» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/06/2019 - දේශය
පැවැත්මට අභියෝග කරන සිමෙන්ති

සිමෙන්ති සොයාගැනීම මගින් ලෝකයේ පැවැත්මට කරන ලද බලපෑම් ප‍්‍රබල බව අවිවාදිතය. ඉදිකිරීම් කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය සිමෙන්ති කොපමණ ප‍්‍රයෝජනවත් ද යන්න ඉහළ නැගී ඇති දැවැන්ත ගොඩනැගිලි පෙන්වයි. ජනගහනයේ වර්ධනය සමග භූමිය සීමා සහිත සාධකයක් වන අතර ඉහළ අවකාශය ප‍්‍රයෝජනයට ගැනෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. නොබෝදා නිකුත් වූ එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තා අනුව වසර 2050 වන විට දැන් සිටින ලෝක ජනගහනය බිලියන 7.7 ක සිට තවත් බිලියන දෙකකින් වැඩි වෙන්නට ඉඩ තිබේ. මෙම පිරිස ජීවත් විය යුතු මිහිතලයේ හැර අන් තැනෙක නොවේ. වාසස්ථානයට සුදුසු භූමි ප‍්‍රමාණය සීමිත වන අවස්ථාවක කොන්ක‍්‍රීට් භාවිතා කර තව තවත් මහල් නිවාස හැර අනෙක් විකල්ප අඩුය.

සිමෙන්ති ඉතා වැදගත් නමුත් එයින් සිදුවන පරිසර හානි ගැන ද පර්යේෂකයෝ කරුණු දක්වන්නට ඉදිරිපත් වී ඇත. ගෝලීය උණුසුම වැඩිවන විට සිදු වන අහිතකර බලපෑම් ගැන පුලූල් අවධානයක් යොමු කරන විද්‍යාඥයෝ පරිසරය ආරක්ෂා කරගනිමින් කරන සංවර්ධනය ගැන බලවත් අවධානයක් දක්වති. ඕසෝන ස්ථරයට හානි සිදුවී එමගින් පොලවට පතිත වන අධික හිරු එළිය ජීවයේ පැවැත්මට අහිතකර විය හැකිය. විශේෂයෙන් දැනටමත් සිදුවන කාලගුණ වෙනස්කම් වලට මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් සෑහෙන හේතුවක් වී ඇති අතර පරිසරය ආරක්ෂා කරගෙන කරන පැවැත්මක් වෙනුවෙන් සම්මුති හා නීති සකස් වෙමින් තිබේ. එවැනි පසුබිමක් තුළ සිමෙන්ති නිෂ්පාදනය හා ඉදිකිරීම් වෙනුවෙන් කොන්ක‍්‍රීට් භාවිතා කිරීම ගැන පුලූල් අවධානයක් යොමු වී ඇත.

මිනිසා ගේ බලපෑම හෙයින් පරිසරයට වන හානිය සම්බන්ධයෙන් සලකන විට සිමෙන්ති නිෂ්පාදනය හා කොන්ක‍්‍රීට් භාවිතය තුන්වැනි වඩාත් අහිතකර කාරණය සේ සැලකේ. ප‍්‍රවාහනය හා බලශක්ති නිෂ්පාදනය යන අංශ වල දී පරිසරයට වන හානිය පළමු ස්ථාන දෙක අත්පත් කරගෙන ඇත. සිමෙන්ති ටොන් එකක් නිපදවන විට කාබන්ඩයොක්සයිඞ් වායුව කිලෝ ග‍්‍රෑම් 780 ක් පරිසරයට මුදා හරින බව වාර්තා වෙයි. 1950 වැනි කාලයේ දී ලෝකයේ සිමෙන්ති නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් බිලියන පහකි. 1996 වන විට එය මෙටි‍්‍රක් ටොන් බිලියන 40 දක්වා ඉහළ නැග ඇත. පරිසරයට කරන හානිය මෙටි‍්‍රක් ටොන් වලින් ගණන් බලා උපකල්පනය කිරීම අපහසු නැත. නිපදවන සිමෙන්ති සම්පූර්ණයෙන්ම අලූත් ඉදිකිරීම් වෙනුවෙන් භාවිතා වූ අතර මහපොලව වසා ගෙන වායු ගෝලය පිරිසිදු කරන ගස් වැල් විනාශ කරමින් කරන සංවර්ධනය සෑහෙන විනාශකාරී එකක් බව පැහැදිලිය.

