ම යටපත් කළ නොහැකි නමුත් නෙට් භාවිතා කිරීම හා බෙහෙත් පෙති මගින් වැළඳීම ද, මදුරුවන් බෝ වීම පාලනය කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් මගින් පැතිරීම ද අවම කරන්නට හැකියාව ලැබී තිබේ. එය ලෝකයේ යහපත වෙනුවෙන් පුද්ගලික පදනමක් නැඹුරුවීමේ සාර්ථකත්වය පෙන්වයි.

ආණ්ඩු රමට සමහර විට ආණ්ඩුවලටත් වඩා ප‍්‍රබල සංවිධාන ලෝකයේ සිදුවන අහිතකර තත්ත්ව පාලනය කිරීමට ස්වේච්ඡාවෙන් මැදිහත් වී සිටී. ඒවායෙන් ලැබී ඇති ප‍්‍රතිඵල විශාල වාසි අත්කර දී ඇත. එම ප‍්‍රයෝජන දෙස බලා සිටි වොරන් බෆට් වැනි ධනවතුන් අති විශාල මුදලක් පරිත්‍යාග වශයෙන් යොමු කර ඇත. ක්ලින්ටන් පදනම වැනි ආකර්ශණීය ආයතන එකට වැඩ කරන්නට එකඟ විය. ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන් හා නොයෙක් ව්‍යසනවලට එරෙහිව ක‍්‍රියා කරන රාජ්‍ය නොවන ආයතන බිල් හා මෙලින්ඩා පදනම සමග එකතු වී මනුෂ්‍ය සංහතිකයේ පැවැත්ම යහපත් කිරීම වෙනුවෙන් ක‍්‍රියාශීලීව කටයුතු කරති.

ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම පැවැත්ම උදෙසා ලෝකයේ පළමු උත්සාහයක් වී ඇත. හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීමට සෑහෙන උත්සාහයක් ගනිමින් තිබේ. සුළු වශයෙන් හෝ පැවැත්මට හානි කරන පියවර නොගැනීම ජනතාව ගේ යුතුකමකි. බලවත් වගකීමකි. දැන දැනම වායුගෝලයේ වෙනස්කම් ඇති කරන ප‍්‍රධාන හේතු සාධක වල කොටස්කරුවන්වීම අනාගතයේ බලවත් ප‍්‍රශ්න ඇති කරන බව අවධානයට ගත යුතුය. මෙරට දැවැන්ත චරිත ආකල්ප පරිවර්තනයක් වෙනුවෙන් ස්වේචඡාවෙන් මෙහෙයැවීම අවශ්‍ය වකවානුවකි. එමගින් මනුෂ්‍ය පැවැත්මට තර්ජනයක් වී ඇති සාධක කෙරෙහි වෙනස් ආකාරයකින් කටයුතු කළ හැකි වනු ඇත.