» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/02/2020 - දේශය
ගොවිතැනත් පාතාලයට

පාතාලය යනුවෙන් අදහස් කරන්නේ පොලව යට යන අදහසයි. පාතාලයේ කෙරුම්කාරයන් ගැන නිතර ලියැවේ. එයින් දක්වන්නේ සැගවී කරන දාමරිකකම් ගැනය. පාතාලයේ සිද්ධි ගැන ප‍්‍රකාශ වන විට අනියත බියක් ඇති වන නමුත් නාගරික ප‍්‍රදේශවල මහපොලව යට කරන ගොවිතැන ගැන අවධානය යොමු වෙමින් තිබේ. ^underground world of urban farming) වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. පොලව මතු පිට වගාව සදහා ඉඩම් නැති වන විට පස් නැති වගාව එනම් දියර මාධ්‍ය යේ කරන වගාව ගැන පර්යේෂණ සිදු වූ අතර එය තවත් පියවරක් ඉදිරියට ගමන් කර තිබේ. පොලව යට ගබඩා වල බව භෝග වගා කිරීම එහි දැවැන්ත පියවරකි.

නිව්යෝක් නගරයෙන් කරන අනාවරණය

නිව්යෝක් නගරය මධ්‍යයේ පොලව යට ඉඩක් සොයා ගන්නා ව්‍යවසායකයෝ පිරිසක් එහි ආහාරයට ගත හැකි සලාද කොල වැනි වර්ග වගාකිරීම අරඹා තිබේ. ශරීරයට හිතකර අමුවෙන් ආහාරයට ගත හැකි ඖෂධ පැලෑටි ද වගා කෙරේ. මාධ්‍ය වශයෙන් හයිඩ්‍රොපොනික් දියර ක‍්‍රමය උපයෝගී කරගන්නා බව අනාවරණය වෙයි. දෙනෝදාහක් දෙනා සැරිසරන මහ පොලව මත ඇති කලබලය පොලව යට නැති අතර එහි විද්‍යාත්මකව සකස් කරන ලද මහල් සහිත වගා බිම් වල පැලවර්ග රෝපනය කර තිබේ. කෘතීමව පොහොර හා ජලය සැපයේ. ආලෝකය ද අවශ්‍ය ප‍්‍රමාණයට ලැබෙන්නට සලස්වා ඇත. එළිය දෙන්නේ ලෙඞ් විදුලිය බුබුලූ වලින්ය. ගොවිපොල කළමණාකරනය දක්වන අන්දමට යටිබිම් වගාවට කෘතිම ආලා්කය ලබා දී ඇති අතර අනාගතයේ දී සමහරවිට හිරු එලිය වර්තනය කරගන්නට බැරිකමක් ද නැත.

සම්ප‍්‍රදායික වගාබිමකට ඇතුළු වන ගොවියෙකු සේ එහි කටයුතු කරන්නට හැකියාවක් නැත. බාහිර විෂබීජ හරණය කර ඇති අතර සාත්තු සේවිකාවෝ වැනි පිරිසක් වර්ග මීටර් 1,200 ක ප‍්‍රදේශයේ සකස් කරන ලද පාත්ති වල වගා කරති. තාක්ෂණය භාවිතා කර නියමිත අන්දමට කිරා මැන බලා අවශ්‍ය පෝෂණය ලබා දෙන බව ද දැක්වෙයි. යහපත් අධීක්ෂණයක පවතින හෙයින් සරු අස්වැන්නක් ලැබෙන අතර ඉහළ ආදායමක් ලැබෙන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

බි‍්‍රතාන්‍යයෙන් ද යටි බිම් ගත වගාවක තොරතුරු

ලන්ඩන් නගරයට නුදුරින් මහ පොලව යට පිහිටා ඇති කදවුරක් ද අලූතින් වගාවට යොදා ගෙන ඇත. මෙම ස්ථානය විශාල ප‍්‍රදේශයකි. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදා බෝම්බ ප‍්‍රහාර එල්ලකළහොත් අට දහසක් දෙනා ආරක්ෂා කරගත හැකි ස්ථානයක් සේ භාවිතා කර තිබුණි. වසර හැත්තෑවක් තිස්සේ ප‍්‍රයෝජනයට නොගත් අතර නොසලකා හැර තිබුණ එතැන තරුණ ව්‍යවසායකයන් දෙදෙනෙකුගේ අවධානයට ලක් වී ඇත. ස්ටීට් ඩි‍්‍රන් හා රිචර්ඞ් බෙලාර්ඞ් යන දෙදෙනා එකතු වී එම බිම්ගෙන නවීන වගාබිමක් බවට පරිවර්තනය කර තිබේ. විද්‍යානුකූලව සකස් කරන ලද කෘතීම පරිසරයෙහි දියර මාධ්‍යයෙහි පැල සිටුවා ඇත. බ්‍රොකොලි වර්ග, කොත්තමල්ලි හා මහදුරු වැනි ශරීරයට ගුණදායක ආහාර එහි වගා කර ඇති අතර සරු අස්වැන්නට හොද මිලක් ලැබෙන බව අනාවරණය වෙයි.

අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් සලකා සෑම ආකාරයකින්ම අලූත් දේ කළ යුතු බව පෙන්වා දෙන මෙම ව්‍යවසායකයෝ දෙදෙනා නගරයේ අඩි එකසිය අසූවක් පහලින් ඇති භූගත ප‍්‍රදේශයක වගා කිරීම ගැන කතාකරන්නේ අතිශය තෘප්තියකින්ය. සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වගාවක් වන අතර සේවය කරන කාර්ය මණ්ඩලයට පවා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් වලින් සැරසෙන්නට සිදුවී තිබේ. තක්කාලි, බෙල්පෙපර් හා බේබි කෝන් වැනි වගා වලට ද අනාගතයේ දී අවස්ථාව ඇති කරගත හැකි බව මෙහි දී පෙන්වා දී තිබේ. ස්ට්‍රොබෙරි හා අර්තාපල් වගාව ද අපහසු දෙයක් නොවන බව මුලික පර්යේෂණ තහවුරු කර ඇත.

පොල් ලෙලි හා කොහුබත් වලට විශාල ඉල්ලූමක්

මහහ පොලව මත කරන ගොවිතැන අලූත් ක‍්‍රම වලට හැරෙන ස්වභාවය තුළ පස් වෙනුවට භාවිතා කළ හැකි මාධ්‍යවලට අලූත් වෙළද පොලක් සකස් වී තිබේ. විශේෂයෙන් මැද පෙරදිග ඇතුළු රටවල් පොල් ලෙලි වලින් හෝ කොහුබත් වලින් සකස් කරන ලද බදුන් වගාවට තෝරා ගෙන ඇත. එකවරක් වගා කර ඒවායේ පෝෂණය ද උරා ගත් පසු පරිසරයට විසි කරන්නට හැකි පරිදි මෙම වගා බදුන් සකස් කර තිබේ. දියර පොහොර වලින් කරන වගාවට අමතරව තෝරා ගත් ස්ථාන වල ඉතා පරෙස්සමෙන් වගා කරනු සදහා පොල් ලෙලි වලින් හා කොහුබත් වලින් කරන ලද බදුන් වලට ඉල්ලූමක් ඇත. ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයන් කොහුබත් නිෂ්පාදන අපනයනය කරන අතර එයට සෑහෙන වෙළදාමක් තිබේ.

ලන්ඩන් නගරයේ පොලව යට වගාව කරනගෙන යන ව්‍යවසායකයන් දක්වන පරිදි ඉදිරි සියවසේ පෝෂණීය ආහාර නිෂ්පාදනය කරන්නේ මහ පොලව මතු පිට නොවේ. දැන් කරන වගාව ජල පරිහරණය සියයට හැත්තෑ හතකින් කපා හැර ඇති අතර කෘතීම ආලෝකය හා පරිසර පද්ධති යටතේ මහ පොලව මතු පිට සිදුවන කිසිම බලපෑම් ගැන කිසිම කල්පනාවක් නොකර වගා කරන්නට අවස්ථාව ලැබී තිබේ. දැනට කරන වගාව තවත් පියවරකින් ඉදිරියට ගියහොත් ලෝකයේ ඉතාම නාගරික ප‍්‍රදේශවල ජනප‍්‍රිය හෝටල් වල ධනවතුන් වෙනුවෙන් හරිත ආහාර පොලව යට වගා කෙරෙනු ඇත.

දිලීර කෘමි හානි පමණක් නොව වගාව පරෙස්සම්ය

මහ පොලව යට කරන සුරක්ෂිත වගාව දිලිර හෝ කෘමි ආසාදන වලින් තොරය. ඒවාට අනුරූප වන සේ වගා බිම සකස් කර ඇත. දැනට මහ පොලව මත සිදුවන හරිතාගාර වගාවට වඩා දියුණු පියවරකි. අනවශ්‍ය කෘෂි හෝ කෘමි නාශක භාවිතා නොකරන හෙයින් ශරීරයට පමණක් නොව පරිසරයට ද පොලව යට වගාව ආශ්චර්යයක් විය හැකි බව අධ්‍යයන වාර්තා දක්වයි.

දවසේ පැය විසි හතරම, වගා කන්න බේධයක් රහිතව වගා කරන අතර අස්වැන්න අපතේ යෑම වැලකෙන හෙයින් ඉතාම ප‍්‍රයෝජනවත් ආර්ථික වාසි ඇති කරන බව දැක්වෙයි. කෙසේ වෙතත් දැනට පවතින තත්ත්වය අනුව මෙම පොලව යට වගාව ඉතාමත් මිල අධික ආයෝජනයකි. එහෙත් අනාගතයේ දී මෙම ආයෝජන ඉතාම ලාබ සහිත ආයෝජන වශයෙන් සලකන්නට ඉඩ තිබේ.