මහ පොලවට දරා ගත නොහැකි සංවර්ධනයක් සිදුවෙන්නේ කොතැනකද? ජගත් ආර්ථික සංසදයට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙම සියවස තුළ ඇමරිකාව ඉදිකිරීම් වලට භාවිතා කළ සම්පූර්ණ සිමෙන්ති ප‍්‍රමාණය හා සමාන තොගයක් චීනය ඉකුත් වසර තුන තුළ සිය ඉදිකිරීම් වලට භාවිතා කර ඇත. එය අතිශය පුදුම වේගයකින් කොන්ක‍්‍රීට් ප‍්‍රයෝජනයට ගැනීමක් බව ප‍්‍රකාශ වෙයි. එය සමහරවිට ලෝකයේ සියළුම රටවල් භාවිතා කර ඇති සම්පූර්ණ කොන්ක‍්‍රීට් ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණ බව ද දැක්වෙයි. ඉදිකිරීම් වල දී කොන්ක‍්‍රීට් භාවිතා කිරීම නිසා වන හානිය ඒවායේ නිෂ්පාදන කාර්යයයේ දී පමණක් සලකා බැලීම සුදුසු නැත. ලෝකයේ කර්මාන්ත වෙනුවෙන් භාවිතා කරන ජල ප‍්‍රමාණයෙන් සියයට නමයක් ද කොන්ක‍්‍රීට් වලට උපයෝගී කරගැනේ. ඉදිරි වසර තිහ තුළ පිරිසිදු පානීය ජග හිඟයක් ඇති වන විට සිමෙන්ති හා කොන්ක‍්‍රීට් එයට සෑහෙන ප‍්‍රමාණයකින් වගකිව යුතු බව දැනටමත් ප‍්‍රකාශ වී තිබේ.

කොන්කී‍්‍රට් පදනම් වසර දහස් ගණනක් පවතින බව පිලිගත යුතුය. ඉතාම ශක්තිමත්ය. ස්වභාවික විපත් වල දී සෑහෙන ඔරොත්තු දෙන අතර එයින් කල්පැවැත්ම හා ආරක්ෂාව ගැන මනා සහතිකයක් ලැබේ. නමුත් පර්යේෂණ වාර්තා පෙන්වා දෙන තවත් කරුණක් ඉතා වැදගත්ය. පසුගිය වසර හැටක කාලය තුළ ලෝකයේ නිපදවන ලද ප්ලාස්ටික් තොගය හා තරම් කොන්ක‍්‍රීට් ප‍්‍රමාණයක් සෑම වසර දෙකකටම වතාවක් ලෝක වාසීහු නිපදවා භාවිතා කරමින් සිටිති. සිමෙන්ති නිෂ්පාදනය, ඒවා ජලය හා ගල් වැලි සමග කවලම්කර කොන්ක‍්‍රීට් බවට හැරවීම හා වසර දහස් ගණනක් නොසෙල්වී පැවැතීම අනුව අලූත් පැති ගැන ද අවධානය යොමු කෙරේ. එනම් පොලිතීන් හා ප්ලාස්ටික් දිරාපත් නොවීම ලෝකයට ප‍්‍රශ්නයක් වී ඇති ආකාරයටම දීර්ඝ කාලයක් පවතින හා නිෂ්පාදනයේ දී වායුගෝලය අපිරිසිදු කරන කොන්ක‍්‍රීට් ගැන ද හිතන්නට යමක් ඉතිරි කර තිබේ. කොන්ක‍්‍රීට් තරමට ශක්තිමත් හා කල්පවතින ඉදිකිරීම් සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි පහසු දේ ලෝකයේ නැත. එය ප‍්‍රශ්නයකි. එසේ හෙයින් සෑම රටක්ම සිදුවන හානිය ගැන තක්සේරුවක සිටිය දී පවා සිමෙන්ති හා කොන්කී‍්‍රට් ගැන භාවිතය නරක බව නොකියන්නට පරෙස්සම් වී තිබේ. සිමෙන්ති නිෂ්පාදනයේ සිට ඒවා කොන්ක‍්‍රීට් වශයෙන් සකස්කර භාවිතා කිරීම හා ඉදිකරන ගොඩනැගිලි වලින් හරිත පරිසරය ට කරන හානිය ද එකතු කළහොත් දිරාපත් නොවන පොලිතීන් හා ප්ලාස්ටික් ගැන පවතින බියට වඩා වැඩි භීතියක් ඇති කළ යුතු බව ඉතාමත් පැහැදිලිය.

ඉදිකිරීම් ගැන කොන්කී‍්‍රට් භාවිතා කරන සෑම අවස්ථාවක දී ම මතු පරපුර මුහුණ දෙන අන්තරාය ගැන අවධානය යොමු කළ යුතුය. පරිසරයට උචිත, කල් පැවැත්ම හා දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීමට සැලසුම් කිරීම හා සමානව එයින් සිදුවිය හැකි විපත ගැන කල්තබා කල්පනා කිරීම උචිතය. විශේෂයෙන් මහල් වශයෙන් හදන්නේ නැති කුඩා ගොඩනැගිලි තැනීමේ දී සිමෙන්ති හා කොන්ක‍්‍රීට් භාවිතය අවම කළ හැකිය. පාරවල් වලට පවා කොන්ක‍්‍රීට් දැමීම සුදුසු ද යන්න හිතා බලන්නට අවශ්‍යය. නෙදර්ලන්තය මීටර් තිහක් දිග මාවතක් ඉවත දමන ප්ලාස්ටික් උපයෝගී කරගෙන තනා තිබේ. එය පාපැදි ධාවකයන්ට වෙන් කර ඇත. එය ලෝකයේ එවැනි පළමු නිර්මාණය බව ද සඳහන් කරන්නට අවශ්‍යය.